spot_img
spot_imgspot_img

ධම්මික බාස් නොදන්නා බෙහෙත් වට්ටෝරුවේ ගුණ අගුණ

පුවත්

විදෙස්

සාදික්කා ග්රෑම් 5 කට වඩා වරකට ශරීර ගත වීමෙන් විෂ ලක්ෂණ පහළ විය හැකි බව පිළිගනු ලබයි

සාදික්කා ශ්‍රී ලංකාවට හඳුන්වාදුන්නේ 19 වැනි සියවසේ දී හෙවත් 1800 ගණන් වලදී බ්‍රිතාන්‍යයන් විසිනි. ඉතින් මෙරට හෙළ වෙදකමේ සාදික්කා භිවිතා කළාය යන්න පට්ටපල් බොරුවකි.

ආයුර්වේදය හෝ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මීපැණි උණු කිරීම අනුමත නොකරන්නේ එනිසා විෂ සහිත පදාර්ථ ඇති වන නිසාය

කොරෝනා රෝගය සුවකරන ධම්මික පැණිය ගැන දැන් සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ. ආරූඪ වී දේවාලයක් පවත්වාගෙන යන පෙදරේරුවකු විසින් තමන්ට හීනෙන් ලැබුණු බව පවසන පැණියක් සොයා කෑගල්ලට දහස් ගණනක් ගිය අතර දැන් දැන් විවිධ පුද්ගලයෝ තම නිවෙස්වලම මේ පැණිය සාදා ගැනීමට උනන්දු වන අතරම ඒවා අන් අයට ද බෙදා දෙති.

ගිලෙන්නයට යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ ආරූඪයකින් (මනෝ විද්‍යාවේදී ආරූඪවීම යනු මානසික රෝගයකි) දේවාලයක් පවත්වාගෙන ගිය පෙදරේරුවාට හීනෙන් ලැබුණු පැණිය හෝ බී ලෙඩේ කොරෝනා හොඳ කරගන්නට ගිය අයත් ගොඩ වෙද්දුන්ගේ ගෙදර හදන පැණිය බී අයත් ඒවාට දමන සංඝටකවල විද්‍යාත්මක පසුබිම තත්ත්වය දන්නේ නැත. මෙයට විද්‍යාත්මක තත්ත්වය යැයි කියූ විට බටහිර විද්‍යාව අපට එපා යැයි ද අපේ පාරම්පරික දැනුම ඊට වඩා වටිනවා යැයි ද ඇතැමුන් කියනු ඇත. එබැවින් මේ ලිපියට නවීන විද්‍යාව මෙන්ම පාරම්පරික දැනුමේ ලිඛිත උපුටනයන් ද ඇතුළත් කර තිබේ. එවිට කිසිවෙකුට ඊට අභියෝග කරන්නට නොහැකි වනු ඇත.

මෙම පැණියේ ප්‍රධාන සංඝඨක දෙක ලෙස සාදික්කා සහ මී පැණි හඳුන්වා ඇත.

සාදික්කා යනු උද්භිද විද්‍යාත්මකව Myristica fragrans නමිනි නමින් හඳුන්වන ශාකයයි. මෙහි නිජබිම ඉන්දුනිසියාවේ මොලූක්කා කුළුබඩු දූපත් අතරින් විශාලතම දූපත බණ්ඩා දූපතයි. හය වැනි සියවසේදී අරාබි වෙළෙන්දන් විසින් සාදික්කා කොන්ස්තන්තිනෝපල් වෙත ගෙන එන ලදී. ඒ කාලයේදීම එය ඉන්දියාවට පැමිණි බව අනුමාන කෙරේ. එහෙත් සාදික්කා යුද්ධයේ ගොදුරක් බවට පත් වූයේ 1600 දශකය තුළය. නැගෙනහිර ඉන්දීය කොදෙව්හි සාදික්කා නිෂ්පාදනය පාලනය කිරීම සඳහා බණ්ඩා දූපතේ වැසියන් සමූල ඝාතනය කරමින් හා වහල්භාවයට පත් කරමින් ලන්දේසීන් විසින් දැවැන්ත යුද්ධයක් දියත් කළහ. පසුව, මෑන්හැටන් දූපත පිළිබඳ සාකච්ඡා අතරතුර, ලන්දේසීන් බ්‍රිතාන්‍යයන්ට අයත් සාදික්කා නිපදවන දූපතක් පාලනය කිරීම සඳහා දිවයින වෙළඳාම් කළහ. දෙවන ලෝක යුද්ධය තෙක් ලන්දේසීහු කුළුබඩු දූපත් පාලනය කළහ.

සාදික්කා ශ්‍රී ලංකාවට හඳුන්වාදුන්නේ 19 වැනි සියවසේ දී හෙවත් 1800 ගණන් වලදී බ්‍රිතාන්‍යයන් විසිනි. ඉතින් මෙරට හෙළ වෙදකමේ සාදික්කා භිවිතා කළාය යන්න පට්ටපල් බොරුවකි. සාදික්කා මෙරට ස්වාභාවික වනාන්තර වල දක්නට නොලැබෙන ශාකයකි.

ඉන්දියාවේ ආයුර්වේද ආභාසය අනුව දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ද සාදික්කා පසු කළෙක ඖෂධයක් ලෙස භාවිතයට පැමිණ ඇත. රාවණ වෙද පරම්පරාවක් ඇත්නම් (රාවණ මිත්‍යා කතාවක් යැයි යන්න විශ්වාසයයි) රාවණගේ වට්ටෝරුවල සාදික්කා තිබෙන්නට හැටියක් නැත. බ්‍රිතාන්‍යයන් සාදික්කා මෙරටට එන විට එවැන්නෙක් මෙරට සිටියේ නැති බැවිනි.  

සාදික්කා යන සිංහල වචනය ද සාදික්කාය් යන දෙමළ වචනයෙන් බිඳී තිබේ. ශ්‍රී ලංකාවේ ස්වාභාවිකව දක්නට ලැබෙන මලබොඩ Myristica dactyloides නමින් හැඳින්වෙන ශාකයට bitter nutmeg යන නම යොදා තිබේ. Myristica ceylanica විශේෂය ද මලබොඩ නමින් හැඳින්වේ. මේ මලබොඩ ගැමියන් බුලත් විටෙහි පුවක් වෙනුවට හපයි. එහෙත් මේ විශේෂ එකක් හෝ සාදික්කා ලෙස භාවිතා කොට නැත. එම නිසා සාදික්කා වල ඖෂධීය භාවිතය දේශීය වෛද්‍ය ක්‍රමයට ලැබෙනුයේ ඉන්දියානු ආයුර්වේදය හරහා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සත්ව විද්‍යාත්මකව යුරේසියාවට ආවේණික වූ Apis නම් ගණයට අයත් වන මීමැස්සා විශාල විවිධත්වයක් සහිත විශේෂ අතුරින් මීපැණි නිපදවන විශේෂ කිහිපය හැඳින්වෙන නමයි. මෙයින් ප්‍රධාන වශයෙන් අපරදිග මී මැස්සා (Apis mellifera) සහ පෙරදිග මී මැස්සා (Apis cerana) යනුවෙන් විශේෂ දෙකක් දක්නට ලැබේ. පළමු වරට අවුරුදු මිලියන 34 ක් පැරැණි මීමැසි පොසිලයක් හමුවන්නේ යුරෝපයෙන් වුවත් මීමැස්සා ගේ සම්භවය යුරෝපයේ යැයි ඉන් අදහස් නොවේ. මී පැණි වල ඖෂධීය ගුණ මිනිසා අවබෝධ කරන්නට ඇත්තේ මී මැස්සා විවිධ මල් රොන් ඇසුරින් නිපදවන විශ්මිත නිමැවුම සොබාදහමේ ආශීර්වාද ලත් ඖෂධයක් ලෙස පිළිගනිමිනි. එයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබිය හැකිය. මීපැණි වල ඖෂධීය භාවිතය ගැන පැරැණිතම අතීත සාක්ෂිය ලැබෙනුයේ සුමේරියානු පුවරුවක සටහන් කර තිබූ ඖෂධ වට්ටෝරුවක් තුළිනි. එය ක්‍රි.පූ. 2000 ට අයත් වේ. ඒ අනුව මී පැණි මානව ශිෂ්ටාචාරයේ ඖෂධයක් ලෙස මුලින් ම භාවිතා කොට ඇත්තේ තුවාල සුවකිරීම සඳහාය.

මුල් කාලීන දාර්ශනිකයන් වන හෝමර්, ඇරිස්ටෝටල් සහ නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් ආදී කොට සියල්ලන්ම මී පැණි වල සුව කිරීමේ හැකියාවන් විශ්වාස කළහ.

මී පැණි, පැණි සහ මී මැස්සන් ද ඉන්දියාවේ ඉතිහාසයේ ගැඹුරින් මුල් බැස ඇත. පුරාණ ඉන්දියානු ග්‍රන්ථ වන රිග්වේදය සහ උපනිෂද් මී මැස්සන් සහ මිනිසුන් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳව සවිස්තරාත්මකව විස්තර කරයි. ආයුර්වේද ග්‍රන්ථවල මී පැණි මධු යනුවෙන් හැඳින්වෙන අතර එහි අර්ථය “පැණිරස පරිපූර්ණත්වය” යන්නයි. අක්ෂි රෝග, වමනය, කැස්ස, පිපාසය, ඇදුම, සෙම් රෝග, ඉක්කාව, පණු ආසාදනය, වමනය තුළ රුධිරය, ලාදුරු, දියවැඩියාව, පාචනය, තරබාරුකම, තුවාල සුව කිරීම සහ තවත් බොහෝ රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මී පැණි නියම කරයි. පසුගිය සියවස් කිහිපයක් පුරා මීපැණි ගැන සිදු කර ඇති නවීන විද්‍යාත්මක පර්යේෂණ සියල්ලක්ම පාහේ මීපැණි වල පෝෂණ ගුණය හා ඖෂධීය ක්‍රියාව ගැන ඉතා පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි සපයා තිබේ. විශේෂයෙන් ම කිසිදු ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයකට මෙල්ල කළ නොහැකි MRSA නම් බැක්ටීරියා ආසාදනය අවසානයේ මීපැණි වලින් සුව කළ හැකි බව සොයා ගැනීමෙන් එය තහවුරු වේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ දී මීපැණි ඉතා බහුලව භාවිතා කරන ඖෂධයක් වන අතර බොහෝ කෂාය වල අනිවාර්ය ප්‍රතිවාපයක් ලෙස ගැනේ.

මීපැණි වල ඇති ප්‍රතික්ෂුද්‍රජීවී බලය බැක්ටීරියා වලට එරෙහිව පමණක් නොවේ වයිරස සම්බන්ධයෙන් ද ඉතා හොඳින් ක්‍රියාකරන බව පසුගිය දශකය තුළ මැනවින් ඔප්පු වී තිබේ.  

එසේ වුව ද ආයුර්වේදය හෝ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මීපැණි උණු කිරීම අනුමත නොකරන්නේ එනිසා විෂ සහිත පදාර්ථ ඇති වන නිසාය. එසේම මීපැණි උෂ්ණ විරෝධී නිසා කෂායකට පවා එකතු කරන්නේ නිවුණු පසුය. චරක සංහිතාව අනුව මීපැණි උණු කිරීමෙන් උපදින විෂ පදාර්ථ මාරාන්තික විය හැකි සඳහන් වේ. එහෙත් පිටතින් ආලේප කරන බෙහෙත් වර්ග වලට මීපැණි සංයෝග කරන විට ඒවා රත් කරන අවස්ථා දේශීය වෙදකමේ තිබේ. ආයූර්වේද නිඝණ්ටු වල උෂ්ණ සංයෝගයෙන් මීපැණි විෂ වන බව මෙසේ සඳහන් වේ.

රාජ නිඝණ්ටුව

උෂ්ණෛඃ සහෝෂ්ණකාලේ වා ස්වයමුෂ්ණමථාපි වා ආමං මධු මනුෂ්‍යාණාං විෂවත්තාපදායකම් (14/134)

මදනපාල නිඝණ්ටුව

තස්මාදග්න්‍යාත්තපාත්තප්තං තද්භුක්තං හන්ති මානවම්

උෂ්ණ කාලේච දේශේ ච ද්‍රවෛය්රුශ්ණෛශ්ච යෝජිතම් (9/32)

ධන්වන්තරී නිඝණ්ටුව

උෂ්ණෛවිරුද්ධ්‍යතේ සර්වං විෂාන්වයතයා ලධු

උෂ්ණාර්තරුක්ෂරුෂ්ණෞර්වා තන්නිහන්ති තථා විෂම් (7/235)

රත් කිරීමේ දී මීපැණි විෂ වන්නේ කෙසේද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ නවීන Millard Reaction Products නම් සිද්ධාන්තය හරහාය. මීපැණි යනු සීනි හා ඇමයිනෝ අම්ල සංයෝගයක් නිසා එය අධික උෂ්ණත්වයකට භාජනය කිරීමෙන් එහි melanoidins නමැති විෂ සහිත සංඝටක නිපදවෙන බව සොයාගෙන තිබේ. එහෙත් caramelization සඳහා සෙන්ටිග්‍රේඩ් 120-140 ක පමණ ඉහළ උෂ්ණත්වයක් අවශ්‍ය වේ. එසේම 5-Hydroxymethylfurfural (HMF) නමැති සංයෝගය ද 5-sulfoxymethylfurfural නම් ජානවලට විෂ සංයෝගයක් බවට පත්වේ. සාමන්‍යයෙන් මීපැණි කිලෝග්රෑම් 1 ක HMF මිලිග්‍රෑම් 40 ක් අන්තර්ගත වන අතර අලුත් මීපැණි වලට වඩා පැරැණි මීපැණි වල HMF වැඩි ප්‍රමාණයක් අඩංගු වේ.

එහෙත් නවීන පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ මීපැණි වල හොඳම ප්‍රතික්ෂුද්‍රජීවී ක්‍රියාව සිදුවන්නේ කාමර උෂ්ණත්වයේ දී බවය. මීපැණි සෙන්ටිග්‍රේඩ් අංශක 80 ට පැයක් රත් කිරීමෙන් ද වසර පහකට අධික කාලයක් පැරැණි වීමෙන් ද කාලයක් ආලෝකයට නිරාවරණය වීමෙන් ද එහි ප්‍රතික්ෂුද්‍රජීවී ගුණය හීන වන බව පෙනී ගොස් තිබේ. එසේම මීපැණි වල ක්ෂුද්‍රජීවී නාශක ගුණයට හේතු වන non-peroxide activity ආලෝකයට හා උෂ්ණයට නිරාවරණය වීමෙන් අඩුවන බව පෙනී ගොස් තිබේ.

මීපැණි උණු කිරීමේදී HMF ප්‍රතිශතය කිහිප ගුණයකින් ඉහළ යා හැකිය. එහෙත් මිනිසුන් ගේ ශරීරයේ කිලෝ ග්රෑම් එකකට HMF මිලිග්‍රෑම් 40 ක් දක්වා දරාගැනීමේ හැකියාව තිබේ. එහෙත් යම් පරිවෘත්තීය දුර්වලතාවක් නිසා එම HMF සිරුරෙන් නිසි ලෙස බැහැර නොවී පටක වල තැන්පත් වීමෙන් කාලයක් ගත වන විට විවිධ රෝගාබාධ හා මරණීය හානි සිදු විය හැකි බව පර්යේෂණ වලින් හෙළි වී තිබේ. එහෙත් මීපැණි මේස හැන්දක් එබඳු විෂ වීමකට ප්‍රමාණවත් නොවේ.

නවීන සොයා ගැනීම් අනුව පැහැයෙන් වඩාත් අඳුරු මීපැණි වල ෆිනොලික් රසායනික සංඝටක සංයුතිය වැඩි බැවින් ඒවා ගුණාත්මක බව වැඩි වේ. එහෙත් බටහිර ක්‍රමයට අනුව මීපැණි පිරිසිදු කරගැනීම (clarified) සඳහා පූර්වරත්කිරීම (preheating), පෙරීම (straining) හා පරිශ්‍රවණය (filtration) මෙන්ම ජල ප්‍රමාණය අඩු කිරීමට උණුකිරීමත් පසුව සිසිල් කිරීමත් කරනු ලැබේ. එසේම සමහර මීපැණි වල Clostridium botulinum වැනි ව්‍යාධිජනක බැක්ටීරියා වලින් සමන්විත හෙයින් ඒවා විශේෂයෙන් ම විෂ වීමට හේතු වන බව බටහිර රටවලින් වාර්තා වේ.

එනිසා බොහෝ රටවල කුඩා දරුවන් ට මීපැණි නිර්දේශ නොකරයි. එහෙත් අපේ රටවල කුඩා කාලයේ සිටම මීපැණි ඉතා බහුලව ඖෂධ සඳහා යෙදේ. විෂ සහිත මල් වර්ග වලින් ලබා ගන්නා රොන් වලින් සකසන මීපැණි වල විෂ සංඝටක මෙන්ම බැරලෝහ උරාගන්නා සමහර ශාක වල මල් පැණි වල එබඳු බැරලෝහ ද පවතින බව ද සොයා ගෙන තිබේ. පැරැණි ආයුර්වේද ග්‍රන්ථ වල ද ඒ බව සඳහන් වේ.

මදනපාල නිඝණ්ටුව

විෂාදීපුෂ්ටපුෂ්පේභ්යඃ සවිෂා මාක්ෂිකාදයඃ

මධු චින්වන්ති තස්මාත්තත්ස්වභාවාං සවිෂං ස්මෘතම් (9/31)

මීළඟට සාදික්කා විෂ සහිත ද යන ප්‍රශ්නයට පිළිතුරු සොයමු.

සාදික්කා වල ඖෂධ පිණිස ගනු ලබන්නේ එහි බීජය වටා ඇති වසාවාසි නම් ආවරණය හා බීජයේ ඇතුළත මදය වේ. එහි ක්‍රියාකාරී රසායනික සංඝටකය myristicin නමින් හැඳින්වේ. සාදික්කා මත්ද්‍රව්‍යයක් ලෙස අතීතයේ සිටම භාවිතා කොට ඇති බව වාර්තා වන අතර ආයුර්වේදය අනුව ද සාදික්කා වල මදකාරක බව පැහැදිලි කොට තිබේ. එහෙත් සාදික්කා නිසා මත්වීම හෝ විෂ වීමක් සිදුවන්නේ එහි වරකටට ශරීර ගත වන මාත්‍රාව මතය. සාදික්කා වසාවාසි දෙකම කුළුබඩු ලෙස ආහාරයට ගනු ලබන නිසා ඒවා ඉවුම් පිහුම් සඳහා භාවිතා කරන සාමාන්‍ය ප්‍රමාණයෙන් විෂ වීම වාර්තා නොවේ. එසේම ආයුර්වේදයේ සාදික්කා කිසිම අවස්ථාවක විෂ සහිත ඖෂධයක් ලෙස නොසැලකේ. යම් හෙයකින් විෂ සහිත ඖෂධයක් යොදා ගන්නා විට එය ශෝධනය කර විෂ මරා ගත යුතු ආකාරය ආයුර්වේද ග්‍රන්ථ වල පැහැදිලිව සඳහන් වේ.

ඒ අනුව සාදික්කා සඳහා එබඳු විශේෂ ක්‍රමවේදයක් කිසි විටෙකත් නිර්දේශ කොට නොමැති නිසා සාදික්කා විෂ සහිත යැයි පැවසීම ආයුර්වේදයට අනුව විද්‍යාත්මක ප්‍රකාශයක් නොවේ. එහෙත් අධිමාත්‍රාවෙන් ගනු ලබන ඕනෑම ඖෂධයක් විෂ විය හැකිය. එය ආයුර්වේද බටහිර චීන ඕනෑම වෛද්‍ය ක්‍රමයක භාවිතා කරන ඖෂධ පිළිබඳව සාධාරණ වේ.

සාමාන්‍යයෙන් වාර්තා වී ඇති ආකාරයට සාදික්කා ග්රෑම් 5 කට වඩා වරකට ශරීර ගත වීමෙන් විෂ ලක්ෂණ පහළ විය හැකි බව පිළිගනු ලබයි. එය වඩාත් පැහැදිලිව ශරීරයේ බර කිලෝග්රෑම් එකකට සාදික්කා මිලිග්‍රෑම් 2 ක් ඉක්මවූ ප්‍රමාණයක් ශරීර ගත වීමෙන් මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකි බව පෙන්වා දී තිබේ. අපේ කලං 12 ක කෂායක් ගත් විට එහි පතක් (මිලි ලීටර් 240) තුළ සාදික්කා ග්රෑම් 5 කට සමාන නිස්සාරණයක් අඩංගු බව උපකල්පනය කළ හොත් වරකට කෂාය පත භාගයක් (මිලි ලීටර් 120) බොන විට ශරීර ගත වන්නේ සාදික්කා ග්‍රෑම් 2.5 කට සමාන ප්‍රමාණයක් වේ. එය ද තවත් බොහෝ ඖෂධ වර්ග සමඟ සංයෝගයක් ලෙසය. එවිට කෂාය නිස්සාරණය කරන ක්‍රමය හා අනෙකුත් ඖෂධ වල සංයුතිය නිසා එහි අඩංගු myristicin වල විෂ ක්‍රියාව බොහෝ සෙයින පාලනය වී එහි ඖෂධීය ක්‍රියාව ඉස්මතු වී තිබේ. ඕනෑම වෛද්‍ය ක්‍රමයක් ඖෂධ ලෙස විෂ සහිත ද්‍රව්‍ය භාවිතා කරයි.

ඒ එම ද්‍රව්‍ය වල අඩංගු විෂ සංඝටක ඖෂධීය ක්‍රියාවලිය තුළ ගොනු කරවීම නිසාය. එබැවින් සාදික්කා ඖෂධයක් ලෙස භාවිතා කිරීම විෂ සහිත යැයි පළ කරන මතය හා ඊට හුරේ දමන කණ්ඩායම ද කරුණු නොදැන සිදුකරන්නේ දේශීය වෙදකමට හානියකි.

එහෙත් සාදික්කා ගෙඩියේ පිට ලෙල්ල සහිත මදය ඖෂධ පිණිස නොගනී. එය ඉන්දුනීසියාව වැනි රටවල සාමාන්‍ය ආහාරයක් ලෙස චට්නි, ජෑම් වැනි නිෂ්පාදන සඳහා යොදන ද්‍රව්‍යයකි. අපේ රටේ ද දරුවන් මේ ගෙඩි ඉදුණු පසු ආහාරයට ගන්නා පළතුරකි. ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කළ විට එහි ඇස්කොබික් අම්ලය, පෙක්ටින්, ප්‍රෝටීන්, පිෂ්ටය, ෆීනොල්, ටැනින්, ඛණිජ හා තන්තු අඩංගු බව පෙනී ගොස් තිබේ. එහි ග්‍රෑම් 100 ක අඩංගු පෝෂක සංයුතිය නිශ්චිතව ම දක්වන විට Carbohydrates (49.29 g), Protein (5.84 g), Dietary Fiber (20.8 g), Folates (76 µg), Niacin (1.299 mg), Pyridoxine (0.160 mg), Riboflavin (0.057 mg), Thiamin (0.346 mg), Vitamin-A (102 IU ), Vitamin C (3 mg), Sodium (16 mg), Potassium (350 mg), Calcium (184 mg), Copper (1.027 mg), Iron (3.04 mg), Magnesium (183 mg), Manganese (2.900 mg), Phosphorus (213 mg), Zinc (2.15 mg), Carotene-ß (16 µg), Crypto-xanthin-ß (90 µg) යනුවෙන් සටහන් කළ හැකිය. ඒ අනුව සාදික්කා වල පිට මදය සහිත ලෙලි ඉතා වටිනා පෝෂණීය ආහාරයක් ලෙස හැඳින්වීම නිවැරැදිය. ලංකාවේ ඉවත ලන සාදික්කා ලෙලි වලට අගය එකතු කොට ආදායම් මාර්ගයක් සැලසීමට ද මෙය වටිනා අවස්ථාවකි.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!