spot_img
spot_imgspot_img

සෙල්ලමට මාළු මරන්න සුද්දන්ට ඉඩ දෙමු ද?

පුවත්

විදෙස්

අධිරාජ්‍ය පාලන කාලයේ දී ශ්‍රී ලංකාව වඩාත්ම ජනප්‍රිය වී තිබුණේ අලි සහ කොටි දඩයම් කළ හැකි භූමියක් ලෙසිනි. එකළ ඇතැම් විදේශිකයෝ මේ සතුන් දඩයමට මෙරටට පැමිණියහ.

වන වැදී කොටි හා අලි වෙඩි තබා මරා දැමීම ඔවුන්ගේ විනෝද ක්‍රීඩාවක් විය. මේ ක්‍රීඩාව අදට ද අපේ රටේ සැවොම පිළිකුලෙන් හෙළා දකිති. අද වනයේ සිටින අලියකු නොව වෙනත් සතකු හෝ මරා දැමීම සඳහා සංචරකයන්ට අවසර දෙන්නේ නම් මෙරට ජන සමාජයෙන් නැගෙන විරෝධය හරකුන් මරාදැමීමට නැගෙන විරෝධයට වඩා කිහිප ගුණයකින් වැඩි වනු ඇත.

මස් සහ කිරි සඳහා ඇතිදැඩි කරන ගෘහස්ථ හරකුන්ට වඩා වන සතුන්ට අපේ ජන සමාජයේ අදට ද ආදරයක් ඇති බැවින් එය එසේම සිදුවනු ඇත.

ගව ඝාතනය තහනම් කිරීමට පවා යෝජනා කරන ලද අගමැතිවරයාගේ රජයේ එම පක්ෂයේම එක්තරා මන්ත්‍රීවරයකු පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කතා කරමින් අමුතු අදහසක් ප්‍රකාශ කෙළේය. ඒ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩිය. ඔහු කියා සිටියේ මෙරටට පැමිණෙන සංචාරකයන්ට මාළු විදීමේ ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව දිය යුතු බවයි.

වනයේ සිටින අලි මැරීම, කොටි දඩයම් කිරීම ම්ලේච්ඡත්වයේ සංකේතයක් ලෙස සළකන බෞද්ධයැයි කියාගන්නා රජයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙවන් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී සිදුකිරීම නැවත නැවතත් විමසා බැලිය යුතු කරුණකි. හබරාදුව ආසන සංවිධායකවයරා ලෙස දීර්ඝකාලයක සිට කටයුතු කරන චන්දිම වීරක්කොඩි මෙවන් ප්‍රකාශයක් කරන්නට ඇත්තේ තම ඡන්ද පදනම ඇති ප්‍රදේශයේ කිහිප දෙනකු සතුටු කිරීම හා ඔවුන්ට ආදායම් උත්පාදනය කර දීම මෙරට පරිසරය සුරක්ෂිත කිරීමට වඩා වැදගත් වන බැවින් විය යුතුය. ඔහු පවසන්නේ ඇතැම් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මාළු විදීමේ ක්‍රීඩාවට පමණක් බවයි. මේ නිසා සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමටනම් මාළු විදීමේ ක්‍රීඩාවට ඇති නීතිමය බාධා ඉවත් කළ යුතු බව අධිනීතිඥවරයකු වන චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තුවේ දී පවසා ඇත.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මෙසේ කීවේය.

“මම මේ අදහස පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයට පත්කළේ මා දශක දෙකක් පමණ නියෝජනය කරන හබරාදුව ආසනයේ අති විශාල පිරිසක් මේ ක්‍රීඩාව කළ බව දන්නා නිසා. කොරෝනා වසංගතය සමඟ රටේ ආර්ථිකය බිඳ වැටෙමින් තිබෙනවා. අපිට සංචාරකයන් කඩිනමින් ගෙන්වා ගත යුතුයි. ඒ සඳහා ප්‍රචාරාත්මක වැඩ කරලා සාර්ථක වෙනවාට වඩා ඉක්මණින් මේ වගේ ක්‍රීඩාවකට අවස්ථාව දීම සුදුසුයි. රුසියාව වැනි රටවල විශාල පිරිසක් මේ ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකාවට එන්න පුරුදු වෙලා හිටියා. මම කියන්නේ නැහැ පරිසරයට හානිවන විදියට මේ ක්‍රීඩාව කරන්න කියා. අපි ඉල්ලා සිටින්නේ පරිසරයට හානි නොවන ආකාරයට දුර්ලභ සහ වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් නොමරා මේ ක්‍රීඩාව කිරීමට අවසර දෙන්න කියලා. මේ ක්‍රීඩාවෙන් ජීවත් වූ විශාල ප්‍රමාණයක් දැන් ආදායම් නැතිව ඉන්නවා. පරිසරවේදීන් කියන විදියට මාළු ඇල්ලීමත් සම්පූර්ණයෙන් නතර කරන්න වෙනවා. මේ විදියට හිතනවානම්. පරසරයත් ආරක්ෂා කරමින් අපි සංචාරක කර්මාන්තය දියුණු කළ යුතුයි.”

සතුන් දඩයම් කිරීම සඳහා සංචාරකයන් පෙළඹුණේ අදින් සියවසකට දෙකකට පෙරාතුව අතීතයේය. අදට ද දඩයම් කිරීමේ සංචාරක කර්මාන්තය නැතැයි අපි කියන්නේ නැත. නමුත් මේ වනවිට ලෝකය පුරා ප්‍රවණතාව වී තිබෙන්නේ පරිසරයට හෝ ජීවීන්ට හිතකර සහ විශේෂයෙන් ම නැරඹීම හා ඔවුන්ගේ චර්යාවන් දැක බලා රසවිඳීම පාදක කරගත් Nature Friendly සංචාරක කර්මාන්තයටය. Eco Tourism ගැන ලෝකයම කතා කරන්නේත් අපේ රටේ එය ප්‍රවර්ධනය කරන්නේත් එබැවිනි. එමගින් පරිසරය ආරක්ෂා කරගැනීම තුළින් සංචාරක ව්‍යාපාරයේ ධරණීය භාවයත් සහතික කරයි.

මේ සඳහා ශ්‍රී ලංකාව යනු අතිශය වැදගත්වූ භූමියකි. ලොව ඇති පාරිසරක පද්ධතිවලින් හිම සහිත භූමි හා කාන්තාර හැර අන් සියලු පිරීසර පද්ධතීන් දක්නට ඇති එමෙන්ම ඉතාත් කෙටි කාලකින් සංචාරකයකුට ඒ සියලු පාරිසරික පද්ධතීන්වල ආශ්වාදය විඳගත හැකි ජෛව විවිධත්ය අතින් ලොව උණුසුම්ම රටක් ලෙස නම ලබා ඇති ශ්‍රී ලංකාවේ නව සංචාරක ප්‍රවණතා වර්ධනය කරනවා හැර දඩයම් යුගයේ ම්ලේච්ඡ සිතිවිලි වර්ධනය කිරීම පරිසරය හිතැති කිසිවෙකු අනුමත කරන්නක් නොවේ.

මහ මුහුදේ සිදුවන සංචාරක කර්මාන්තය ගැන අවධානය යොමු කරන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකාව සපුරා ඇති සුදුසුකම් ලොව කිසිදු රටකට දෙවැනි නොවනු ඇත. ඉතාමත් හොඳින් හිරු එළිය පතිතවන මහද්වීප තටාකයක් සහිත අපූරු නොගැඹුරු මුහුදක් රට වටාම පිහිටා තිබේ. මේ මුහුදේ වසර දහස් ගණනකට පෙරාතුව සිටි ගිලී ගිය නෞකා රැසක් අපූරු සංචාරක ආකර්ශනීය ස්ථාන ලෙස පවතී. ඉන් වැඩිම ප්‍රමාණයක් පිහිට ඇත්තේ ද චන්දිම වීරක්කොඩි පාර්ලිමේනතු වරම් ලැබූ ගාල්ල දිස්ත්‍රික්කයේ මායිම වූ මුහුදු තීරයේය. එපමණක් නොව මහා බාධක පරයට පමණක් දෙවැනි වන ලොව ඉතාමත් මනස්කාන්ත හා වැඩිම සජීවී බවකින් යුතු කොරල්පර පිහිටා ඇත්තේ ද මේ නිරිතදිග මුහුදු තීරයේය.

අදින් දශක දෙකකට පෙර අපට වඩා ආර්ථික වශයෙන් ඉතා පසුපසින් සිටි මාලදිවයිනේ රජය එරටට පැමිණෙන සංචාරකයන් සඳහා මුහුද යට සංචාරයේ යෙදීමට සබ්මැරීන් පවා යොදවා තිබුණ ද මේ තරම් මනරම් මුහුදු පරිසරයකට හිමිකම් කියන අපේ රටේ කිසිදු රජයකට එවැනි සැළැස්මක් නැත.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මසුන් විදීමේ ක්‍රීඩාව යළිත් අනුමත කිරීම තුළින් ටික දෙනෙකුට ලැබෙන කිසියම් ආදායමකට වඩා එහි පරිසර හානිය අතිවිශාල බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව ලෝකයට පෙන්වන්නට උත්සාහ ගන්නා ප්‍රතිරූපයටත් එය පරිපර විරෝධී සහ හානිකර දෙයක් බව ද ඔවුහු කියති.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම කළ යුත්තේ පරිසරය  ආරක්ෂා වන රටේ අනන්‍යතාවයට, සභ්‍යත්වයට සහ සදාචාරයට ගැලපෙන අයුරිනි. සදාචාරාත්මක සංචාරක ව්‍යාපාරය (Ethical Tourism) යන සන්නාමය තුළ එය විශේෂිත සංචාරකයන්ට වඩාත් ආකර්ශනීය පැතිකඩය.

එය කල යුත්තේ නව අදහස් සහ සංකල්පයන් තුලින් මෙන්ම ලොව පුරා තිබෙන ප්‍රවනතා පිලිබඳවත් නිසියාකාර අවබෝධයකිනි. ලොව පුරා ප්‍රතික්ෂේප වූ නොදියුණු සහ විනාශකාරී දේ ප්‍රචලිත කිරීමෙන් නොවේ.

මසුන් විදීමේ ක්‍රීඩාව (Spearfishing) හෙවත් උලකින් (spear) ඇනීම මගින් හෝ යාන්ත්‍රික ක්‍රමයකින් විදින උලක (speargun) ආධාරයෙන් මසුන් මැරීමේ ක්‍රීඩාව මෙරට කාලයක සිට සිදුවූවකි. එමගින් සිදුවන පාරිසරික හානි පිලිබඳ මීට දශක කිහිපයක සිට සාකච්ඡා විමේ ප්‍රතිඵලයක් ලෙස එය වැළැක්වීමට නීති පැනවිණි.

පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන්නේ ඔහු රැස්කළ තොරතුරු අනුව මේ පිළිබඳ 1979 වර්ෂයේ සිට මෙරට දැඩි කතිකාවක් ඇති වී තිබෙන බවයි.  ආචාර්ය ජගත් ගුණවර්ධන මෙසේ පවසයි.

“කොරල් පර ආශ්‍රිතව ජීවත්වන ඇතැම් කරදිය මසුන් වඳවීම හා ඔවුන්ග් වඳවීම සමඟ කොරල්වලට හානිකරන ජීවීන්ගේ වැඩිවීමක් දක්නට ලැබීමත් සමඟ මසුන් විදීමේ ක්‍රීඩාව තහනම් කරන ලෙස විවිධ පාර්ශවවලින් දැඩි ඉල්ලීම් ලැබී තිබුණා. ලෝකයේ වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක්ව සිටින Napolean Wrasse / Humphead Wrasse ( Cheilinus undulatus) මත්ස්‍යයකු උලකින් ඇණ මරා ඒ මාළුවා සමඟ ඡායාරූපයක් ප්‍රසිද්ධ කිරීමත් සමඟ මේ ගැන විශාල විරෝධයක් මතුවුණා. මේ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස 2017 වර්ෂයේ දී මසුන් විදින ස්පියර් තුවක්කුවක් භාවිතා කිරීම හෝ සන්තකයේ තබා ගැනීම හෝ දේශීය ධීවර බෝට්ටුවක් තුළ තබා ගැනීමත් එමෙන්ම කිසිම තැනැත්තෙක් විසින් ශ්‍රී ලංකා ජල තීරය තුළ ස්පියර් තුවක්කු හෝ අතෙහි රඳවන උල් කරන ලද කූරු භාවිතයෙන් ධීවර මෙහෙයුම්වල නිරතවීම තහනම් කළා.”

මෙම නියෝගය පනවා ඇත්තේ ධීවර හා ජලජ සම්පත් පනතේ 28 වැනි වගන්තිය යටතේ 2017 මාර්තු 03 දිනැති අංක 2008/31 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි.

2017 අංක 01 දරන ධීවර මෙහෙයුම්වලදී උල්කරන ලද කූරු භාවිතා කිරීම තහනම් කිරීමේ නියෝග​(Prohibition of Spears in Fishing Operations No.01 of 2017) මගින් මසුන් විදීමේ ක්‍රීඩාවට භාවිතා කරන උල් සහ උල් යාන්ත්‍රික ක්‍රමයට විදීමේ උපකරණ භාවිතයත් තහනම් කර ඇත. එම නියාග අනුව “කිසිම තැනැත්තෙකු විසින් ස්පියර් තුවක්කුවක් භාවිතා කිරීම හෝ සන්තකයේ තබා ගැනීම හෝ දේශීය ධීවර බෝට්ටුවක් තුල තබා ගැනීමත් හෝ එමෙන්ම කිසිම තැනැත්තෙක් විසින් ශ්‍රී ලංකා ජල තීරය තුල ස්පියර් තුවක්කු හෝ අතෙහි රඳවන උල් කරන ලද කූරු භාවිතයෙන් ධීවර මෙහෙයුම් වල නිරත නොවිය යුතු බවත් දක්වා තිබේ.

මෙම ගැසට් පත්‍රය සමග මසුන් විදීමේ ක්‍රීඩාව වසර තුනකට වැඩි කාලයක් මෙරට තහනම් වී තිබේ.

ආචාර්ය ජගත් ගුණවර්ධන ඒ පිළිබඳ මෙසේ කියයි.

“මසුන් විදින ක්‍රීඩාව කුමක්ද යන්න නීතිමය වශයෙන් නිර්වචනය දුෂ්කර නිසා එම ක්‍රියාවට භාවිතා කරන උපකරණවලට පනවන තහනමක් හරහා ව්‍යංගයෙන් මේ ක්‍රියාව නතර කිරීම මේ නියෝගවල නීතිමය ප්‍රවේශය වුණා. මෙරට මසුන් විදීමේ ක්‍රීඩාවේ දී නොගැඹුරු දියේ, විශේෂයෙන් ම කොරල් පර ආශ්‍රිතවත්, කිමිදුම් උපකරණ සහිතව වඩා ගැඹුරු මුහුදේත් වශයෙනුත්, අතේ ගෙනයන උල් කරන ලද ලෝහ කූරු මගින් සහ යාන්ත්‍රික ක්‍රමයට විදීමේ උපකරණ මගින් කෙරෙන මසුන් දඩයම වශයෙනුත් මේ ක්‍රීඩාව වෙන්කර දක්වන්න පුළුවන්. මේ සියලුම ආකාර වලින් මත්ස්‍ය විශේෂ ගණනාවක් දුලබ සහ ඉතා දුලබ තත්වයට පත්වීම මෙන්ම වඳවීයාමේ තර්ජනයට ලොව පුරා මුහුණදී සිටින විශේෂ මේ ආකාරයෙන් මරා දැමීමත් සිදුවුණා. ඒ නිසා තමයි මෙවැනි තීරණයක් අරගෙන තිබෙන්නේ. නමුත් වර්තමානයේ ඉදිරිපත්ව තිබෙන යෝජනාවත් සමඟින් මේ කරුණු යළි ඉදිරියට ගත යුතුව තිබෙනවා.”

මෙම ක්‍රීඩාවේ දී සිදුවන්නේ දුනුපටි සහිත තුවක්කුවක් වැනි උපකරණයට ඊතලයක් දමා කොරල්පර මසුන් ඉල්කක කර විදීමයි. ඉන් පසු මේ ඊතලයට සම්බන්ධ නූල මගින් ඉලක්කවූ මාළුවා ළඟට ඇද ගැනීම සිදුකරයි.

දකුණු මුහුදු තීරයේ බහුලව සිදුවූ මේ ක්‍රීඩාවෙන් කොරල් සහිත පරිසර පද්ධතියේ සිටින විශාලතම සහ එහි සමතුලිතභාවයට ඉතාමත් වැදගත්වන මසුන් විශාල ප්‍රමාණයක දිවි අහිමි වී ගියේය.

ඇතැම් පුද්ගලයන් පවසන්නේ මුහුදු ආරක්ෂිත කලාප Marine Protected Areas (MPA) ලෙස හඳුනාගෙන ඇති ස්ථානවල හැර අනෙත් ස්ථානවල මේ ක්‍රීඩාවට ඉඩදිය යුතු බවයි. මෙය සැබැවින්ම විහිළු සහගත යෝජනාවකි. ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති ආරක්ෂිත මුහුදු ප්‍රදේශ සංඛ්‍යාව 27කි. කොතරම් නීතියෙන් තහනම් වුව ද අදටත් එම රට වටේම මුහුදු ප්‍රදේශවල හොර රහසේ මේ ආකාරයෙන් විනෝදය පිණිස මසුන් දඩයම සිදුවෙයි

මේ වනවිට හොර රහසේ සිදුවන මේ ක්‍රීඩාවට නීතියෙන් ඇති බාධා ඉවත් වුවහොත් කුමකින් කුමක් සිදුවේද යන්න ගැටලුවකි. කොතරම් නීතිය ක්‍රියාත්මක වනවායැයි කීව ද මුහුදු වෙරළේ සංචාරක ප්‍රදේශවල විශේෂයෙන් ම උණවටුන, හික්කඩුව, මිරිස්ස, තංගල්ල හා ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල විදේශිකයන්ට මසුන් විද මැරීමට අවශ්‍ය පහසුකම් සපයන ස්ථාන මෙන්ම ඒ සඳහා යොදාගන්නා උපකරණ අලුත්වැඩියා කරන ස්ථාන ද පිහිටා තිබේ.

2013 වසරේදි සමාජ මාධ්‍ය ජලායක පළ කර තිබූ මේ ඡායාරූපය දැඩි ලෙස විවාදයට තුඩුදුන්නකි. එහි දක්නට ලැබෙන්නේ වඳවී යාමේ තර්ජනයට දැඩිලෙස ලක්ව සිටින Napolean Wrasse / Humphead Wrasse (Cheilinus undulatus) මත්ස්‍යයෙකු උණවටුන ප්‍රදේශයේදී Spearfishing හෙවත් උලකින් ඇන ඝාතනය කිරීමෙන් පසු ප්‍රදර්ශනය කරන ආකාරයයි.  මේ සත්ත්වයා රතු දත්ත පොතට අනුව වඳවීයාමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයකි.

Wrasse මත්ස්‍යයින් හිඟවීම තුලින් ඔවුන්ගේ ආහාර වන Thorn Star Fish (උල් කටු තාරකා මත්ස්‍යයින්) ගේ ගහණය වැඩි විය හැකියැයි පරිසරවේදීන් පෙන්වා දෙයි. 2012 වර්ෂයේ දී පරවි දූපත වනෝද්‍යානය අසන්නයේ මේ ගහණයේ වැඩි වීමක් දක්නට ලැබිණි. එවැනි ස්වාභාවික ගහණ පාලනයට මේ Wrasse මසුන් සෘජුවම දායක වෙයි. එමෙන්ම මේ Spearfishing වලින් Giant Groupers (Epinephelus lanceolatus) මෙන්ම Parrot Fish (Scaridae sp) දඩයම් කිරීම සිදුවේ. එහි අහිතකර ප්‍රතිඵලය වන්නේ කොරල්පර ආශ්‍රිත මත්ස්‍ය ප්‍රජාවට හානි වීම පමණක් නොව සාගර ජීවී තුල්‍යතාව බිඳ වැටීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!