spot_img
spot_imgspot_img

වයිරස් නැතිව ලෝකයේ පැවැත්මක් නෑ

පුවත්

විදෙස්

කොරෝනා වයිරස් රෝගය ලෙස පොදුවේ හඳුන්වන වත්මන් වසංගත රෝගයේ නිල නාමය Coronavirus disease 2019 (COVID-19). රෝගකාරක වෛරසය විද්‍යාත්මකව හඳුන්වන්නේ severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) හැටියටයි.

වෛද්‍යවරුන් එතෙක් නොදැන සිටි මෙම රෝගය සහ වයිරසය මුල්වරට වාර්තා වුණේ 2019 දෙසැම්බරයේ චීනයේ වුහාන් නගරයෙන්. (මුල් සති කිහිපයේ හරි හැටි කළමනාකරණය කරනු ලැබුවේ නම් රෝගය චීනය තුළම පාලනය කර ගත හැකිව තිබුණා.)

ඒ අනුව රෝගය මතු වී මේ මාසයට වසරක් පිරෙනවා. 2020 දෙසැම්බර් 2දා වන විට ලොව පුරා රෝගීන් මිලියන 63.8 වාර්තා වී ඇති අතර ලක්ෂ පහළවකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මිය ගිහින්. ආර්ථිකයට, ජන ජීවිතයට සහ සංස්කෘතික කටයුතුවලට මේ වසංගතය ඇතිකර තිබෙන හිතකර බලපෑම ඉමහත්. 

ඇසට නොපෙනෙන කුඩා වයිරසයක් මෙතරම් හානියක් කරනු ඇතැයි මීට වසරකට පෙර පරිකල්පනය කළේ කවුද?

වත්මන් වසංගතයට පෙර මානව සංහතියට SARS, MERS, Ebola, HIV, සූකර උණ, කුරුළු උණ සහ ඩෙංගු වැනි වෛරස් රෝග රැසක් සමග පොර බදන්නට සිදු වුණා. ගෝලීය මට්ටමින් පුවත් ආවරණයට ලක්නොවූ තවත් වයිරස් රෝග තිබෙනවා.

වයිරස්වල චර්යාව ගැන තවමත් විද්‍යාඥයන් පර්යේෂණ කරගෙන යනවා. මේ දක්වා සොයා නොගත් වෛරස් රැසක් සොබාදහමේ පවතින බවත් අනුමාන කෙරෙනවා.

වයිරස් නොමැති ලෝකයක ජීවත් වන්නට හැකි නම් කෙතරම් අපූරුද? වසංගතයෙන් හෙම්බත් වී සිටින අප සමහරෙක්ට එසේ සිතෙන්නට පුළුවන්.

එහෙත් එය ඉතා සීරුවෙන් කළ යුතු ප්‍රාර්ථනයක්. මානවයන්ට සහ පරිසරයට හිතකර වයිරස් විශේෂ ද තිබෙන නිසා.

අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්-මැඩිසන් සරසරවියේ වසංගත රෝග විද්‍යාඥ ටෝනි ගෝල්ඩ්බර්ග් මෙසේ කියනවා: “ලෝකයේ සියලුම වෛරස ඉබේම විනාශ වුවහොත් හෝ අප විසින් විශාල ප්‍රයත්නයකින් පසු විනාශ කරනු ලැබුවොත්, ඉන්පසු මානව අපට යහතින් ජීවත් විය හැක්කේ දින කිහිපයක් පමණයි. එයට හේතුව පරිසරයේ ජීවයට හිතකර ක්‍රියාවන් සඳහා විශාල දායකත්වයක් සපයන වෛරස ද පැවතීමයි.”

සොබාදහමේ හමු වන සමස්ත වයිරස් විශේෂ සංඛ්‍යාව සමග සසඳන විට අපට වින කරන්නේ සාපේක්ෂව සීමිත වයිරස් ප්‍රමාණයක්. 

එසේම සමහර වයිරස්, මානව අපට සහ සත්ව ලෝකයේ වෙනත් ජීවීන්ට හිතකර ක්‍රියා සිදු කරන බව සොයා ගෙන තිබෙනවා. 

ඉතා සරලව විග්‍රහ කළොත් වයිරසයක් යනු ප්‍රෝටීන් ආවරණයකින් වට කරනු ලැබූ ජානමය ද්‍රව්‍ය සමුදායක්.  ඒක සෛලීය ජීවීන් වන බැක්ටීරියාවලටත් වඩා වයිරස් වෙනස්. තනිවම තමන්ගේ ජීවය පවත්වා ගන්නට වයිරස් වලට නොහැකි නිසා ඒවා සැමවිටම වෙනත් ජීවියකුගේ සිරුර තුළට ඇතුළු වනවා. 

එසේ ඇතුළු වන ජීවියා ධාරකයා (host) ලෙස නම් කෙරෙනවා.  ධාරකයාගේ සිරුරේ සෛල තුළට පිවිසෙන වයිරස්, එහි සිට තමන්ගේ ජෛව පිටපත් නිපදවන්නට පටන් ගන්නවා. එවිට සෛලයේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සියල්ල අඩාල වනවා. වයිරස් ආසාදනයකදී සිදු වන්නේ මෙයයි.

වයිරස්, බැක්ටීරියා සහ දිලීර අයත් වන්නේ ක්ෂුද්‍රජීවී ලෝකයටයි. මේ ජීවීන් අපේ ප්‍රකෘති ඇසින් දැක ගන්නට බැරි තරම් කුඩායි.  

මිහිපිට ජෛව විවිධත්වයේ එක් වැදගත් ස්ථරයක් වන්නේ ක්ෂුද්‍රජීවීන්. ඇසට නොපෙනෙන මේ ජෛව යථාර්ථය පවතින බව මුල්වරට සොයා ගනු ලැබුවේ 17 සියවස මැදදී.  

ඇන්ටොනි ෆන් ලියුවන්හොක් (Antonie van Leeuwenhoek: 1632-1723) නම් ඕලන්ද ජාතික විද්‍යාඥයා, මුල්ම අණ්වික්ෂයක් නිපදවමින් 1673 දී ක්ෂුද්‍ර ජීවීන් අප අවට පරිසරයේ වාතයේ, ජලයේ සහ විවිධ මතුපිට හැම තැනම සිටින බව සොයා ගෙන ලොවට හෙළි කළා. එනිසා ඔහු ක්ෂුද්‍රජීවී විද්‍යාවේ පියා ලෙස සැලකෙනවා.

ඔහුගේ සමකාලීනයකු වූ බ්‍රිතාන්‍ය විද්‍යාඥ රොබට් හුක් (Robert Hooke : 1635-1703) 1665 වසරේ මයික්‍රොග්‍රැෆියා නම් වැදගත් පොතක් පළ කරමින්, එවකට තිබූ දුරදක්න සහ අන්වීක්ෂ හරහා තමන් දුටු දුරස්ථ සහ සමීප සොබාදහමේ පැතිකඩ එහි ඇතුළත් කළා.

පැළෑටිවල, පසේ මෙන්ම කුණු වෙමින් තිබෙන එළවළු මතුපිට දැකිය හැකි පුස් හෙවත් දිලීර විශේෂයක් ගැන රූප සටහනක් ඒ අතර තිබුණා. (ඡායාරූප ශිල්පය නොතිබි ඒ යුගයේ සියලු රූප සටහන් අතින් අඳිනු ලැබුවා.)

සියලු ශාක සහ සතුන්ගේ ජෛවීය තැනුම් ඒකකය වන්නේ සෛලය (cell) බව තේරුම් ගෙන, එම නම යෝජනා කළේ ද ඔහුයි.

මේ අනුව සමස්ත ක්ෂුද්‍රජීවී ලෝකය පිළිබඳව මානව දැනුම ලබා ගෙන තිබෙන්නේ ගෙවී ගිය සියවස් හතරකට ටිකක් අඩු කාලය තුළයි. ඒ කාලයේ වුව ද වැඩිපුරම වෛද්‍ය පර්යේෂකයන්ගේ සහ සත්ව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මානව අපට රෝග ඇති කරන අහිතකර ක්ෂුද්‍රජීවීන් අධ්‍යයනය කරන්නයි.

පාරිසරිකව වැදගත් මෙහෙවරක් ඉටු කරන බැක්ටීරියා ගැන මෑත දශකවල ක්ෂුද්‍රජීව විද්‍යාඥයන් සොයාගැනීම් කළත්, ජෛව ලෝකයට හිතකර සේවා සපයන වයිරස ගැන පර්යේෂණ සිදුව ඇත්තේ ඉතා අඩුවෙන්.

බැක්ටීරියා ඇතුලට පිවිස ඒවා ආසාදනය කරන්නටම පරිණාමය වූ වයිරස විශේෂ තිබෙනවා. ඒවාට කියන්නේ බැක්ටීරියා භක්ෂකයන් හෙවත් bacteriophages කියායි. සමහර බැක්ටීරියා භක්ෂකයන් තමන්ගේ ධාරක බැක්ටීරියා විනාශ කරන අතර, තවත් බැක්ටීරියා භක්ෂකයන් තම ධාරක බැක්ටීරියා සමග යම් සහජීවනයකට එළඹෙනවා.

බැක්ටීරියා භක්ෂක විසින් බැක්ටීරියාවල ගහනය නිශ්චිත මට්ටමක පවත්වා ගැනීම හරහා ක්ෂුද්‍ර ජීවී ලෝකයට වැදගත් තුලනයක් ලබා දෙන බව හෙළිව තිබෙනවා. එය සත්ව ලෝකයේ ඉහළ සත්ව කාණ්ඩ අතර තිබෙන විලෝපීයන් සහ ගොදුරු අතර තිබෙන සහසම්බන්ධතාව වගේ.

ටෝනි ගෝල්ඩ්බර්ග් තව දුරටත් කියන හැටියට: “සාගරවල බැක්ටීරියා ගහන නියත මට්ටමක නියාමනය වන්නේ බැක්ටීරියා භක්ෂක වයිරස පැවතීම නිසයි.  සාගරයේ ජෛව සම්පත්වලින් 90%කට වඩා ඇත්තේ ක්ෂුද්‍රජීවී මට්ටමේ නිසා, බැක්ටීරියා භක්ෂක වයිරස පැවතීම සාගරවල සමතුලිතභාවයට තීරණාත්මකයි.”

සෑම දිනකම බැක්ටීරියා භක්ෂක වයිරස් විසින් සාගරයේ තිබෙන බැක්ටීරියාවලින් 50% පමණ කා දමන බව සොයා ගෙන තිබෙනවා. බැක්ටීරියා නිශ්චිත මට්ටමක පවත්වා ගැනීම හරහා සාගරයේ ඉතා පුළුල්ව හමුවෙන ප්ලැංක්ටන් ප්ලවාංගවලට තරම් පෝෂක ද්‍රව්‍ය ඉතුරු වෙනවා. ප්‍රභාසංස්ලේෂණය හරහා හිරු එළිය උරාගෙන ජෛව ද්‍රව්‍ය නිපදවන මේ ප්ලවාංග, එහිදී ඔක්සිජන් වායුව පිට කරනවා.   

මිහිතලයේ තුනෙන් දෙකකට වඩා වසා ගෙන තිබෙන සාගරවල නිරතුරුව සිදු වන මේ වැදගත් ස්වභාවික ක්‍රියාදාමය පවත්වා ගැනීමට බැක්ටීරියා භක්ෂක වයිරස් අත්‍යවශ්‍යයි.

මේ අතර තණකොලවල තිබෙන සමහර වෛරස විශේෂ, ඒවා ආහාරයට ගන්නා ශාක භක්ෂක සතුන්ගේ ජීර්ණ පද්ධති තුළ තණකොළ දිරවීමට උපකාර වන බවට සාක්ෂි තිබෙනවා. 

වෙනත් සතුන්ගේ මෙන්ම මානව අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළත් හිතකර ක්ෂුද්‍රජීවීන් විශේෂ ගණනාවක් ජීවත් වනවා. Human microbiome හෙවත් මානව ක්ෂුද්‍ර පරිසර පද්ධති ලෙස හඳුන්වන මේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් සහ අපේ යහපත් සෞඛ්‍යය අතර තිබෙන බැඳීම ගැන වසර කිහිපයක පටන් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ කර ගෙන යනවා. 

කැනඩාවේ බ්‍රිටිශ් කොලම්බියා සරසවියේ පාරිසරික වයිරස විශේෂඥ කර්ටිස් පට්ල් කියන හැටියට, “අපේ ශරීර තුළ සිටින හිතකර බැක්ටීරියා ගැන වෛද්‍ය පර්යේෂකයන් කලෙක පටන් දැන සිටියා. එහෙත් එම හිතකර බැක්ටීරියා නියාමනය කිරීමට යම් හිතකර වයිරස දායක වන බවට පර්යේෂණාත්මක සාක්ෂි දැන් මතු වෙමින් තිබෙනවා. මානව දේහය තුළ තිබෙන පාරිසරික පද්ධතියේත්, සමස්ත ග්‍රහ ලෝකයේ විවිධ පරිසර පද්ධතිවලත් විවිධ වෛරස ඉටු කරන කාර්ය භාරය අප තවත් අධ්‍යයනය කළ යුතුයි.”

ගොඩබිම වෙසෙන සමහර කෘමි විශේෂවල ගහනයන් ස්වභාවිකව තුලනය කර ගැනීමටත් සමහර වයිරස් උපකාර වනවා. කෘමි ගහනයන් නිශ්චිත මට්ටමක පවතින්නේ ඔවුන්ගේ සිරුරු තුළට පිවිස ඔවුන් ලෙඩ කර මරා දැමිය හැකි යම් වයිරස නිසයි. 

මේ වයිරස තුරන් කළොත් කෘමි ගහනයන් ඉහළ ගොස්, මානව ජනාවාස සහ ගොවිපළවලට ලොකු හානි සිදුවිය හැකියි.

කර්ටිස් සට්ල් කියන්නේ වයිරස යනු ස්වභාදහමේ වැදගත් නියාමන මෙවලමක් බවයි.

“කෘමීන් වේවා ඊට වඩා දියුණු සතුන් වේවා ඔවුන්ගේ ගහනය විශාල වෙමින් ඔවුන්ටත් පරිසර පද්ධතියටත් අධික පීඩනයක් ඇති කරන විට සොබාදහමින් මතු වන යම් වයිරස ආසාදන හරහා අදාල ජීවී සංඛ්‍යාව අඩු කරනවා. ඒ මගින් පාරිසරික තුලනය නැවත ලබා ගන්නට තැත් කෙරෙනවා.”

එසේ නම් COVID-19 මතුව ඇත්තේ මානව සත්ත්වයන් මිහිපිට අසීමිත ලෙස වැඩිවීම නියාමනය කිරීමේ ස්වාභාවික උත්සාහයක් ලෙසද? එබන්දක් කල්පිතයක් ලෙස තර්ක කළ හැකි වුවත් ඒ සඳහා ඇති තරම් සාක්ෂි තවම නැහැ.

සොබාදහමේ නිරායාසයෙන් සිදු වන ක්‍රියාදාමයන් රාශියක් තිබෙනවා. ඒවා අතරින් කීපයක් සීරුවෙන් තෝරා ගෙන, අපේ ග්‍රහලෝකය ‘සවිඥානිකව හැසිරෙන’ බවට සමහරුන් පරිකල්පනය කරනවා.

COVID-19 වසංගතය යනු ‘මානව අපගේ ක්‍රියාවලින් පීඩාවට පත්වූ මිහිතලය මානවයන්ට පාඩමක් උගන්වන්නට තැත් කිරීමක්’ යයි අභව්‍ය කල්පිතයක් සමහරුන් මෑත මාසවල ප්‍රවර්ධනය කළා.

2020 අප්‍රේල් 12 වනදා මගේ රාවය තීරු ලිපියෙන් මා ඒ ගැන විග්‍රහ කළා. එහිදී මා සඳහන් කළ හැටියට: “වෛරස කියන්නෙත් මානව අප මෙන්ම සොබාදහමේ තවත් කොටසක්. වසර මිලියන ගණනක් තිස්සේ ජෛව පරිනාමයෙන් බිහිව තිබෙන වයිරස උත්සාහ කරන්නේ තමන්ගේ වර්ගයා බෝ කරමින් හැකි තාක් පුළුල්ව ප්‍රචලිත වීමටයි. මානව දේහයට ඇතුළු වූ පසු වයිරස් අපේ සෛල තුළ අති විශාල වශයෙන් තමන්ගේ පිටපත් බිහි කරනවා.

“සොබාදහම සහ ජෛව පරිණාමය ක්‍රියා කරන්නේ සවිඥානිකව නොවෙයි. එසේම මානව අප ගොඩ නගා ගන්නා විවිධ චින්තනයන්ට (සහ අපේ සමහරුන් අතර තිබෙන නොයෙක් සුචරිතවාදයයන්ට) අනුකූල ලෙසින් ද නොවෙයි. මේ නිසා වත්මන් කොරෝනා වසංගතය ‘සොබාදහම කරන දඬුවමක්’ යන්න පරිසර සංරක්ෂණ ආධාන ග්‍රාහයක් හෙවත් dogma එකක්. අන්ත හරිතවාදීන්ගෙ කල්පිතයක්.”

සොබාදහමේ හමු වන බැක්ටීරියා භක්ෂක වයිරස, යම් බැක්ටීරියා ආසාදනවලට වෛද්‍ය ප්‍රතිකර්ම (Phage therapy) ලෙස යොදා ගත හැකි ද යන්න සියවසක පමණ කාලයක් තිස්සේ පර්යේෂණවලට ලක් වූ කරුණක්. මේ ගැන 1920 දශකයේ පටන් සෝවියට් දේශයේ ත් සමහර බටහිර රටවලත් අත්හදාබැලීම් සිදු කෙරුණා.

රෝග කාරක බැක්ටීරියා නැසීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ යොදා ගන්නා ප්‍රතිජීවක (antibiotics) නිසා සිරුරේ හිතකර බැක්ටීරියා ද විනාශ වනවා. එසේම ප්‍රතිජීවක බහුලව භාවිතය නිසා ඒවාට එරෙහිව ප්‍රතිරෝධයක් සහිත රෝගකාරක බැක්ටීරියා (antibiotic resistance) බිහිව තිබෙනවා.  

මේ නිසා යම් රෝගකාරක බැක්ටීරියාවක් ඉලක්කගතව විනාශ කරන, එහෙත් සෙසු බැක්ටීරියාවලට හෝ මානව සිරුරට හානි නොකරන වයිරස විශේෂ අනාගතයේ දී වෛද්‍ය ප්‍රතිකර්ම අතරට එක් වීමට ඉඩක් තිබෙනවා.

එහෙත් රෝගකාරක බැක්ටීරියා නසන්නට යොදා ගනු ලබන එවන් වයිරස, ඉනික්බිතිව අපේ සිරුර තුළ අනපේක්ෂිත ලෙසින් රෝග හෝ ආබාධ ඇති නොකරන බවට ඉතා ප්‍රවේශම් විය යුතුයි. 

වයිරසවලින් පරිසර පද්ධතියට මෙන්ම මානව සෞඛ්‍යයටද ඇතිකරන යහපත් බලපෑම් ගැන විද්‍යාත්මක දැනුම තවමත් සීමිතයි. එයට හේතුව වයිරසයකට හිතකර විය හැකිය යන්න සංකල්පීය මට්ටමින් පිළිගන්නට පවා ජෛව විද්‍යා සහ වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් මෑතක් වනතුරු සූදානම් නොවීමයි. 

විද්‍යාත්මක දැනුමේ නිම් වළලු පුළුල් වන්නේ අසම්මත සහ ජනප්‍රිය නොවන දැනුම් ගවේෂණ මාර්ගයන්හි ගමන් කිරීමෙන්. වයිරසවල ජෛව විද්‍යාත්මක සහ පාරිසරික විද්‍යාත්මක ප්‍රයෝජන ගැන ඉදිරි වසර වල සොයා ගැනීම්වලින් බොහෝ දේ පැහැදිලි වනු ඇති.

“සමස්ත ජෛවී පරිසරයම අප හිතනවාට වඩා අන්තර් සබඳතා රාශියක් තිබෙන, සියුම්ව තුලනයන් පවතින සංකීර්ණ පද්ධතියක්. ඒ පද්ධතිය තුල හැම ජීවියාට ම නිශ්චිත කාර්යයක් තිබෙනවා. විද්‍යාවෙන් අප තවමත් මේ පද්ධති තේරුම් ගනිමින් සිටිනවා. වයිරස් ගැන අප දන්නා දේට වඩා නොදන්නා දේ වැඩි බවයි පෙනෙන්නේ.  වයිරස් සියල්ල පරිසරයෙන් ඉවත් කළොත් එහි පවතින සමතුලිතතාවය කඩා බිඳ වැටෙන්නට හැකියි,” මෙක්සිකෝවේ ජාතික ස්වාධීන සරසවියේ වෛරස් පිළිබඳ පර්යේෂිකා සුසානා ලෝපේස් චැරටන් කියනවා.

නාලක ගුණවර්ධන – සිවුමංසල කොලු ගැටයා

[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!