මිනුවන්ගොඩ නයිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 07ක් වූ කුඩා දරුවා අසාමාන්‍ය බුද්ධිමට්ටමක් සහිත දරුවකු විය හැකියැයි වෛද්‍යවරුන්ගේ අදහසයි. එවැනි අසාමාන්‍ය බුද්ධියක් සහිත දරුවෝ වරින් වර විවිධ රටවල දක්නට ලැබෙති.
එම දරුවා හයි ෆන්ෂනින් ඇස්පර්ජස් High Functioning Asperger’s තත්ත්වයේ දරුවකු හෝ බුද්ධිමත් බවින් වැඩි ගිෆ්ටඩ් ඩයිල්ඩ් Gifted Child දරුවකු විය හැකියැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.
එවැනි දරුවන්ට විවිධ දේවල් කෙටි කාලයකින් ඉගෙන ගැනීමේ සුවිශේෂී දක්ෂතාවක් ඇති බවත් විද්‍යාත්මක පිළිගැනීම බව වෛද්‍යවරයා පවසයි. ඔහු මේ බව අප සමඟ කියා සිටියේ නයිවල පදිංචිව සිටින මේ දරුවා සම්බන්ධයෙන් මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් විසින් කරන ලදී වීඩියෝ වැඩසටහනක් පිළිබඳ විමසීමේ දී ය.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මෙසේ ද කීවේය.
“මේ වගේ High Functioning Asperger’s තත්ත්වයේ දරුවන් ඉතාමත් කලාතුරකින් හමුවෙනවා. ඔවුන්ට අසාමාන්‍ය මතක ශක්තියක් තියෙනවා. ඒ ළමයින්ට වැඩිහිටියන්ට මතක තබාගන්න බැරි බොහෝ දේවල් මතක තබාගත හැකියි. ඇතැම් අය ඉතාමත් වේගයෙන් මනෝමයෙන් සංකීරණ ගණිත ගැටලු විසඳනවා. සාමාන්‍ය මනුෂ්‍යයකුට මතක තබාගන්න බැරි තරම් දේවල් මතකයේ තිබෙනවා. මාසයකට පෙර දිනයක කළ කී දේ හමුවූ පුද්ගයන් ගැන ඇහුවත් ඇතැම් අයට ඒවා නිවැරදිව කියන්න පුළුවන්. කී දෙනෙක් මුණ ගැසුණා ද ? ඔවුන් ඇඳ සිටි ඇඳුම් මොනවා ද ? කතා කළේ මොනවාද පවා මතකයේ තිබෙනවා. මෙවැනි ඇතැම් දරුවන්ට භාෂාවක් අහගෙන ඉඳලා ඒ භාෂාව ඉගෙන ගන්න හැකියාව තිබෙනවා. භාෂාවේ වචන, උච්චාරණය සියල්ල ඔවුන් දන්නවා. අවුරුදු 07 ක් වයසැති මේ කුඩා දරුවා පරීක්ෂා නොකර අපිට අවසන් නිගමනයකට එන්න බැහැ.”
වෛද්‍යවරයා පවසන්නේ මෙම දරුවා ඇතැම් විට ගිෆ්ටඩ් චයිල්ඩ් ලෙස හඳුන්වන අසාමාන්‍ය බුද්ධිමට්ටමක් ඇති දරුවකු වීමට ඉඩ ඇති බවයි. ඔවුන්‌ගේ IQ මට්ටම ඉතා ඉහළ අගයක් ගන්නා බවත්, ඔවුන්ට ද ඔ්නෑම භාෂාවක් ඉතා පහසුවෙන් තනිවම ඉගෙන ගැනීමේ හැකියාවක් ඇති බවත් විශේෂඥ වෛද්‍ය රූබන් පවසයි.
“මේ ආකාර දෙකේම ළමයින්ට තමන්ගේ වයසට වඩා වැඩි අසීමිත අධික දැනුමක් ගොඩනගන්න පුළුවන්. ඒ වගේම එයාලගේ දැනුම සමග පරිකල්පන ශක්තිය දියුණු කරනවා. තමන් පොත්පත්වලින්, අන්තර්ජාලයෙන්, චිත්‍රපටිවලින් දැකපු දේවල් තමන්ට සිදුවුණු දේවල් වගේ විස්තර කරනවා. ඒක ඇතැම් අවස්ථාවල දී තමන් ගැන හාරා අවුස්සන අයට කියන්න ඔවුන් විසින්ම ගොඩනගා ගන්නා කතාන්තර”
විශේෂණ වෛද්‍ය රූබන් පවසන්නේ මෙය මානසික හෝ වෙනයම් හෝ රෝගයක් නොවන බවයි. සාමාන්‍ය දරුවන්ට වඩා වෙනස් බුද්ධි මට්ටමක් හා හැකියාවක් සහිත මෙවැනි දරුවන් තමන් වඩාත් කුඩා කාලයේ ඩයිනෝසරයන්, සතුන්, චිත්‍රපටවලට ඇළුම් කරන විට ඒවා වැඩි වැඩියෙන් පරිශීලනය කර තමන්ට ඇති අසාමාන්‍ය හැකියාවෙන් මතක තබා ගැනීම එවැනි හැකියාවක් නොමැති වැඩිහිටියන් පුදුම සහගත දෙයක් ලෙස දකින බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් කීවේය.
මෙම දරුවාගේ දර්ශන අන්තර්ජාලයේ මේ දිනවල විශාල වශයෙන් ප්‍රචාරය වෙමින් පවතී. පුනරුත්පත්තිය විශ්වාස කරන ආගමික සංස්කෘතියක් තුළ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු මේ දරුවා ඉන්දියාවේ විද්‍යාඥයකුගේ නැවත උත්පත්තියක් ලෙස විවරණය කරන ආකාරය දක්නට ලැබෙයි.
අන්තර්ජාලයේ ප්‍රචාරය වන එවැනි අදහස් අතර වැඩි දෙනකු දක්වා ඇත්තේ මේ දරුවා අභ්‍යාවකාශ අනතුරකින් මියගිය ඉන්දීය ජාතික ගගනගාමිනියක වූ කල්පනා චව්ලාගේ නැවත උත්පත්තියක් විය හැකි බවයි. මේ පිළිබඳ අප කළ සොයාබැලීමක දී අනාවරණය වූයේ කල්පනා චව්ලා ඩයිනෝසරයන් පිළිබඳ කිසිදිනක අධ්‍යයනය කර නැති බවයි. එමෙන්ම ඇය හින්දි භාෂාව කතාකිරීමේ හැකියාවක් නොමැති අයකු බව ද ඇය හර්යානි නමැති භාෂාව කතා කළ කාන්තාවක් බව ද තහවුරු විය.
ඩයිනෝසරයන් පිළිබඳ අධ්‍යයනය කළ ඉන්දීය විද්‍යාඥයන් අතරින් හින්දි භාෂාව කතාකරන කිසිවකු ගුවන් අනතුරකින් මියගොස් නැති බව ද ඉන්දියාවේ විද්‍යාඥයන් පිළිබඳ සොයා බැලීමේ දී තහවුරු විය.
ශ්‍රී ලංකාවේ නිදහස් චින්තකයකු වන ඉන්දික රත්නායක තම Facebook ගිනුමේ තබා තිබූ සටහනක මෙසේ දක්වා ඇත.
“අපිට දක්ෂ දරුවෙක් ඉපදුනහම කොහෙවත් ඉන්න මැරුණ කෙනෙකුට ක්‍රෙඩිට් එක දෙන පුන්නක්කු බිලා තණකොළ කන උන් ඉන්න රටක්”
පුනරුත්පත්තිය හා මෙම දරුවාගේ දක්ෂතාව අතර සම්බන්ධයක් තිබිය හැකිදැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පුනරුත්පත්ති හෝ පුනර්භවය සනාථ කරන එක හෝ නොකරන එක ආගමික නායකයන්ගේ වැඩක්. ඒක අපිට අදාල නැහැ. ශ්‍රී ලාංකීය ජන සමාජයේ පුනරුත්පත්තිය ගැන විශ්වාස මුල් බැසගෙන තිබෙන්නේ ආගමික ඉගැන්වීම් සමඟ මට කියන්න තිබෙන්නේ මේ දරුවන් කතා කරන්නේ තමන්ගේ අසාමාන්‍ය හැකියාව හා බුද්ධි මට්ටම නිසා ලැබී ඇති දැනුමෙන්. ඔහුට පවා යම් යම් දේවල් අමතක විය හැකියි. ඒ ගැන ඔහු විස්තර කරන්නේ මට ඉස්සර මතකයි. දැන් මතක නෑ කියලා. ඒ මේ ආකාරයේ සියලු ළමයින්ගේ සාමාන්‍ය ස්වභාවය.”
මේ අසාමාන්‍ය හැකියාවක් ඇති දරුවාගේ එම හැකියාව තවදුරටත් වර්ධනය කරගැනීමට උදව් කළ යුතුව ඇත.
හරීන්ද්‍ර ජයලාල් විසින් කරන ලද වීඩියෝව