spot_img
spot_imgspot_img

ගාල්ල වරාය හා පොලිසිය පිහිටි ඉඩම විකුණන්න රජයේ සූදානමක් ?

පුවත්

විදෙස්

ගාල්ල නගරයේ ඉතාමත් වටිනා සහ වැදගත්ම ස්ථානයක් වූ ගාල්ල පොලිසිය පිටුපස හා තැපැල් කාර්යාලය පිහිටි භූමියත් ලෝක නාවික ක්ෂේත්‍රයේ මර්මස්ථානයක් වැනි වූ ගාල්ල වරායේ කොටසකුත් බදු පදනමට මුවා වෙමින් පුද්ගලික සමාගමක් වෙත පැවරීමේ සූදානමක් අති බවට රජයට චෝදනා එල්ලවෙයි.

මේ චෝදනාව එල්ල කරනු ලබන්නේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේවගේ විසිනි.

නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංවර්ධන හා කළමනාකරණ අධ්‍යක්ෂ ඩී.ෆ්‍රැන්සිස් විසින් 2020 ඔක්තෝබර් මස 20 වැනි දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවට යොමුකර ඇති ලිපියකින් ගාල්ල මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොලිස් බැරැක්ක පිහිටි භූමියේ සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිත බැවින් ඒ ඉඩම තක්සේරු කරන ලෙස ඉල්ලා තිබේ.

හෙක්ටයාර 1.34ක් හෙවත් අක්කර 03ක වපසරියකින් යුතු මෙම භූමියේ වෙළෙඳ ශාලාවක්, අවන්හළක් සහ කාර්යාල මෙන්ම රථ ගාලක් ඉදිකරන බවත් පොලිසිය හා තැපැල් කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන යන බවත් එම ලිපියේ සඳහන් කර ඇත. එමෙන් ම 99 වසරකට මෙම ඉඩම බදු ආයෝජකයකුට ලබාදීමට අපේක්ෂා කරන බැවින් මෙම ඉල්ලීම සළකා බලා හදිසි අවශ්‍යතාවක් ලෙස සළකමින් ඉඩමේ මූලික වටිනාකම ඉක්මණින් තක්සේරු කර දෙන ලෙසත් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධයක්ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන විසින් තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරුට 2020 සැප්තැම්බර් 04 දින යොමුකර ඇති ලිපියක සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගාලු වරායේ පිහිටි අංක S/Mis/489 දරණ හෙක්ටයාර් 2.5 (අක්කර 6 රූඩ් 0 පර්චස් 28) කින් සමන්විත ඉඩම අවුරුදු 30ක බදු කාලයකට සීමා වන පරිදි රුවල් යාත්‍රා අංගනය මෙහෙයුම් කිරීම සඳහා පෞද්ගලික අංශය වෙත ලබා දීමට යෝජනා කැඳවීම සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවා ඇති බවයි.

මෙම ලිපියට පිළිතුරු සපයන ප්‍රධාන තක්සේරුකරු 2020 ඔක්තෝබර් මස 27 වැනි දින වරාය අධිකාරියට යවන ලද ලිපියක දක්වා ඇත්තේ වරායේ උක්ත ඉඩම වාර්ෂික බදු කුලිය රුපියල් 73,700,000.00ක් ලෙස තක්සේරු කර ඇති බවයි.

ගාල්ල වරායේ රුවල් නැව් නැවැත්වීමට ඉදිකරන ලද අංගනයක පහසුකම් සංවර්ධනය කර වත්වාගෙන යාම සඳහා ආයෝජකයන්ට ඉදිරිපත් වන ලෙස දැනටමත් ටෙන්ඩර් කැඳවා තිබේ. මේ ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ අවස්ථාව 2021 ජනවාරි 16 දක්වා ඇත. වරාය සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ භූමියේ අක්කර 06ක බදු දෙන බවට ඇතැම් අය චෝදනා කළ ද ඉන් ගොඩබිමට ඇතුළත් වන්නේ අක්කර 1.5ක් වැනි ප්‍රමාණයක් බවයි. අනෙක් වපසරිය මුහුද බව ද වරාය සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම ඉඩම් විකිණීම පිළිබඳ හෙලිදරව් කරන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ පවසන්නේ පැවැති යහපාලන රජය මේ රටේ ඉතා වටිනා ඉඩම් විකුණා දමන බවට චෝදනා කරමින් බලයට පත්වූ වත්මන් රජයද මෙරට ඇති වටිනා ඉඩම් රැසක් විකුණා දැමීමට දැනටමත් සැළසුම් කර ඇති බවයි.

ඔහු පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙසේ කී‌වේය.

“ මේ රජය බලයට පත්වුණේ පසුගිය රජය විකුණපු ඒවා නතර කරනවා කියලා. ඒවා නැවත පවරගන්නාව කියලත් කිව්වා. නමුත් මේ අය බලයට ඇවිත් මාස තුනක් යනවිට කොළඹ හමුදා මූලස්ථානය පිහිටි තැන ඉතිරිවෙලා තිබූ අක්කර තුනක භූමියත් චීන සමාගමකට දුන්නා. පසුගිය රජය කළෙත් මේ දේවල්මයි. බද්දේගම පිලගොඩ වත්තේ අක්කර 760ක් විකුණා දැම්මා. ගිංතොට තුනී ලෑලි සංස්ථාව විකුණා දැම්මා. පළාත් සභාව තිබුණු හිල්ටොප් මන්දිරය විකුණා දැම්මා. අදටත් දන්නේ නැහැ ඒ ඉඩම විකුණා දැමුවේ කාටද කියලා. වලහන්දූව වත්තේ ඉඩම් විශාල ප්‍රමාණයක් විකුණා දැම්මා. 99 අවුරුදු බද්දට දෙනවා කිව්වාට අවුරුදු 99ක් ගියාට පස්සේ මේවා පවරාගන්න බැහැ. නැවත ලැබෙන්නේ නැහැ.”

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ කොළඹ මැනිං වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම්, බොරැල්ල වෙළෙඳ සංකීර්ණ භූමිය, මෙන්ම කැලෑ ඉඩම් ද විකුණා දැමීම රජයේ සැළසුම වී ඇති බවයි. යුද හමුදා මූළස්ථානය වැනි වෙහෙරක් ගිල්ල අයට අග්ලාව කජ්ජක් නොවන බව ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!