2.5 C
New York

පළාත් සභා මැතිවරණය ඉක්මන් කරන්නයැයි අගමැතිගෙන් උපදෙස්

Published:

පළාත් සභා මැතිවරණය ඉක්මණින් පැවැත්වීමට කටයුතු කරන්න යැයි ද ඒ සඳහා අවශ්‍ය නීතිමය අවශ්‍යතා සොයා බලන්න යැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට අද (11) උපදෙස් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පත්කිරීමෙන් පසු ඔවුන් අද අගමැතිවරයා හමුවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කර ඇත. නව ක්‍රමයට හෝ පැරණි ක්‍රමයට හෝ මැතිවරණය ඉක්මණින් පැවැත්වීමට අවශ්‍ය බවත් එහි දී යම් නීථිමය බාධාවක් තිබේනම් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ පනත හෝ ඉක්මණින් වෙනස්කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ගතයුතු බව ද අගමැතිවරයා පවසා තිබේ.

ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව කොමිසමේ සාමාජිකයෝ පෙන්වා දුන්හ.

මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් තමන් ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් ජී පුංචිහේවා, ඇතුළු කොමිසමේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Related articles

Recent articles

spot_img