spot_img
spot_imgspot_img

රූමස්සල කඳු මුදුනේ “පුදුම ඉස්කෝලේ” ඉගෙන ගන්න සැමට අවස්ථාව

පුවත්

විදෙස්

දකුණු පළාතේ පළමු වරට සුහුරු පන්තිකාමර ආරම්භ කළ උණවටුන බොනවිස්ටා විද්‍යාලයේ මාර්ගගත ඉගැන්වුම් සඳහා ශ්‍රී ලංකාවේ ඔ්නෑම සිසුවකුට සම්බන්ධ විය හැකි බව බොනවිස්ටා විද්‍යාලයේ විදුහල්පති කරුණාරත්න ගනේවත්ත මහතා පවසයි.

මේ වනවිට පාසලට සිසු සිසුවියන් නොපැමිණීම හේතුවෙන් විද්‍යාලයේ ඉගැන්වුම් කටයුතු කාල පරිච්ඡේද 04කට බෙදා විෂයයන් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කරන බව විදුහල්පතිවරයා පවසයි. පාසලට ළමයින් පැමිණිය ද නොපැමිණිය ද පාසල් එන ගුරුවරු පන්තිකාමරයේ ඉගැන්වීම් කරන අතර සිසු සිසුවියෝ නිවසේ සිට අධ්‍යාපනය ලබති. ඔවුන්ට වෙනදා පන්තියේ දී මෙන්ම ගුරුවරු සමඟ සාකච්ඡා කරන්නට ද අවස්ථාව උදාකර දී තිබේ.

පාසල් පැවැත්වෙන සාමාන්‍ය ආකාරයටම පන්තිවල මාර්ගගත අධ්‍යාපන කටයුතු සිදුවෙයි. විවේක කාලය පවා ලැබෙන්නේ වෙනදා වෙලාවටමය.

1814 වර්ෂයේ දී උණවටුනේ ආරම්භ වූ බොනවිස්ටා විද්‍යාලය වසර කිහිපයකට පෙර වැසී යාමේ තර්ජනයට ලක්ව තිබූ අතර එහි සිටියේ සිසුන් 28 දෙනකු පමණි. එම විද්‍යාලයේ විදුහල්පතිධූරය භාරගත් කරුණාරත්න ගනේවත්ත මහතා එවකට පැවැති රජයේ “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ විදුහල දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ආරම්භ කරන ලදී. ඒ අනුව දකුණු පළාතේ ප්‍රථම සුහුරු පන්තිකාරම ආරම්භ කරන ලද්දේ මේ විදුහලේය. අද වනවිට මෙහි සිසු සිසුවියෝ 2600ක් පමණ පිරිසක් අධ්‍යාපනය ලබති. වසා දැමීමට නියමිතව තිබූ බොනවිස්ටා විදුහල මේ වනවිට ජාතික පාසලකි.

විදුහල්පති කරුණාරත්න ගනේවත්ත මහතා මාර්ගගත ඉගැන්වුම් කටයුතු පිළිබඳ මෙසේ කීවේය.

“ අපි ස්මාර්ට් පන්තිකාමර පටන්ගන්න අවස්ථාවේ ගොඩක් විවේචන එල්ල වුණා. ඒ විතරක් නෙවෙයි මුලින් කිව්වා හයේ පන්තියේ පොඩි එවුන්ට දුරකථන දීලා ළමයි නොමග යනවා කියලා. පස්සේ උසස් පෙළ ළමයි නරක දේවල්වලට ඇබ්බැහි වෙනවා කිව්වා. නමුත් දෙමාපියන් සහ ආදි සිසුන් අපට විශාල සහයෝගයක් දුන්නා. දරුවන්ට අපි මේ නව තාක්ෂණයෙන් අධ්‍යාපනය ලබාගන්න ක්‍රමවේද ඉගැන්වුවා. අද අපි ඉතාමත් ඉදිරියෙන් ඉන්නවා. සුහුරු පන්තිකාමර ආරම්භ කළ දකුණේ පළමු පාසල විදියට මේ ළමයිනට මාර්ගගත අධ්‍යාපනය කියන එක අමාරු දෙයක් නෙවෙයි. ළමයි 100%ක්ම දැන් මේ මාර්ගගත අධ්‍යාපනය සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. දරුවන් පාසලට ආවේ නැහැ කියා ඔවුන්ට පාඩුවක් වෙන්න අපේ ගුරුමණ්ඩලය ඉඩ තියන්නේ නැහැ. දවල් කාලයේ සාමාන්‍ය කාල සටහන ක්‍රියාත්මක කරන අතර රාත්‍රී විශේෂ පාඩම් ද අපි කරනවා. ළමයි කිහිප දෙනෙකුට මාර්ගගත ඉගැන්වීම්වලට සම්බන්ධවෙන්න අපහසුතා තිබුණා. අපි ඒ ගැන‌ සොයා බලා ඊට දැනටමත් පිළියම් යොදා තිබෙනවා.”

විදුහල්පතිවරයා පවසන්නේ බොනවිස්ටා විද්‍යාලයේ මාර්ගගත ඉගැන්වුම් සඳහා වෙනත් පාසලක සිසුන්ට ද සම්බන්ධ වීමේ අවස්ථාව උදාකර දී ඇති බවයි. බොනවිස්ටා ඉගැන්වුම් පාඩම් සියල්ල Facebook හා Youtube ඔස්සේ ද ඔ්නෑම අයකුට නැරඹිය හැකි බව විදුහල්පතිවරයා කීවේය.

විදුහලේ Facebook පිටුව ඔස්සේ සම්බන්ධවන ඔ්නෑම ප්‍ර‌දේශයක සිසුන්ට අදාල පාඩම්මාලා සමඟ Zoom තාක්ෂණයෙන් එකතුවිය හැකි සබැඳිය ලබාදීමට කටයුතු කරන බව ද ගනේවත්ත මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!