spot_img
spot_imgspot_img

කොරෝනා පැණියට අනුමැතිය දුන් කතාව බොරුවක් ?

පුවත්

විදෙස්

දේශීය ඖෂධයක් යැයි පවසමින් ජනතාව අතර බෙදාහරිනු ලබන පානය ගැන වගකිව යුතු පුද්ගලයන් ඒකරාශී වී පැහැදිලි මතයක් ප්‍රකාශ කරන ලෙසත් ජනතාව අමාරුවේ නොදමන සෙත් වැඩකරන ජනබලය සංවිධානයේ කැඳවුම් කරු රවී කුමදේශ් පවසයි.

ඔහු පවසන්නේ රජයේ විවිධ පාර්ශවයන් විවිධ මත ප්‍රකාශ කිරීමෙන් අවසානයේ අමාරුවේ වැටෙන්නේ අහිසංක ජනතාව බවයි.

අප මේ පිළිබඳ කරන ලද විමසීම්වල දී පෙනී ගියේ රජයේ විවිධ පාර්ශව එකිනෙකට පරස්පර මත වරින් වර ප්‍රකාශයට පත්කරන බවයි.

දේශීය වෙදකම ප්‍රවර්ධන අමාත්‍ය සිසිර ජයකොඩි පවසන්නේ මේ පානය සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේ කොරෝනාවලට ප්‍රතිකාර විමසීමේ ජාතික කමිටුව මගින් ආහාර අතිරේකයක් ලෙස පිළිගෙන තිබෙන බවයි. එමෙන්ම දැනට සිදුකර ඇති පර්යේෂණ සමඟ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මේ ඖෂධය පිළිගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ආයුර්වේද වෙද්‍යෙ නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දවිතාරණගෙන් මේ ගැන විමසූ විට ඔහු කියා සිටියේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව සාකච්ඡා කරලා ආහාරයක් සෙ අනුමැතියක් දී ඇති බවයි.

විෂය භාර අමාත්‍යවරයා සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාත් පවසන කරුණ පිළිබඳ අප ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය චතුරංග කුමාරතුංගගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම පානය සඳහා ඖෂධයක් ලෙස හෝ ආහාර අතිරේකයක් ලෙස හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිදු කමිටුවකින් හෝ විශේෂඥයකුගෙන් හෝ අනුමැතියක් ලබා දී නොමැති බවයි. මේ පානය නිෂ්පාදනය කරන පුද්ගලයා සම්බන්ධයෙන් කරගෙන යන ප්‍රචාර සියල්ල මාධය සංදර්ශන බව ද කොමසාරිස්වරයා කීවේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ ආයුර්වේද කොමසාරිස්වරයා වන අතර නිල බලයෙන් එහි ලේකම්වරයා වන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තාක්ෂණ අංශයේ සහකාර කොමසාරිස් වෛද්‍ය එස්.පී.කුඹුරේගෙදර බැවින් අපි ඇයගෙන් ද මේ පිළිබඳ විමසූවෙමු. ඇය මෙසේ කීවාය.

“ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ කොමසාරිස් තුමාත්, මාත් ඇතුළු 21 දෙනෙක් සිටිනවා. මේ කමිටුව අවසන් වරට රැස්වුණේ පසුගිය මාසයේ විසි ගණන්වල. ඒ වනවිට මේ පානය ගැන කිසිම කෙනෙක් දැන සිටියේ නැහැ. සූත්‍ර කමිටුවෙන් මෙය අනුමත වෙන්න තියා ඒ කමිටුවටත් තවමත් ඉදිරිපත් කරලා නැහැ. නමුත් මේ ගැන සොයා බලන්න අපි තීරණය කළා. ඒ සඳහා අනු කමිටුවක් පත්කරනවා.”

ඖෂධ නිෂාපාදන නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙසේ පවසයි.

“ඖෂධයක් අනුමත කරන යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුමැතිය අරගැනීඹට කටයුතු කරනවා. ඒ සඳහා අයදුම් කරලා අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින දෙයක් බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මෙයින් කොරෝනා සුව වෙන්න දායකත්වයක් තියෙනවා ද කියා සොයා බැලිය යුතුයි. එය පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. මේ ගැන තවමත් පරීක්ෂණ කරනවා. විද්‍යාත්මක පරයේෂණ කරලා විද්වතුන්ගේ තීරණය අනුව තමයි එහි දායකත්වය මොනවගේ ද කියා කියන්න පුළුවන් වෙන්නේ. ඒ තීරණ ලැබෙන තුරු ඉවසන්න වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!