spot_img
spot_imgspot_img

සාම්පල ගන්නා ක්‍රමය පිළිකුල් යැයි කියා, පීසීආර් මඟ හරින්න ගාල්ලේ පිරිසක් උත්සාහයක

පුවත්

විදෙස්

ගාල්ල නගරයේ අද (09) පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී ඒ සඳහා ඇති උපකරණවල හිඟයක් හේතුවෙන් එක් පුද්ගලයකුගේ නාසයට හා මුඛයට එකම කූරක් ඇතුළු කරන බැවින් එය පිළිකුල් සහගත බව පවසමින් ඇතැම් පිරිස් ආපසු හැරී යන බව නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් සිය facebook ගිනුමේ අද දහවල් සටහනක් යොදා ඇත.

ඔහු පවසන්නේ අද පීසීආර් පරීක්ෂණ සඳහා හොඳ ජනතා ඉදිරිපත්වීමක් තිබුණද මෙම හේතුවෙන් ඇතැම් පිරිස් ආපසු හැරී යන තත්ත්වයක් තිබෙන බවයි.

මේ පිළිබඳ අප සෙයා බැලීමේ දී මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයකු කියා සිටියේ මින් ඉහත පීසීආර් පරීක්ෂණ සිදුකරන අවස්ථාවල දී කෙනෙකුගේ නාසයෙන් හා මුඛයෙන් සාම්පල දෙකක් ගැනීමට උපකරණ දෙකක් යොදා ගත් බවයි. නමුත් අද (09) ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය සිංගාරච්චි උපදෙස් ලබාදුන්නේ මේ සඳහා එක උපකරණයක් පමණක් භාවිතා කරන ලෙස බැවින් එසේ කිරීමට සිදුවූ බවයි.

පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගන්නේ මිනිස් මුඛයට නාස් මාර්ගය විවෘතවන ස්ථානයෙනි. එය සාමාන්‍යයෙන් මුඛය විවෘත කළ විට හෝ නාසයේ සිදුරුවලින් හෝ දැකිය නොහැකිය. එබැවින් මෙලෙස ජෛව සාම්පල ලබාගැනීම සඳහා කූරක් වැනි උපකරණයක් භාවිතා කරයි.

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක පීසීආර් පරීක්ෂණාගාරයක් පවා සැළසුම් කර ජාත්‍යන්තර වශයෙන් පීසීආර් පරීක්ෂෂණ ලක්ෂ ගණනක් සිදුකිරීමේ අත්දැකීම් ඇති රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි අප සමඟ මෙසේ කීවේය.

“පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගන්නා ස්ථානය අපට නොපෙනෙන නිසා අපි වඩාත් සාර්ථක ජෛව සාම්පලයක් ලබාගැනීම සඳහා තමයි නාසයෙන් හා මුඛයෙන් දෙකෙන් ම සාම්පල කූරක් ඇතුළු කරලා එම සාම්ල ලබාගන්නේ ඇමෙරිකාවේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත්තේ නාසයෙන් පමණයි. මුඛයෙන් ගත්තේ නැහැ. එය පළපුරුද්ද හා හැකියාව මත රඳා පවතිනවා. අපේ රටේ වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගැනීම සඳහා මේ විදියට මුඛයෙන් හා නාසයෙන් දෙකෙන්ම සාම්පල ලබා ගන්නවා. සාමාන්‍ය ජනතාවව කූරක් හැටියට හඳුන්වන එම උපකරණ නාසයෙන් ඇතුළු කළත් මුඛයෙන් ඇතුළුු කළත් ස්පර්ශ කරන්නේ එකම ස්ථානයක් ඒ නිසා එය පිළිකුල් කරන්න අවශ්‍ය කාරණයක් නොවෙයි. ඒ වගේම එක පුද්ගයකුගෙන් සාම්පල ගැනීමට එක උපකරණයක් භාවිතා කරනවා කියන්නේ වැරදි දෙයක් නෙවෙයි. දෙපැත්තෙන්ම සාම්පල ගැනීමට එක උපකරණයක් භාවිතා කළා කියලා පීසීආර් නෙගටිව් වීමේ හැකියාවක් තියෙනවා කියා කියනවානම් ඒ මතයත් වැරදියි.”

සෞඛ්‍ය අංශ පවසන්නේ ඇතැම් ජන කොටස් කුමන හෝ හේතුවක් සොයාගෙන පීසීආර් මඟ හැරීමට උත්සාහ ගන්නා බැවින් ඔවුන් මේ සාම්පල ගැනීමේ වරදක් හෝ පෙන්වමින් පීසීආර් පරීක්ෂණවලට මුහුණ දීමෙන් වැළකී සිටීමට කටයුතු කරන බවයි. ඒ නිසා වැරදි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ද පීසීආර් මඟ නොහරින ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!