ගාල්ල කරාපිටියේ පිහිටා ඇති රුහුණ විශ්වවිද්‍යායීය වෛද්‍ය පීඨයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද (09) දිනයේ දී ද ආසාදිත ශිෂ්‍යාවක් වාර්තාවීම හේතුවෙනි.
කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨ සිසුන් පවසන්නේ කොරෝනා දෙවැනි රැල්ල ආරම්භවීමත් සමඟ සියලු විශ්වවිද්‍යාල වසා දමා තිබිය දී රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ වසර කිහිපයක සිසු සිසුවියන්ගේ පීඨයට ගෙන්වාගනිමින් සායනික කටයුතු සඳහා යෙදවීමෙන් සිසුන් පමණක් නොව ප්‍රදේශවාසීන් පවා අවදානම් තත්ත්වයකට පත්කිරීම විහ්වවිද්යාල පාලන අධිකාරිය කටයුතු කළ බවයි.
වෛද්‍ය පීඨයේ වසර කිහිපයක සිසු සිසුවියන් දිගින් දිගටම සායනික කටයුතු සඳහා යොදවා ඇති අතර ඉන් වෛද්‍ය පීඨය ඇතුළත නේවාසිකාගාරවල සිටින්නේ 60% ක පමණ පිරිසකි. අනෙක් 40% ප්‍රමාණය තම නිවෙස්වල සිට හෝ කරාපිටිය වෛද්‍ය පීඨය හා රෝහල අවට පුද්ගලික නේවාසිකාගාරවල සිට දෛනිකව සායනිකව සායනික කටයුතු සඳහා සහභාගී වෙති.
වෛද්‍ය සිසුන් පෙන්වාදෙන්නේ මෙලෙස නිවෙස්වල සිට පැමිණෙන වෛද්‍ය සිසුන් ද නේවාසිකාගාරවල සිටින වෛද්‍ය සිසුන් ද වෛද්‍ය පීඨයේ දී මෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනික කටයුතුවල දී ද එකිනෙකා මුණ ගැසෙන බවයි. එසේ වවු ද ඊයේ (08) දක්වාම වෛද්‍ය පීඨයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත සිසුවියන් 04 දෙනා හා සිසුන් 03 දෙනාම නේවාසිකාගාරවල සිටි අය අතරින් වාර්තා වී තිබිණි.
විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස සළකමින් පීසීආර් පරීක්ෂණ සඳහා මෙතෙක් යොමුකර ඇත්තේ අභ්‍යන්තර නේවාසිකාගාරවල සිටින සිසුන් පමණක් බවත් ඔවුන් හා ආශ්‍රිතවන නිවෙස්වල සිට හා පුද්ගලික නේවාසිකාගාරවල නැවතී වෛද්‍යපීඨයට පැමිණෙන සිසුන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් සිසුහු චෝදනා කරති.
මේ හේතුවෙන් වෛද්‍ය පීඨයේ සිසුන් 40% පමණ ප්‍රමාණයක් රෝහලට යමින් එමින්, සායනික කටයුතු වල දී අභ්‍යන්තර නේවාසිකාගාරවල සිටින සිසු සිසුවියන් හා ආශ්රිත වෙමින් පොදු සමාජය තුළ සැරිසරමින් සිටින බව ද වෛද්‍ය සිසුහු පෙන්වාදෙති. ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් කරාපිටිය හා ඒ අවට ප්‍රදේශය දැඩි අවදානමකට මුහුණ දෙන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන පවසන්නේ කොරෝනා ආසාදිත සිසුන් වාර්තාවීමට හේතුවක් වී ඇත්තේ කොරෝනා රෝගය වළක්වාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති උපදෙස් ඇතැම් සිසුන් විසින් පිළිනොපැදීම බවයි. ඒ සම්බන්ධයෙන් සියලුම සිසුන්ට හා කාර්ය මණ්ඩලයට දැඩි අවධානයක් යොමුකරන ලෙස දන්වා ඇති බව ද වෛද්‍ය පීඨයේ දී හා කරාපිටිය ශික්ෂණ රෝහලේදීත් ඒ අවට ගමන් කරන අවස්ථාවලදීත් සෑම අවස්ථාවක දී ම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ද මහාචාර්ය වරයා සිසුන්ට හා කාර්ය මණ්ඩලයට ලිඛීදැනුම් දී ඇත. එමෙන්ම ඔහු සඳහන් කරන්නේ කොරෝනා වසංගතය වෛද්‍ය පීඨය තුළ හා සිසුන් අතර පැතිරීම වළක්වා ගැනීම සිසුන්ගේ වගකීමක් බවයි. එය සමාජ වගකීමක් ලෙස සළකන්න යැයි ද කුලපතිවරයා සිසුන්ට හා කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබේ.
මේ අතර කොරෝනා වසංගතය වෛද්‍ය පීඨයේ පැතිරීම පාලනය කිරීම සඳහා එහි පාලන අධීකාරිය සුදුසු හා ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් තමන් දැඩි අවධානමකට මුහුණ දී ඇතැයි පවසමින් වෛද්‍ය පීඨයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඊයේ (08) දිනක සංකේත වැඩ වර්ජනයක ද නිරතවූහ. ඔවුන් පවසන්නේ මේ සම්බන්ධයෙන් පාලන අධිකාරිය තවදුරටත් සුදුසු ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඔවුන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ද පවසයි.
රජය සියලු විශ්විවිද්‍යාල වසා දමා තිබිය දී කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් ගෙන්වා තිබීම පිළිබඳ අප කළ විමසීමකට පීළිතුරු දුන් නිලධාරියකු කියා සිටියේ වසර කිහිපයක සිසුන්ගේ අධ්‍යයන කටයුතු අවසන් ව නොමැති බැවින් එවැනි ක්‍රියමාර්ගයක් ගෙන ඇති බවයි. විභාග කඩිනමින් පැවැත්වීම අවශ්‍ය බැවින් වෛද්‍ය පීඨය වසා නොදැමූ බව ඔහු කීවේය. එසේ වුව ද සිසුන් පවසන්නේ කොළඹ, පේරාදෙණිය වැනි වෛද්‍ය පීඨ වසා දමා තිබිය දී කරාපිටිය වෛද්‍ය පීඨය විවෘතව තබාගෙන විභාග වෙනම පැවැත්විය නොහැකි බවයි. සෑම වෛද්‍ය පීඨයකම විභාග එකම අවස්ථාවක දී පැවැත්වෙන බැවින් වෛද්‍ය පීඨය විවෘතව තැබීමෙන් සිදුවන්නේ සිසුන් හා අවට පදිංචිකරුවන් පවා කොරෝනා අවධානමට මුහුණදීම බව සිසුන්ගේ අදහස වී තිබේ.