නේපාලය සහ චීනය අතර වූ දේශසීමාවේ පිහිටා ඇති හිමාල කඳුවැටියේ පිහිටි එවරස්ට් නමින් හැඳින්වෙන් කඳු මුදුන ලෝකයේ උසම ස්ථානය ලෙස සැළකේ. මෙතෙක් එහි උස මීටර 8848 ක් ලෙස නිල වශයෙන් සැළකූ අතර චීනය හා නේපාලය එහි උස මීටර 8848.86 ලෙස නිල වශයෙන් පසුගිය දා යළි සංශෝධනය කර ඇත.
භූ විද්‍යාව අනුව එවරස්ට් කන්ද වසර මිලියන 600ක් පමණ පැරණි බව සැළකේ. ඉන්දියාවේ විසූ ප්‍රකට මිනින්දෝරුවකු වූ ශ්‍රීමත් ජෝර්ජ් එවරස්ට් සිහිවීම සඳහා මේ කඳු මුදුන එවරස්ට් ලෙස නම් කර තිබේ. නේපාල ජාතිකයන් මේ කන්ද හඳුන්වන්නේ “සාගර මාතා” යනුවෙනි. ටිබෙට් ජාතිකයෝ එවරස්ට් කන්දට “වොමලුන්ගා” යනුවෙන් භාවිතා කරයි.
ලෝක මානව ඉතිහාසයේ එවරස්ට් කන්ද මුළින්ම තරණය කළ බවට සඳහන් වන්නේ නවසීලන්ත ජාතික එඩ්මන් හිලරි සහ නේපාල ජාතික මඟ පෙන්වන්නකු වූ ටෙන්සිං ගොර් යන දෙදෙනාය.
එසේ වුව ද 1924 වර්ෂයේ දී ජෝර්ජ් මැලරි සහ ඒ.අර්වින් නමැති දෙදෙනා එවරස්ට් තරණයට ගොස් අතුරුදන් වූහ. ඔවුන් එවරස්ට් තරණය කළ බවට කිසිදු සාධකයක් ලැබී තිබුණේ ද නැත. නමුත් 1999 වර්ෂයේ දී හිමාලය කඳු වැටිය තරණය කළ පිරිසකට මේ දෙදෙනාගේ සිරුරු හමුවී තිබූ අතර නිගමනය වූයේ ඔවුන් එවරස්ට් කඳු මුදුනට ගොස් ආපසු එන ගමනේ දි අනතුරට ලක්ව මියයන්නට ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් ආපසු පැමිණීමට අපොහොසත් වූ බැවින් ප්‍රථම වරට එවරස්ට් තරණය කිරීමේ ගෞරවය ඔවුන්ට හිමිවූයේ නැත.
ආසියානු මහද්වීපයේ පිහිටා ඇති හිමාල කඳුවැටිය නිර්මාණය වීම පිළිබඳ භූ විද්‍යාඥයන්ට ඇත්තේ අපූරු මතයකි.
පෘථිවි ගෝලය තනි ගෝලයක් ලෙස පෙනුනද සැබැවින්ම එය නිර්මාණය වී ඇත්තේ සුවිශාල භූමි කැබලි 12 කිනි. මේවා භූ තැටි ලෙස හඳුන්වයි.
පෘථිවිය නිශ්චලව තිබේ යැයි අප සිතුව ද එහි භූ තැටි ඒ මේ අත පාවෙන අතර වරින් වර භූ තැටි මායිම් අතර අඩු වැඩි වශයෙන් භූමි කම්පා හටගන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. පෘථිවිය අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වය හේතුවෙන් දියරමය තත්ත්වයේ පවතින පාෂාණ මත මේ භූ තැටි පාවෙමින් පවතී, භූ විද්‍යාඥයන් පවසන්නේ පොළොව අභ්‍යන්තරයේ ඇති දැඩි විකිරණශීලී මූලද්‍රව්‍ය හේතුවෙන් උත්පාදන වන විශාල ශක්තියෙන් හටගන්නා අභ්‍යන්තර සංවහන ධාර මේ තැටි ඒ මේ අතර චලනය කිරීමට හේතුවක් වන බවයි.
මේ භූ තැටි වලින් ගොඩබිම නිර්මාණය වී ඇති තැටි මහද්වීපික තැටි ලෙසත් සාගර නිර්මාණය වන තැටි සාගර තැටි ලෙසත් හඳුන්වයි. සාගරික තැටි අතර ඇතැම් ස්ථානවල දී පොළොව අභ්‍යන්තරයේ සිට පිටතට ගලන ලෝදිය ඝන වී දෙපසින් ඇති සාගර තැටිවලට නව කෙටස් එක්කරයි. එවැනි ස්ථාන මධ්‍ය සාගරික වැටි නමින් හඳුන්වයි. මෙවැනි සාගරික තැටි වර්ධනය වීමෙන් එම වැටි දෙපසට තල්ලුවී යයි. එවිට සාගරික තැටියේ එක් මායිමක් මහද්වීපික තැටියක් හා එකිනෙක ගැටේ.
මෙහි ප්‍රතිඵලය වන්නේ සාගරික තැටියේ දාරය පොළොව අභ්‍යන්තරයට කිඳා බැස මරියානා ආගාධය, ජපන් ආගාධය වැනි ගැඹුරු ස්ථාන නිර්මාණය වීමයි. මහද්වීපික තැටියක් හා සාගර තැටියක් එකිනෙක ගැටී සාගරයේ ආගාධ නිර්මාණය වන ආකාරයට ම මහද්වීපික තැටි එකිනෙක ගැටුණු විට ඒවායේ දාර ඉහළට එසවීම සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේ උස් කඳුවැටි නිර්මාණය වීමයි.
මෙවැනි කඳුවැටි දෙකකට ඉතාමත් සුදුසු උදාහරණ දක්නට ලැබේ. ඉන් පළමුවැන්න එවරස්ට් කන්ද ඇතුළු හිමාල කඳු වැටියයි. අනෙක අප්‍රිකාවේ ඇට්ලස් කඳුවැටියයි.
මේ සම්බන්ධ අතීතය දිවයන්නේ වසර කෝටි ගණනක් ඈතටය. භූ විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ අතීතයේ මේ පෘථිවියේ සියලුම ගොඩබිම් එකට යාවී තිබූ බවියි. එය හඳුන්වන්නේ ගොන්ඩ්වානා මහද්වීපය යනුවෙනි. ඒ කාලය ප්‍රාග් ගොන්ඩ්වානා යුගය ලෙස ද පිළිගැනේ. එකළ ඉන්දීයාව හා ශ්‍රී ලංකාව වත්මන් දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ තිබූ බව පිළිගැනීමයි.
භූ තැටි පාවීම හෙවත් තැටි ප්ලවනය වීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලක් ලෙස වසර ලක්ෂ ගණනක ඇවෑමෙන් ශ්‍රී ලංකාව සමඟ ඉන්දියානු උප මහද්වීපය උතුරට තල්ලු වී ගියේය. ඒ අසාන්නයේ තිබූ මැඩගස්කර දූපත වැනි ප්‍රදේශ වඩාත් බටහිරට තල්ලු වී ගොස් ඇත. උතුරට ඉන්දියානු උප මහද්වීපය තල්ලු වූයේ ඉන්දියානු භූ තැටිය ආසියානු භූ තැටිය හා නිරන්තරව ඝට්ඨනය වෙමිනි. ප්‍රතිඵලය වූයේ ඉන්දියානු උප මහද්වීපය සහිත දකණු ඉන්දියානු භූ තැටිය ආසියානු භූ තැටිය හා ගැටෙන භූ තැටි මායිම වඩාත් ඉහළට එසවෙමින් එවරස්ට් කන්ද ඇතුළු හිමාල කඳු පන්තිය නිර්මාණය වීමයි.
මේ සඳහා අපූරු සාධක හිමාල කඳුවැටියෙන් තවමත් හමුවන බව භූ විද්‍යාඥයෝ කියති. එහි පාෂාණ පරීක්ෂාකළ විට වසර කෝටි ගණනකට එහා අතීතයේ තිබූ පැරණි සාගරවල හුණුගල් අවශේෂ තවමත් හිමාල කඳු මුදුනෙන් හමුවෙයි. ඉන් පැහැදිලි වන්නේ අතීතයේ නොගැඹුරු මුහුදක් අද එවරස්ට් කඳු මුදුන දක්වාම එසවී ඇති බවයි.
මේ භූ තැටි මායිම තවමත් එකිනෙකට තෙරපෙමින් තිබෙන බව භූ විද්‍යාඥයන් පර්යේෂණ මගින් සනාථ කර තිබේ. වරින් වර නේපාලය, චීනය, ඉන්දියාව වැනි ප්‍රදේශ ඇතුළු හිමාලය ආශ්‍රිතව භූමි කම්පා සිදුවන්නේ මේ භූ තැටි දෙක එකිනෙක ගැටීමේ ප්‍රතිඵලක් වශයෙනි. භූ විද්‍යාඥයන් පවසන්නේ එවරස්ට් කඳු මුදුන සහිත හිමාල කඳුවැටිය සෑම වසරකම අවම වශයෙන් මිලි මීටර 05 කින් උස යන බවයි.
ඒ අවමයයි. වරින් වර එවරස්ට් කන්දේ උස මැන බලන විට එය උසින් වැඩිවී තිබීමත් රටවල් අතර එකඟතාවකින් මේ උස වැඩිවීම පිළිගැනීමත් මේ අනුව අරුමයක් නොවේ.








