spot_img
spot_imgspot_img

මේසන් බාස්ගේ පැණිය ගන්න ගිය පිරිසෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්

පුවත්

විදෙස්

තමන්ට සිහිනයෙන් කියූවා යැයි කියමින් කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව කොරෝනා රෝගීන් සඳහා පෙදරේරුවකු විසින් බෙදා හරිමින් තිබෙන පැණියක් හේතුවෙන් කොරෝනා ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි වෛද්‍යවරු චෝදනා කරති.

පසුගිය දා තමන් දේශීය වෛද්‍යවරයකු යැයි කියාගත් පුද්ගලකු කොරෝනා සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගෙන ඇතැයි කියමින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය භාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන එය විවිධ අංශයන්ට හඳුන්වාදීමට කටයුතු කර තිබිණි. ඔවුන් ප්‍රකාශ කළේ මේ දේශීය වෛද්‍යවරයා විසින් කොරෝනා ආසාදිතයන්ට ඖෂධය ලබා දී ඔවුන්ට සාර්ථක ප්‍රතිඵල අත් වූ බවයි. එසේ වුව ද මේ දේශීය වෛද්‍යවරයකු යැයි කියාගන්නා පුද්ගලයා පෙදරෙරුවකු බවත් කිසිදු වෙදකමක නිරතව නොමැති බවත් ප්‍රචාරය වීමත් සමඟ ඔහු විසින් කියා සිටියේ තමන්ට ඖෂධය හීනෙන් කියූ බවයි. මේ හීනෙන් කියූ බව කියන පැණිය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි විසින් ද පානය කර ඒ සඳහා ද ඇතැම් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබිණි.

තමන් දේශීය වෛද්‍යවරයකු බවත් පැරණි වට්ටෝරුවක් අනුව ඖෂධය නිෂ්පාදනය කළ බවත් මුලින් කියා පසුව තමන් පෙදරේරුවකු බව පිළිගෙන බෙහෙත ලැබුණේ සිහිනයකින් බවත් පිළිගත් මෙම පුද්ගලයා අද (08) වැනිදා පුද්ගලයන් 5000කට ඔහු විසින් ඖෂධයක් ලෙස හඳුන්වන යම් ද්‍රාවණයක් (පැණියක්) නොමිළයේ දෙන බවට ප්‍රචාරය කර තිබීම හේතුවෙන් ඔහු‌ගේ නිවස වටා දහස් ගණන් පිරිස් රැස්ව සිටින බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

මේ ස්ථානයේ සිටින අය අතර කොරෝනා ආසාදිතයන් සමඟ සෘජුව සම්බන්ධ වූ නිරෝධායනයට යොමුකර සිටි පුද්ගලයන් රැසක් සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස පැමිණ ඇති දහස් ගණනක් ජනතාව විසින් කොරෝනා වයිරසය යළි සමාජය වෙත රැගෙන යාමේ අවදානමක් තිබෙන බවත් ඔවුන් සෞඛ්‍ය නීති අමු අමුවේ ම උල්ලංඝනය කරන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වවිට පොලිසිය යෙදවීමට ද සිදුව ඇත.

දැනට රටවල් කිහිපයක පරීක්ෂණාගාර තත්ත්වයේ පවතින එන්නත් කිහිපයක් ඒ ඒ රවල්ව තම ජනතාවට ලබාදීම සඳහා තීරණය කර ඇතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කිසිදු එන්නතකට මෙතෙක් අනුමැති දී නොමැති බවයි.

ඊයේ (07) රාත්‍රී 12.00 වනවිට මෙරට රජයේ නිල සංඛ්‍යාලේඛන අනුව කොරෝනා ආසාදිතයන් 28,580ක් වාර්තා වී තිබිණි. කිසිදු එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් නොමැතිව සිය සිරුරේම හටගන්නා ප්‍රතිශක්තියෙන් ඉන් 20,804ක් සුවය ලබා නිවෙස්වලට ගොස් තිබිණි. කිසිදු ප්‍රතිකාරයක් ශ්‍රී ලංකාවේ දී මියගිය සංඛ්‍යාව 142ක් පමණි. 28,580ක් රෝගීන් වාර්තා වී තිබිය දී මියගිය සංඛ්‍යාව 142ක් තරම් ඉතා අඩු අගයක පවතින රෝගයක් සුව කිරීමට පැණියක් නොව ඇල්වතුර පානය කිරීමට දී මගේ බෙහෙත සාර්ථක වූවා යැයි කීමට වුව  ඔ්නෑම කට්ටඩියෙකුට, මානසික ලෙඩෙකුට හැකියාව ඇති බව වෛද්‍යවරු කියති.

පැණියක් පොවා කොරෝනා සුව කරන බව පවසන මේ පෙදරේරුවා කිසිදු රෝගියකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවම වශයෙන් රසායානාගරයකට හෝ ඇතුළු වී තිබේ ද යන්න ප්‍රශ්නයක් යැයි විද්වත්හු කියති.

මේ ස්ථානය කොරෝනා පතුරුවන කේන්‍රද්‍රස්ථානයක් වීම වැළැක්විය නොහැකි බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ චෝදනාවයි.

කොරෝනා වසංගතයත් සමග සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නීතිගත කළ රටක ඒවා ක්‍රියාත්මක කරන්නට කෙනෙක් නැත.

(ඡායාරූප – ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙනි)

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!