බෙංගාල බොක්ක යන වචනය අපිට හැමදාමත් අසන්නට ලැබෙන වදනකි. ඒ කාලගුණ වාර්තාව ගැන සඳහන් වන අවස්ථාවේ දී ය. බෙංගාල බොක්ක ගැන සඳහන් නොකර ඒ පිළිබඳ සැළකිලිමත් නොවී ශ්‍රී ලංකාවේ කාලගුණ වාර්තාව සැකසීමට ලෝකයේ කිසිදු කාලගුණ විද්‍යාඥයකුට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.
පසුගිය සතිය ආරම්භයත් සමඟ බෙංගාල බොක්කේ අව පීඩන තත්ත්වය ගැන නිරන්තර අවධානයෙන් සිටින්නට අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අපාදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇතුළු රජයට සිදුවූයේ එම අවපීඩනය සුළි කුණාටුවක් බවට පත්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරන බවට අනාවැකි පළවීමත් සමගිනි.
ඉන්දියන් සාගරයේ ඉන්දියානු උප මහද්වීපයට පහළින් කුඩා දූපත් රාජ්‍යයක් ලෙස පිහිටි අපේ රටේ ඊසාන දිගින් බෙංගාල බොක්කත් වයඹින් අරාබි මුහුදත් පිහිටා තිබේ. සමස්ථ ඉන්දියන් සාගරයම ගත්තද ඉන් සිදුවන මුළු බලපෑමටම වඩා ඉන්දියන් සාගරයේ එක් කොටසක් වූ බෙංගාල බොක්කෙන් අප රටට සිදුවන බලපෑම අතිශය විශාලය. මහා නියඟයක් ගැන අනාවැකි පළකර තිබිය දී හිටි හැටියේ සියලු ඇළදොළ ගංඟා හා ජලාශ පිරී ඉතිරී යන පරිදි ගම් බිම් යටකරමින් ගංවතුර ඇතිකරමින් මහ වැසි වසින්නේ ද මේ බෙංගාල බොක්කේ ආශ්චර්යයෙනි. තවත් විටෙක මහ වැසි වසිමිනි තිබියදී අනපේක්ෂිත ලෙස මාස ගණන් මහා නියං කාල ඇතිවන්නේ ද මේ බෙංගාල බොක්කේ බලපෑමෙනි.
ආසියානු මහද්වීපයේ දකුණු කෙළවරේ පිහිටි රටවල් සියල්ලම සැළකූ විට නැගෙනහිරින් ඉන්දියාවත්, උතුරින් මියන්මාරය, බංග්ලාදේශය වැනි රටවල් සහ බටහිරින් මැලේෂියාව දක්වාත් ඇති භූමියෙන් තුන් පැත්තකින් වට වූ දැවැන්ත භූමි භාගය බෙංගාල බොක්ක ලෙස සැළකේ. එහි එක් මායිමක ශ්‍රී ලංකාව පිහිටා තිබීම විශේෂත්වයකි. බෙංගාල බොක්ක යනු ලෝකයේ විශාලතම මුහුදු බොක්කයි. එය ශ්‍රී ලංකාව මෙන් 33 ගුණයකටත් වැඩි විශාලත්වයකින් යුක්තය. එහි විශාලත්වය වර්ග කිලෝ 2,172,000කි.
ලෝකයේ සියලුම විද්වතුන්ගේ පිළිගැනීම වන්නේ බෙංගාල බොක්කේ විශාලත්වය, එ් වටා රටවල් පිහිටි ආකාරය, සමකය ආසන්නයේ පිහිටා තිබීම, එමෙන්ම ලොව උසම කඳුවැටිය වූ හිමාල කඳුවැටිය, කාන්තාර ප්‍රදේශ පිහිටා තිබීම, බොක්කක් යන භූ විද්‍යාත්මක ලක්ෂණයනේ පසු එම මුහුදු ප්‍රදේශය දක්ෂි ධ්‍රැවය දක්වාම කිසිදු ගොඩබිමික් නොමැති ඉන්දියන් සාගරයට විවෘතවීම යන භූ විද්‍යාත්මක හා පාරිසරික සාධක හේතුවෙන් බෙංගාල බොක්ක යනු ඒ වටා පිහිටි රටවල්වලට පමණක් නොව ලෝකයේම කාලගුණ විපර්යාස සඳහා අතිවිශාල බලපෑම් කරන ස්ථානයක් බවයි.
ඉන්දියානු උප මහද්වීපය ඇතුළු සමස්ථ ආසියාව යනු ලෝකයේ විශාලතම ගොඩබිම් ප්‍රදේශයයි. ඊට පහළින් ඇති බෙංගාල බොක්ක ඇතුළු ඉන්දියන් සාගරය ද ලොව විශාතම සාගරය නොවූව ද අතිවිශාල ජලස්කන්ධයක් දරා සිටියි
කාලගුණික වෙනස්කම් ඇතිවන්නේ සූර්ය තාපය, ජලය, ගොඩබිම, වායුගෝලය යන සාධක හේතුවෙන් සුළං ඇතිවන්නේ ද පෘථිවියේ භ්‍රමණය සමඟ ගොඩබිම හා මුහුදේ සිදුවන තාපයේ වෙනස්කම් හේතුවෙනි. සූර්ය තාපය හේතුවෙන් ගොඩබිම ඉක්මණින් උණුසුම් වෙයි. සාගරය උණුසුම් වන්නේ ඊට සාපේක්ෂව අඩු වේගයකිනි. ගොඩබිම උණුසුම් වූ විට එහි ඇති වාතය වාෂ්ප වී ඊහළට ගමන් කරයි. එවිට වාතයේ ඝනත්වය හා පීඩනය අඩුවෙයි. මේ අඩුවන පීඩනය සමාන වීමටනම් ඝනත්වය වැඩි පීඩනය ස්ථානයකින් එම ස්ථානයට වාතය ගලා ආ යුතුය. එය සිදුවන්නේ සාගරයෙනි.
බෙංගාල බොක්කට ඉහළින් පිහිටි දැවැන්ත ගොඩබිමෙහි අධික උණුසුම හේතුවෙන් හටගන්නා අඩු පීඩන කලාපයට බෙංගාල බොක්කෙන් වේගයෙන් සුළං හමා යාම නිරන්තර සිදුවන්නකි. රාත්‍රියේ දී ගොඩබිම ඉක්මණින් සිසිල් වේ සාගරය සිසිල් වන්නේ සෙමිනි. එවිට සාගරයේ ඇතිවන අඩු පීඩන කලාපය පිරවීම ගොඩබිමින් සාගරය දෙසට විශාල ලෙස සුළං හමා යයි.
විශාල ගොඩබිමක් හා විශාල මුහුදු ප්‍රදේශයක් පිහිටා ඇති නිසා මේ සුළං ප්‍රවාහ දෙක එකිනෙක ගැටී සුළි සුළං ඇතිවීම සිදුවෙයි. මෙවැනි අවස්ථාවක දී විශාල වායු සුළියක් හටගනී.
කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ බෙංගාල බොක්ක සුවිශාල ගොඩබිමකින් වටවී තිබීමේ සාධනීය සාධක මෙන්ම ඉතා භයානක තත්ත්වයන් ඇතිකරණ හේතු ද පවතින බවයි. මේ ගොඩබිමේ විශාලත්වය අධික වීම නිසාම බෙංගාල බොක්ක නිරන්තර කැළඹිලි සිදුවන කුණාටු ඇතිවන ප්‍රදේශයක් බවට පත්ව තිබේ. එමෙන්ම සුළි කුණාටුවක් ගොඩබිම දෙසට ගිය විට ඉතා ඉක්මණින් එහි ප්‍රබලත්වය අඩුවීම ද සිදුවෙයි. පසුගිය බදාදා රාත්‍රී ශ්‍රී ලංකාවට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව ද ගොඩබිමට ඇතුළු වූ විට එහි ප්‍රබලත්වය ක්‍රමයෙන් වියැකී ගියේය. ඒ ගොඩබිමට ඇතුළු වූ පසු කූණාටුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ජල වාෂ්ප ඊට නොලැබෙන බැවිනි.
බෙංගාල බොක්කේ සුළි කුණාටුවලින් ඊට නිරිත දිගින් පිහිටි ශ්‍රී ලකාවට ඇත්තේ අඩු බලපෑඹකි. නමුත් බෙංගාල බොක්කේ නිතරම ඇතිවන අවපීඩන තත්ත්වයන් හේතුවෙන් ඇදී එන සුළං ප්‍රවාහයන් අප රටට නිරන්තර වැසි හා ගංවතුර ඇතිකරන්නට හේතු වෙයි.
ශ්‍රී ලංකාවට බලපා ඇති කුණාටු තත්ත්වයන් පිළිබඳ සැළකීමේ දී පසුගිය ශතවර්ෂයක පමණ කාලයේ දී මෙරටට බලපෑම් කර ඇති සුළි කුණාටු තත්ත්වයන් ඇත්තේ 08ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. බුරවියනු එවැනි 09 වැනි සුළි කුණාටුවයි.
විද්වතුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සුළි කුණාටු බලපෑම වැඩිපුරම ඇත්තේ ඔක්තෝබර් – දෙසැම්බර් අතර කාලයේ බවයි. 1884 සිට 1958 දක්වා කාලයේ දී ශ්‍රී ලංකාව සුළි කුණාටු 99ක් බලපෑම් කර ඇති බව වාර්තා වන අතර ඉන් 81ක් ම සිදුව ඇත්තේ ඔක්තෝබර් මාසයේ වීම විශේෂත්වයකි.
එහෙත් ශ්‍රී ලංකාවට බලපාන ලස සුළි කුණාටු පිළිබඳ දත්ත සටහන් ඇත්තේ 1950 සිට මේදක්වා වූ කාල පරිච්ඡේදයේ පමිණි. ඒ අනුව වාසුළි කුණාටු 04ක් හා චණ්ඩ සුළි කුණාටු 04ක් ශ්‍රී ලංකාව හරහා ගමන් කර තිබේ. මේ අතරින් එක් වාසුළි කුණාටුවක් පමණක් අරාබි මුහුදේ හටගෙන ඇති අතර අනෙක් සියල්ල බෙංගාල බොක්කෙන් ආරම්භ වී තිබේ.
මේ අතරින් වැඩිම වේගයකින් සුළං හමා යාම සිදුව ඇත්තේ 1978 නොවැම්බර් 17 සිට 24 දක්වා බලපෑම් කළ චණ්ඩ වාසුළි කුණාටුවයි. එහි සුළඟේ උපරිම වේගය පැයට කිලෝ මීටර 192කි. මඩකලපුවෙන් රටට ඇතුළු වී ඇති එම වාසුළි කුණාටුව බස්නාහිර හා නිරිත හා වයඹ යන ප්‍රදේශවලට ද බලපෑම් කළ බව වාර්තාවෙයි. අනෙක් සියළු කුණාටුවල උපරිම සුළං වේගය පැයට කිලෝ මීටර 60-120 ත් අතර වූ බව පැවසේ.
1978 සිදුවූ වාසුළි බලපෑමෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ 697ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 80ක් අම්පාර දිස්ත්‍රික්කයේ 125ක් හා වෙනත් දිස්ත්‍රික්කවලින් 73ක් ලෙස පුද්ගලයන් 975ක් මියගොස් තිබිණි.
ඉන් පසු මෙරටට වැඩිම බලපෑමක් කළ වාසුළි කුණාටුව වූයේ 2000 වර්ෂයේ දෙසැම්බර් 26 හා 27 දෙදින ශ්‍රී ලංකව හා තමිල්නාඩුව හරහා හමාගිය සුළි කුණාටුවයි. එම වාසුළිය ද බදාදා පැමිණි බුරවි මෙන් ම ත්‍රිකුණාමලයෙන් ඇතුළු වී පොළොන්නරුව, අනුරාධපුරය සහ පුත්තලම හරහා පිටව ගියේය. නමුත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක රැසකට ඉන් බලපෑම් සිදුව තිබිණි.
මිනිස් ජීවිත 08ක් අහිමි වූ අතර 55,000කට වැඩි පිරිසක් අවතැන් වූහ. ධීවර බෝට්ටු 50ක් පමණ විනා වූ අතර ජේතවනාරාම දාගැබට ද හානි සිදුවූ බව වාර්තා වී තිබිණි.
ලෝකයේ මෙවැනි වාසුළි උපතලබන කලාප හඳුනාගෙන තිබේ. එවැනි කලාප 07ක් ඇති අතර ශ්‍රී ලකාව අයත්වන්නේ උතුරු ඉන්දියානු සාගර කලාපයයි. විද්වතුන් පවසන්නේ මේ කලාපයේ අවම වශයෙන් වර්ෂයකට වාසුළි 5-6ක් පමණ හටගන්නා බවයි.
මේ වාසුළිවලට විවිධ කලාපවල විවිධ නම් ව්‍යවහාර වෙයි. අප රට පිහිටා ඇති උතුරු ඉන්දියානු සාගර කලාපයේ ඊට නිවර්තන වාසුළි යන නම භාවිතා කරන අතර එවැනිම සංසිද්ධීන් ටයිපූන්, හිකේන්, චන්ඩ නිවර්තන වාසුළි, චණ්ඩ වාසුළි කුණාටු, විලිවිලි, වුතාන්, බැගියෝස් යන නම්වලින් ද හැඳින්වේ.
කවර ආකාරයකින් ලෝකයේ සුළි කුණාටු ඇතිවුව ද ඒවා ප්‍රාදේශීය වශනේ විවිධ පොදු නාමයන්ගේන හැඳින්වුව ද ඒ ඒ සුළි කුණාටුව සඳහා වෙන වෙනම නම් තැබීමට ජාත්‍යන්තර එකඟතාවකට එළැඹෙන ලදී. ඒ අනුව 2019 ජුනි මාසයේ දී ලෝකයේ ඇතිවන සුළි කුණාටු සඳහා නම් තැබීමේ අවස්ථාවක් ශ්‍රී ලාංකික ජනතාවට ද උදාවී තිබිණි. එහි දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා ලෝක කාලගුණ විදයා සංවිධානයට ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබිණි. එහි දී ඔවුන් නිර්ණායක කිහිපයක් සළකා බලා තිබිණි.
දේශපාලන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතිකවැනි දෑ ඉලක්ක නොවන නම් වීම, ස්ත්‍රී පුරුෂ විශේෂත්වයක් නොවීම, ලොව කුමන හෝ ජන කොටසක මනෝ භාවයන්ට හානි නොවන නමක් වීම, රළු හෝ කෲර ස්වභාවයක් නොගැනීම, උච්ඡාරණයේ දී පසු වීම, ඉංග්‍රීස බසින් ලිවීමේ දී උපරිම අකුරු 08කට සීමා වීම මේ නිර්ණායක විය.
ඒ අනුව උතුරු ඉන්දියානු කලාපයේ රාජ්‍යයන් 13කින් යෝජිත නම් ලැයිස්තු ලැබී ඒවා පිළියෙල කර තිබිණි මේ නාම ලේඛනයේ නම් 64ක් ඇත. එම රටවල අනුපිලිවෙල අනුව සුළී කුණාටුවෙන් කුණාටුවට නම් ලබාදෙන බව අප සිටින කලාපයේ කලාප්‍යී කාලගුණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධිකරණය කරන ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව මෙවර ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්කේ හටගත් සුළි කුණාටුව අප රට හරහා ගමන් කළ ද ඊට ලැබුණේ මාලදිවයින විසින් ලබා දුන් නමකි.
“බුරවි” යනු මාලදිවයිනේ දිහේවි භාෂාවට අනුව කඩොලාන සඳහා භාවිත නමකි. ඉන්දු ආර්ය භාෂාවක් වන මාලදිවයින් භාෂාව දිහේවි ලෙස හඳුන්වන අතර එය සිංහල භාෂාවට බොහෝ සෙයින් සමාන වෙයි. බුරවි සුළි කුණාටුවේ බලපෑම මේ ලිපිය ඔබ කියවන මොහොත වනවිට අප රටෙන් සම්පූර්ණයෙන් ම පහව ගොස් තිබෙනු ඇත.
ඉන් පසු යළි තවත් සුළි කුණාටුවක් බෙංගාල බොක්කේ ඇතිවීම වළැක්වීමට නොහැකි කරුණකි. බුරවි සුළි කුණාටුවෙන් පසු බෙංගාල බොක්කේ හටගන්නා සුළි කුණාටුවට ලැබීමට නියමිත නම “ටවුක්ටේ”යන්නයි. එම නම යෝජනා කර ඇත්තේ මියන්මාරය විසිනි.
බුරවි අපට රටට හිතූ තරම් දැඩි බැලපෑමක් කළේ නැත. ගොඩ බිම හරහා පැයට කිලෝ මීටර 90කට ආසන්න උපරිම වේගයක් වරින් වර පෙන්වූ මේ සුළි කුණාටුව අරාබි මුහුද දෙසට ගමන් කළේය. නමුත් සුළි කුණාටුවක් යනු මීට වඩා විශාල හානියක් කරන සුළං ප්‍රවාහයකි. ඇතැම් අවස්ථාවල දී හටගන්නා සුළි කුණාටුවක සුළං වේගය පැයට කිලෝ මීටර 300ද ඉක්මවන අවස්ථා වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාව බෙංගාල බොක්කේ පහළම කෙළවරේ පිහිටා ඇති බැවින් එහි බලපෑම අවමය. නමුත් බෙංගාල බොක්ක අප දේශයේ කාලගුණය තීරණය කරන ප්‍රධානතම සාධකය වන බැවින් අප ඒ ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුය. ඉදිරියේ දී ඇතිවන ටවුක්ටේ සුළි කුණාටුව අපට කෙසේ බලපාන්නේ ද යන්න අපි විමසිල්ලෙන් බලා සිටිමු.
බෙංගාල බොක්ක නොවන්නට අපේ රටේ කාලගුණය පමණක් නොව දේශගුණය ද මීට වඩා බොහෝ සෙයින් වෙනස් මුහුණුවරක් ගනු ඇත.
(සජීව විජේවීර)