spot_img
spot_imgspot_img

මකුළුවෙකුට සිය බිරිඳගේ නම තැබූ ශ්‍රී ලාංකීය මහාචාර්යවරයාගේ මකුළු පර්යේෂණ

පුවත්

විදෙස්

මහ වනයට වැදෙන ඔහු තුරු පතර අතර නේක විද රටාවන් අනුව වියා ඇති මකුළු දැල් මනාව නිරීක්ෂණය කරයි. විටෙක මේ දැලේ නිර්මාණ කරුවාගැන ද විමසිල්මත් වේ. ඔහු කිසිම අවස්ථාවක දී තමන්ට හමුවන මකුණු දැලක් කඩා ඉවත් කරන්නේ නැත. තවත් විටෙක ගස් පොතු අතර ද ඔහු සොයන්නේ මකුළුවන් ය.

ඔහු ජාතික මූලික අධ්‍යයනය ආයතනයේ (NIFS) පරිනාමය, පරිසර විද්‍යාව හා පරපිසර ජීවවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස සේවය කරන මහාචාර්ය සුරේෂ් පී. බෙන්ජමින් මහතාය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ රටවල් ගණනාවක සංචාරය කරමින් ඒවායේ වනාන්තරවල පමණක් නොව මිනිසා විසින් ජනාවාස බවට පත්කර ගත් ස්ථානයන් හි පවා සිටින මකුළු විශේෂ ගැන දීර්ඝකාලයක සිට අධ්‍යයනය කරන අපූරු පර්යේෂකයෙකි.

මහාචාර්ය බෙන්ජමින් පසුගිය දා ලොව මෙතෙක් සොයාගෙන නොතිබූ නව මකුළු විශේෂ 104 ක් පර්යේෂණ පත්‍රිකා මගින් ලෝකයට හඳුන්වාදුන්නේය. ඉන් මකුළු විශේෂ 82ක් ම ඔහු ලෝකයට හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. අනෙක් නව මකුළු විශේෂ 22 ඉන්දුනීසියාවෙන් 07ක්, බ්‍රසීලයෙන් 04ක්, , ඉන්දියාවෙන් 04ක්, මැලේසියාවෙන් 03ක්, ටැන්සානියාවෙන් 02ක්, ඩොමිනිකන් රාජ්‍යයෙන් 01ක් හා මැඩගස්කරයෙන් 01ක් වශයෙන් හදුන්වා දී තිබේ.

මහාචාර්ය බෙන්ජමින් කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු ඔස්ට්‍රියාවේ ඉන්ස්බෲක් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධියත්, ස්විට්සර්ලන්තයේ බාසල් විශ්විවවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබාගත්තේය.

ආචාර්ය උපාධිය සඳහ ඔහු කළේ මකුළුවන්ගේ දැල් රටා අධ්‍යයනය කිරීමයි. මකුළු විශේෂ අයත්වන ඝන රැසක් නියෝජනය කරන family හෙවත් පවුලට අයත් මකුළුවන් එකම රටාවකට දැල් වියන බව මහාචාර්ය බෙන්ජමින් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ දැල් රටාවන් හි විචිත්‍රත්වය පුදුම සහගත බව කියමිනි.

ආචාර්ය උපාධියෙන් පසුව ඇමෙරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ මේ වනවිට හෙතෙම ජාතික මූලික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.

“මා මුලින්ම සොයාගත් මකුළු විශේෂය මට හමුවුණේ දෙහිවල අත්තිඩිය ප්‍රදේශයෙන්. ඒ 2000 වර්ෂයේ දී. මම ලෝකයේ රටවල් ගණනාවක සංචාරය කළා. විදේශ රවටල අධ්‍යාපනය ලැබුවා. මා එ් ලබාගත් දැනුම හා අත්දැකීම් යොදාගෙන ශ්‍රී ලංකාවේ ජෛව සම්පත පිළිබඳ ලෝකයට වැදගත් අනාවරණයන් කිරීමට ලැබීම මම භාග්‍යයක් ලෙස සළකනවා. ශ්‍රී ලංකාවේ සත්තු අධ්‍යයනය කරන්න තිබුණු ආශාව නිසා නැවත ශ්‍රී ලංකාවට ඇවිත් මම පර්යේෂණ කටයතු කරගෙන යනවා. ශ්‍රී ලංකාවේ තවත් නව මකුළු විශේෂ 50ක් පමණ මේ දිනවල අධ්‍යයනය කරමින් සිටිනවා. එ් පිළිබඳ තොරතුරු ඉක්මණින් ප්‍රකාශයට පත්කරනවා.”

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ මකුළු විශේෂ දැනට 596ක් හඳුනාගෙන ඇති බවයි. ඉන් 90%ක් ම ශ්‍රී ලංකාවට ආවේණික බව ද මහාචාර්ය වරයා පවසයි. ඔහුගේ අදහස වන්නේ ශ්‍රී ලංකාවේ මකුළු විශේෂ 2000ක පමණ ප්‍රමාණයක් සිටිනු ඇති බවයි.

නිවාසවල දක්නට ලැබෙන මකුළුවන් ආවේණික විශේෂ නොවන බවත් ලෝකයේ සෑම රටකම පාහේ දැකිය හැකි විශේෂ බවත් ඔහු පවසයි. මේ මකුළුවන් මිනිසා විසින් ජනාවාස බිහිකිරීම ඇරඹූ මුල් කාලයේ සිටම තම බඩු පොදි සමග විවිධ රටවලට පවා ගෙන ගිය විශේෂ බව පෙන්වාදෙන මහාචාර්ය වරයා පවසන්නේ නිවාස ආශ්‍රිතව දැකිය හැකි මකුළු විශේෂ සංඛයාව 20ක් පමණ වන බවයි. කෙසේ වෙතත් වනාන්තරවල සිටින මකුළුවන් ඇතැම් විට වනාන්තර ආශ්‍රිත නිවාස වලින් වාර්තාවන අවස්ථා තිබෙන බව ද ඔහු කීවේය.

මකුළු විශේෂ පිළිබඳ ශ්‍රී ලංකා සමාජයේ දුර්මත ද තිබේ. මේ අතරින් ප්‍රධාන වන්නේ ශ්‍රී ලංකාවේ සිටින දිවි මකුළුවන් මාරාන්තික විෂ සහිත බවට ඇති මතයයි.

“මකුළුවන් සියලුම දෙනා සතුව විෂ තිබෙනවා. ඔවුන් කෘමි සතුන් ආහාරයට ගන්නවා. කෘමියෙක් අඩපණ කර ආහාරයට ගැනීම සඳහා ඉදිරිපස ගාත්‍රාවල ඔවුන් සතුව විෂ තිබෙනවා. මේ විෂ විශාල සතකුගේ සිරුරකට ඇතුළු කරන්න මකුළුවන් කිසිවෙකුට හැකියාවක් නැහැ. ඒ නිසා මකුළුවන්ට විෂ තිබුණත් එය මිනිසුන්ට මාරාන්තික වන්නේ නැහැ. ඒ වගේම මකුළුවා විශාල සතුන් මඟහරිනවා. අපි මකුළු දැලක් අසළට ගිය විට ඔවුන් නූලක් ආදාරයෙන් බිමට බසිනවා. නැතිනම් ආරක්ෂිත තැනක සැඟවෙනවා. දිවි මකුළුවන්ගේ කුලකට අත දැම්මත් ඔවුන් කරන්නේ අපිව මඟහැර යාම. ඇතැම් අවස්ථාවල දී ගුලේ අනික් පැත්තෙන් පිටවී පලායන අවස්ථා පවා තිබෙනවා.” යැයි හෙතෙම පවසයි.

“මේක ඉතාමත් පුළුල් ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකවේ වනජීවීන් සහ ශාක ගැන අධ්‍යනය කරන අය අතරින් කුරුල්ලන්, ගෙම්බන් හා මැඩියන්, මාළු, උරගයන් වැනි සතුන් ගැන අධ්‍යයන කටයුතු විශාල වශයෙන් සිදුකළත් මකුළුවන් ගැන පර්යේෂණ සිදුකරන පිරිස ඉතාමත් අඩුයි. මගේ පර්යේෂණ කණ්ඩායමේ පර්යේෂකයන් 07 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව විනෝදයට අප සමග එක්වී වැඩ කරන පිරිසක් ඉන්නවා. මකුළුවන් විශේෂ සංඛ්‍යාව වැඩි නිසා අලුත් විශේෂයක් අධ්‍යයනය කිරීඹ පහසු කාර්යයක් නෙවෙයි. අනෙක් මකුළු විශේෂ සමඟ සන්සන්දනය කරමින් පර්යේෂණය කිරීම වෙහෙසකරයි. ඒ නිසා වැඩි දෙනෙක් මේ වගේ ක්ෂේත්‍රයක පර්යේෂණ කරනවා ඉතාමත් අඩුයි.”

මහචාර්ය සුරේෂ් පී. බෙන්ජමින් තමන් විසින් සොයාගත් මකුළුවකු තම ගුරුවරයා වන මහාචාර්ය නොන්රාඩ් තාලර් නමින් නම් කර තිබේ. එමෙන් ම  නවකතා කරුවකු වූ මයිකල් ඔන්ඩච්චි නමින් ද මකුළු විශෞෂයක් ලෝකයට හඳුන්වා දුන් මහාචාර්ය වරයා ලූල්කඳුර ප්‍රදේශයෙන් හමුවූ මකුලු විශේෂයක් නම් කර ඇත්තේ ජේම්ස් ටේලර් නමිනි. දඹුල්ලේ වනෝද්‍යානයක් බිහිකළ සෑම පොප්හැම් මහතා සිහිවීමට ද ඔහු මකුළුවෙකුට නම් තබා තිබේ. තම බිරිඳ දිෂානි බෙන්ජමින් නම ද සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයේ සදාකාලික සහිවටනයක් බවට පත්කළේ සිංහරාජය ඇතුළු පහතරට තෙත් කලාපයේ වැසි වනාන්තර වලින් හමුවන ඉතා අලංකාර මකුළු විශේෂයක් ඇගේ නමින් එනම් Myrmarachne dishani ලෙස නම් කරමිනි.

ඔහු පවසන්නේ සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයේ දී සතුන්ට විද්‍යාත්මක නම් තැබීමේ දී විවිධ ක්ෂේත්‍රයන්ට සේවය කළ පුද්ගලයන්ට ගරුත්වයක් ලෙස නව සතුන්ට නම් තබන බවයි. එසේ වුව ද නව මකුළුවන්ට සත්ත්ව විද්‍යාත්මක නම් තැබීම සඳහා සුදුසු නම් සොයාගැනීමත් ගැටලුවක් වී ඇතැයි ද හෙතෙම පවසයි.

මහාචාර්යවරයා පවසන්නේ මකුළුවන් ට තිබෙන විශාලතම අභියෝගය වන්නේ ඔවුන්ගේ වාසස්ථාන අහිමිවී බවයි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වනාන්තර කුඩා වන ලැහැබ ආදිය විනාශ වී යාම හේතුවෙන් විද්‍යාත්මකව හඳුනාගැනීමටත් පෙර ලෝකයේ මකුළු විශේෂ සිය ගණනක් ලොවින් සමුගන්නට ඇතැයි මහචාර්ය බෙන්ජමින් පවසයි.

බොහෝ දෙනකුට මකුළුවා වැදගැම්මකට නැති සතෙකි. කරදරකාරයෙකි. ඇතැමුන්ට බිය උපදවන පිළිකුල් සහගත සත්ත්වයෙකි. නමුත් මහාචාර්ය බෙන්ජමින් පවසන්නේ මකුළුවන් යනු අපූරු නිර්මාණකරුවන් පිරිසක් බවයි. තම ගොදුරු සොයාගැනීම සඳහා විවිධ හැඩෙයන් සහ ප්‍රමාණයෙන් යුතු දැල් වියන  මේ සතුන් ලෝකයේ සත්ත්ව සන්තතියේ තුල්‍යතාව කෙරෙහි කරනු ලබන සේවය ද අපමණය.

ඔහු පවසන්නේ මකුළුවන් තමන්ට හැකි සෑම තැනකම දැල් සාදා කෘමි සතුන්ට උගුල් අටවන්නේ නැතිනම් මේ ලෝකයේ කෘමි ගහණය පාලනය කරගැනීම අතිශය අසීරු වනු ඇති බවයි.

පර්යේෂණ කටයුතු වෙනුවෙන් තමන් කොතෙක් කාලය ගත කළ ද ඒ සඳහා සිය උපරිම සහයෝගය දෙමින් කටයුතු කරන බිරිඳ දිශානි සහ දරුවන් දෙදෙනා මේ වෙනුවෙන් කරනු ලබන කැපකිරීම ද මහාචාර්යවරයා කෘතවේදීව සිහිපත් කළේය.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!