තම දරුවා ද සමඟ ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටිය දී අත්අඩංගුවට ගත් යුවළ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ප්‍රහාර දෙකක් එල්ල කිරීමට සූදානම්ව සිටි බව බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබේ.
මෙම බෝම්බය ද රැගෙන ගොස් ඇත්තේ එම ප්‍රහාරයක සැළසුමේ කොටසක් ලෙසිනි. බෝම්බය රැගෙන ගිය යුවළ පිළිබඳ බුද්ධි අංශ දුන් තොරතුරකට අනුව හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් පෙරේදා (02) පරන්තන්හි දී අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය පවසන්නේ මෙම යුවළ යාපනය සිට මහනුවර බලා ධාවනය වූ බසයක පාපිසි සහිත බෑගක අසුරා බෝම්බය රැගෙන යමින් සිටි බවයි. ඔවුන් ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක කොටි ජාලයකට සම්බන්ධ බවට හෙළිවී තිබේ. ඔවුන් උතුරේ සහ නැගෙනහි ඉලක්ක දෙකකට ප්‍රහාර එල්ල කිරීමට සැළසුම් කර තිබී ඇත. ඊලාම් යුද්ධය අවසන් වූ පසු මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ ගත් 15 වැනි අවස්ථාව මෙය බව ද බුද්ධි අංශ පවසයි.
2014 අප්‍රේල් මස 14 වැනි දා නෙඩුන්කර්නි වනයේ දී හමුදා ප්‍රහාරයකින් මියගිය ගෝපි හෙවත් කජිපන් පොන්නයියා සෙල්වනායගම් නම් කොටි සාමාජිකයාගේ සහෝදරයකු ස්විට්සර්ලන්තයේ සිට මේ සැළසුම මෙහෙයවා ඇතැයි මේ වනවිට හෙළි වී තිබේ. අයියකච්චි පැනික්කච්චිහි පිහිටි ගෝපිගේ මව පදිංචිව සිටි නිවස ඉදිරිපිට අත්අඩංගුවට ගත් යුවළ පදිංචි බව ද තහවුරු වී ඇත.
අත්අංගුවට ගත් යුවළගෙන් ලැබුණු තොරතුරු අනුව එම ඉඩමේ වළ දමා තිබූ අත්බෝම්බයක් හමුවී ඇති අතර තවත් වළ දැමූ පුපුරන ද්‍රව්‍ය සොයා පොලිසිය හා හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත්කරමින් සිටියි. ඔවුන් සතුව තිබූ ක්ලේමෝ බෝම්බය කිලෝ 1.8ක් බර බව ද පොලිසිය පවසයි.
ක්ලේමෝ බෝම්බය එම කාන්තාවට ලැබී ඇත්තේ යතුරුපැදිකරුවෙකුගෙන් බව ද ඇය පොලිසියට පවසා තිබේ. තන්ගේ හත් හැවිරිදි දරුවා මේ කාර්යය සඳහා රැගෙන ගියේ සැකයක් ඇති නොවීමට බව ද ඇය කියා ඇත. තමන්ගේ ගිනුමට විදෙස් කොටි ජාලයෙන් මුදල් ලැබුණු බව ද ඇය අනාවරණය කර තිබේ. එම යුවළ විසින් යාපනයට ද බෝම්බයක් රැගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ. මෙම බෝම්බය රැගෙන ගොස් ඇත්තේ නැගෙනහිරට යැවීමටය.
මෙම කණ්ඩායමේ ඉලක්කය කුමක්දැයි දැනගැනීමට යුද හමුදා බුද්ධි අංශ හා පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විමර්ශන සිදුකරයි.