4 C
New York

කොරෝනා ආසාදනය වී මියගිය ගාල්ලේ පුද්ගලයාගේ මළ සිරුර අතුරුදන් ?

Published:

මියගිය පසු කොරෝනා ආසාදිත වූ අයකු බව හඳුනාගත් ගාල්ල මිලිද්දුව පදිංචි පුද්ගලයා මියගොස් මේ වනවිට පැය 72ක් ගත වී ඇතත් ඔහුගේ මරණය පිළිබඳ තොරතුරු නිල ලේඛනවලට ඇතුලත් කිරීමට රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය අපොහොසත් වී තිබේ.

එම පුද්ගලයා මියගියේ පසුගිය 30 වැනි දා රාත්‍රියේ කළුබෝවිල රෝහලේ දී ය. ඔහුගේ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව පසුදා (01) පෙරවරුවේ ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඒ බව ඥාතීන්ට, සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනාට දැනුම් දී තිබිණි.

කොරෝනා මරණ සම්බන්ධව අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ රජය විසින් නිකුත් කර ඇති නිර්ණායකවල දැක්වෙන්නේ කොරෝනා ආසාදිත මළ සිරුරුක් මියගොස් පැය 24ක් ඉක්ම යාමට පෙර ආදාහනය කළ යුතු බවයි. ඒ අනුව මේ විට එම සිරුර අදාහානය කර තිබිය යුතුය.

එය 01 දා රාත්‍රියට පෙර ආදාහනය කළ යුතු අතර එසේ කර ඇතැයි අපි අනුමාන කරන්නෙමු. නමුත් මේ දක්වාම එම මරණය පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් නිල වශයෙන් දැනුම් දී නැත.

මෙය ගැටලුවකි. කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකු පැය 24ක් ඇතුළත ආදාහනය කළ යුතු යැයි නීති පනවා ඇති සෞඛ්‍ය අංශවලට ඒ මරණයේ විස්තර පැය 72ක් අවසන්වනතුරුම නිකුත් කළ නොහැකිවීම බරපතල ගැටලුවකි. අද රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ලබාදුන් ලේඛන අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ද ඒ බව සඳහන් වූයේ නැත.

මේ අප හොඳින්ම තොරතුරු දන්නා මරණයකි. මෙවැනි මරණ තවත් කොතෙක් ශ්‍රී ලංකාවේ සිදුව ඇත්ද යන්න අප දන්නේ නැත. ශ්‍රී ලංකාවේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු අතුරුදන් වනවා ද යන්න සොයා බැලිය යුතු කරුණකි.

Related articles

Recent articles

spot_img