ගාල්ල කරාපිටියේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාල වෛද්‍යපීඨයේ අවසන් වසර සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ශිෂ්‍යාව පානදුරේ පදිංචිකාරියකි.
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම සිසුවිය වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයක නතරවී සිටින බවයි. ඇය සමග නවාතැන් ගෙන සිටි අනෙක් සිසුවිය පසුගිය දිනවල නොසිටීම හේතුවෙන් එම වෛද්‍ය ශිෂ්‍යාව නේවාසිකාගාරයේ සිටියේ තනියම බව ද අනාවරණය වී තිබේ.
කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනික කටයුතු සඳහා සහභාගීවන මෙම ශිෂ්‍යාව මනෝ වෛද්‍ය ඒකකයට අනුයුක්තව සිටි බව ද වාර්තා වෙයි. එම ඒකකයේ නේවාසිකව සිටි අකුරැස්සේ පදිංචි කාන්තාවක් පසුගිය නොවැම්බර් 09 දා කොරෝනා ආසාදිත බව හඳුනාගැණුනු අතර රෝහල්ගත කළ ඇය පසුව මියගියාය.
කොරෝනා ආසාදිත බව හඳුනාගත් වෛද්‍ය ශිෂ්‍යාවට ගඳ සුවඳ සහ රස නොදැනීම හේතුවෙන් ඊයේ (01) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබේ. එහි ප්‍රතිඵල අද (02) උදෑසන ලැබී ඇත.
සෞඛය අංශ පවසන්නේ රෝහලේ දී ඇය මඛ ආවරණ, මුහුණු ආවරණ සහ ආරක්ෂිත ඇඳුම් පවා පැළඳ රෝගී සත්කාරක කටයුතුවල යෙදී ඇති බවයි. එසේ වුව ද පානදුරේ පදිංචි ඇය පසුගිය දිනවල නිවසට ගිය අවස්ථාවක දී කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.
ඇගේ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමටත්, ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටත් කටයුතු කරමින් සිටී.