spot_img
spot_imgspot_img

ගාල්ල නගරය කොරෝනාවෙන් බැට කයිද ?

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම කොරෝනා මරණය අද (30) වාර්තා වූයේ කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පුද්ගලයකු මියයාමෙන් පසු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමෙනි.

මෙම පුද්ගලයා ගාල්ල මිලිද්දුව පදිංචිකරුවකු වන අතර දිගු කාලීන වකුගඩු රෝගයකට ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔහු සහ ඔහුගේ සමීපතමයන් ඇසුරු කළ සමාජ පරිසරය අනුව මෙහි තත්ත්වයේ බරපතල බව තීරණය වනු ඇති බවයි. මියගිය තැනැත්තා ගාල්ල කළුවැල්ලේ ත්‍රී රෝද රථ ගාලක ත්‍රී රෝදරථයක් තබාගෙන සිටි අයෙකි. එසේ වුව ද ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් පසුගිය සති කිහිපයක් ම එම කාර්යයේ නිරතවී නැත.

එසේ වුව ද ගැටලුව පවතින්නේ ඔහුගේ බිරිඳ ගාල්ලේ බාලිකා පාසලක ගුරුවරියක වීමයි. තම සැමියා වකුගඩු රෝගය සඳහා කොළඹ රෝහලේ සිටිය දි පවා ඇය පාසලේ දරුවන්ට ඉගැන්වීම සඳහා ගොස් තිබේ. එය වරදක් ද නොවේ. ඔහු කොරෝනා ආසාදිතයකු බව ඇය හෝ ඇගේ දරුවන් හෝ දන්නේ නැත.

ඊයේ (30) සැමියාට අසාධ්‍ය බව දැනගන්නා විටත් ඇය සිටියේ පාසලේය. කඩිනමින් ඇය කළුබෝවිල රෝහලට ගිය අතර ඔහු රාත්‍රියේ අවසන් හුස්ම හෙළා ඇත.

මේ දිනවල මියයන පුද්ගලයන්ගේ සිරුරුවලින් ජෛව සාම්පල රැගෙන PCR පරීක්ෂණයක් පවත්වන බැවින් එය සිදුකෙරිණි. වකුගඩු රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රෝහල්ගත කර සිටි බව දන්නා අසල්වැසියන් හා ඥාති හිතවතුන් හැසිරී ඇති ආකාරයනම් මෙහිදී බරපතල ගැටලුවකට හේතුවන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ ගුරුවරිය උගන්වන පාසලේ සිසුවියන් පිරිසක් ද ගුරුවරියන් කිහිප දෙනකු ද ඊයේ (30) රාත්‍රියේ ම මරණය දැනගත් පසු ශෝකය ප්‍රකාශ කිරීමට ඒ නිවසට ගොස් තිබේ. එපමණක් නොව ඇය මීට පෙර ඉගැන්වූ පාසලක ගරුවරුන් ද සිසු පිරිසක් ද ඒ නිවසට ගොස් ඇත. පීසීආර් පරීක්සණ ප්‍රතිඵල ලැබෙන්නේ ඉන් අනතුරුවය.

මේ දිනවල අනවශ්‍ය ගමන් බිමන් නොයන ලෙස කොතෙක් පැවසුවත් මේ ගුරුවරු තම ශිෂ්‍යාවන් ද කැටුව කළ ඒ කාර්යය අනුමත කළ නොහැකි බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

සෞඛ්‍ය අංශ විශ්වාස කරන්නේ මේ පුද්ගලයා තම ප්‍රතිකාර සඳහා කොළඹ යන එන අතරතුර කොරෝනා ආසාදනය වන්නට ඇති බවයි. කෙසේ වෙතත් ඔහු කොළඹ කළුබෝවිල රෝහලට යාමට පෙර ගාල්ලේ සමූපකාර රෝහලට ද ගොස් ඇති බැවින් එහි අදාල අංශයේ සිටි පිරිසකට ද නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබේ.

ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වී තිබුණහොත් ඇය ඉගැන්වූ පාසලේ ස‌හෝදර ගුරුවරුන් හා සිසු දැරියන් රැසක් ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයන් වෙයි. එවිට ඔවුන් ද නිරෝධායනයට යොමු විය යුතුය. බීරිඳ ආසාදිත නොවේ නම් ඔවුන් දෙවැනි පෙළ ආශ්‍රිතයන් බැවින් එතරම් අවදානමක් නැත.

සෞඛ්‍ය අංශ පවසන්නේ කොළඹ ගිය ඇය තවමත් ගාල්ලට පැමිණ නැති බැවින් ඇයගේ ජෛව සාම්පල ලබාගත නොහැකි වූ බවයි. කොළඹින් ද ඇය පීසීආර් පරීක්ෂණයකට යොමුකළ බවට තොරතුරක් නැත.

පාසල අද විෂබීජහරණයට ලක්කළ අතර හෙට සිට යළි සාමාන්‍ය පරිදි පාසලේ කටයුතු පවත්වන බව ද අධ්‍යාපන බලධාරීන් පවසයි.

මරණයක් සැළ වූ වහාම වෙනදා මෙන් වැළ නොකැඩී එම ස්ථානයට නොගොස් තොරතුරු සොයා බලන ලෙසත් අනවශ්‍ය ලෙස මළ ගෙවල්වල නොයන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් ඉල්ලා සිටින්නේ මේ සිද්ධිය නැවත නැවතත්ත උදාහරණයට ගනිමිනි.

මියගිය මේ පුද්ගලයා පදිංචි මිලිද්දුව ප්‍රදේශය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇත්තිලිගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේය. අද (01) එම වසමේ පදිංචි තවත් කාන්තාවක් කොරෝනා ආසාදනය වූ අයකු බව තහවුරු වී තිබිණි. ඒ ඊයේ (30) ගාල්ල අධිකරණ භූමියේ දී අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණයකිනි. ඇය නඩු කටයුත්තකට එහි ගොස් සිටිය දී ඇය ද පරීක්ෂණය සඳහා සහභාගී කරගෙන තිබිණි

ඇය ඇත්තිලිගොඩ ඇඳුම් මහන ව්‍යාපාරයක් සහ කැඳ අළෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යන තැනැත්තියකි. එම කාන්තාවගෙන් කැඳ මිලදීගත් අයත් ඇඳුම් සකසා ගැනීමට පැමිණි පිරිසත් අවදානමකට ලක්ව ඇත. මීට අමතරව එය  තම නිවස අසළ පිහිටි ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ කඨින පිංකම සඳහා සක්‍රීය දායකත්වයක් සපයා ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම කාන්තාවගේ නිවසට කොළඹ සිට පිරිසක් පැමිණි බවට තොරතුරු වාර්තාවන බවයි. ඔවුන්ගෙන් කොරෝනා ආසාදනය සිදුවන්නට ඇතැයි සැකයක් මේ වනවිට ඇති වී තිබේ. ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මේ ආසාදිත දෙදෙනා නිසා දැනටමත් ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ හිමිවරු ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ හෙට උදෑසන සිට මෙ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දී ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ රෝගීන් දෙදෙනා එකම ග්‍රාම නිලධාරී වසමක පදිංචිකරුවන් වුව ද ඔවුන්ට රෝගය වැළඳී ඇත්තේ එකම මූලාශ්‍රයකින් නොවිය යුතුයැයි ද සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස වී ඇත.

මේ අතර ගාල්ල මිනුවන්ගොඩ හන්දියේ පිහිටි පරිගණක ආයතනයකට ආසාදිතයකු පැමිණීම හේතුවෙන් මීට දින 16කට පෙර නිරෝධායනයට යොමු කළ එම ආයතනයේ තරුණයකු නිරෝධායන දින 14 අවසන් වී 15 වැනි දිනයේ දී කරන ලද පීසීආර් පරීක්සණයෙන් කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී තිබේ. ඔහු දැනටමත් හම්බන්තොට රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර ඇත

එම ආයතනයට ඉහත ආසාදිතයා පැමිණිබව දැනගත් දිනයේ දී ම විෂබීජහරණය කළ බැවින් ආයතනය පවත්වාගෙ යාමේ ගැටලුවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි . එහි සිටි අද ආසාදනය වූ බව හඳුනාගත් තරුණයා ඇතුළු සේවකයන් තිදෙනමා අදාල ආයතනයේ වෙනත් ශාඛාවල කිසිදු පුද්ගලකු හා සම්බන්ධ වී නොමැති බැවින් අනෙක් සේවකන්ට පීසීආර් පරීක්ෂණ හෝ සිදුකිරීම අනවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ගාල්ලේ තවත් ප්‍රධාන පාසලක ආරක්ෂක නිලධාරියකුගේ සමීප ඥාතියකු කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. එම ආරක්ෂක නිලධාරීයා ඥාතියාගේ නිවසට උත්සවයක් සඳහා ගොස් ඇති බැවින් සමීප ආශ්‍රිතයකු බවට පත්ව ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ කවුරුන් කුමක් කීව ද කොතරම් දන්නා හඳුනන අයකු වුව ද තමන් ඉදිරියේ සිටින පුද්ගලයා කොරෝනා ආසාදිතයකු යැයි සිතා කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!