සජීව විජේවීර විසිනි
” අපේ වත්තේ හොඳට පොල් තිබුණා. අල බතල ටිකක් වවා ගත්තා. ගෙදරට විතරක් නෙවෙයි අහළ පහළ ගමේ ගෙවල්වලට බෙදන්න තරම් කොස්, දෙල්, වරකා, අන්නාසි, අඹ, රඹුටන්, ගස්ලබු, කෙසෙල් තිබුණා. ඒත් දැන් මේ සියලු දේ වෙනස් වෙලා. අවුරුදු 15කින් විතර අපි එක පොල් ගහක්වත්, කොස් ගහක්වත් කපලා නෑ. ඒ කාලේ එක පොල් මුරේකට පොල් ගෙඩි 300ක් 400ක් විකුණුවා. තෙල් හින්දා. වත්තේ මඤ්ඤොක්කා ටික ගලවලා කඩේට විකුණුවා. දැන් අපි පොල් සල්ලිවලට ගේනවා. මඤ්ඤොක්කා අලයක් ගලවගන්න ලැබෙන්නේ කලාතුරකින්. අන්නාසි ගෙඩියක් බේරගන්න බැහැ. ගස්ලබු කෙසෙල් ඔක්කොම කඩෙන් ගේන්නේ. මේකට එකම හේතුව. දඬු ලේන්නු, රිලව්, වඳුරෝ, මොණරු, ඌරෝ, ඉත්තෑවෝ. මේ සත්තු නිසා අපිට කිසිම වගාවක් කරන්න බැහැ.” අප සමග මේ කතාව කීවේ මාතර දිස්ත්‍රික්කයේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයෙකි.
මේ ඔහුගේ කතාව පමණක් නොවේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ සෑම දිසාවකින්ම නැගෙන පොදු ප්‍රශ්නයකි. මහා පරිමානයෙන් වගා කටයුතු කරන සහ ගෙවතු ආශ්‍රිතව සුළු වශයෙන් වගා කටයුතු සිදුකරන සියලු දෙනාම මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී තිබේ.
සතුන්ගෙන් සිදුවන බෝග හානිය සම්බන්ධයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය විසින් කරන ලද විද්වත් අධ්‍යයනයකින් සනාථ වී ඇත්තේ වන සතුන් හේතුවෙන් අපේ රටේ සිදුවන වගා හානිය වාර්ෂිකව 40% ක් ඉක්මවන බවයි. මේ නිසා වන සතුන්ගෙන් වගාවන් බේරාගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාව පවතී.
පසුගිය දා පැවැති දිසාපති සමුළුවක දී ද වන සතුන්ගෙන් සිදුවන වගා හානිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු වූ අතර දිසාපතිවරුන්ගෙන් බහුතරයක් කියා සිටියේ තම තමන්ගේ දිස්ත්‍රික්කයන් හි සතුන්ගෙන් සිදුවන වගාහානි සම්බන්ධයෙන් විශාල ගැටලුකාරී තත්ත්වයක් පවතින බවයි.
රට පුරා සිටින ගොවි ජනතාව චෝදනා කරන්නේ සතුන්ගෙන් තම වගාවන් බේරාගැනීම බරපතල ගැටලුවක් බවයි. ගොවීන්ට පමණක් නොව තමන්ගේ ගෙවත්තේ වගා කරන පුද්ගලයන්ට ද භව බෝග විනාශ කරන සතුන් දැඩි කරදරයක් වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති පී. එච්. සුසන්ත මෙසේ පැවසීය.
“ඌරන්ගෙන් රිලවුන්ගෙන් සහ වඳුරන්ගෙන් විශාල වශයෙන් හානි සිදු වෙනවා. ඇල්පිටියේ ගොවීන් විශාල වශයෙන් ඉන්නල වගා කරනවා. ඉන්දලා දවස් දෙකක් යනවිට ඌරන් සියල්ලම හාරා විනාශ කර දමනවා. මේවාට කිසිම විසඳුමක් නැහැ. මේ ප්‍රශ්න වලට යම්තාක් දුරට හෝ විසඳුමක් ලැබෙනවා නම් ගොවීන් මීට වැඩිය වගා කටයුතු වල යෙදෙන්න උනන්දු වේවි.“
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මිනිසුන් හා සතුන් අතර ගැටුම අද ඊයේ පටන්ගත් දෙයක් නොවන බවයි. අතීතයේ පටන් මේ ගැටුම තිබූ බවත් සතුන්ගේ පරිසරය වෙනස්වන විට ඔවුන්ගේ පැවැත්ම, පැතිරීම හා ආහාර රටාව වෙනස්වීම හේතුවෙන් මේ ආකාරයට සතුන් මිනිසාට බලපෑම් කරන බව ද ඔවුහු කියති.
ඔවුන් පවසන්නේ මේ ප්‍රශ්නයේ දී කළ යුත්තේ සතුන් ඝාතනය කිරීම නොව නිවැරදි කළමනාකරණය බවයි. එය කරදරකාරී ජීවී විශේෂයට සිදුවන හානිය අවමවන ලෙස කළ යුතු දෙයකි.
මේ සම්බන්ධයෙන් හිටපු වනජීවී අධ්‍යක්ෂවරයකු, සත්ත්ව විද්‍යා පර්යේෂකයකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් කොටගම මෙසේ කීවේය.
”සතුන් මිනිසුන්ට කරදරයක් වන අවස්ථාවක දී අපි ප්‍රශ්නය සමග ජීවත් වෙනවා ද නැතිනම් ප්‍රශ්නය ඉවත්කරනවා ද කියා තෝරාගත යුතුයි. අතීතයේ සිට වගාවට හානිකරන ජීවියෙක් පැමිණි විට එළවා දැමීම, වැටක් ගසා ආරක්ෂා කිරීම වැනි ක්‍රමවේද තිබුණා. ඒ වගේ ම හානිකර සතා විස්ථාරණය කිරීමට අතීතයේ කුරුලු පාලුව වැනි ක්‍රම භාවිතා කළා. නමුත් පසුකාලීනව පලිබෝධකයා නසා දැමීම වැනි ඉතා අන්තවාදී කටයුතු කළා. එහි දී කළේ තමන්ගේ වගාවට හානි කරන ජීවියා අනුකම්පා විරහිතව විනාශ කර දැමීම.”
මෙරට ජීවීන් වගාවට සිදුකරන හානිය වළක්වාගැනීම සඳහා එලෙස ඔවුන් විනාශ කළ හැකි ද යන ගැටලුවක් තිබේ. ඔවුන් විනාශ නොකර කළ හැකි බොහෝ දේ තිබේ. ඒ සඳහා වගාවන් වෙනස් කිරීම, වගා කාලයේ දී බහුතර පිරිසක් එක්වී එකම වගාව සිදුකර සතුන්ගෙන් එක් පුද්ගලයකුට සිදුවන හානිය අවම කිරීම, සතුන් බියට පත්වී පලා යන ක්‍රම භාවිතා කිරීම මේ සඳහා යොදා ගත හැකි උපක්‍රම ලෙස මහාචාර්ය කොටගම පෙන්වා දෙයි.
රිලවුන් සඳහා වායු රයිෆල් හඳුන්වාදීම පසුගිය කාලයේ ජනප්‍රිය වූයේ මෙවැනි උපක්‍රමයක් ලෙසිනි. නමුත් ගොවීන් පවසන්නේ තම වගාවට වැඩිපුරම හානි සිදුකරන සතුන් අතරින් වඳුරන් හැර වෙනත් කිසිම සත්ත්ව විශේෂයක් වායු රයිෆලය භාවිතයෙන් පලවා හැරීමට නොහැකි බවයි.
මේ වනවිට වගාවන්ට හානිකරන්නේ යැයි චෝදනා කරනු ලබන සියලු සතුන් මෙරට වනජීවී ආඥා පනත යටතේ ආරක්ෂිත සතුන් ලෙස නම් කර තිබේ. එබැවින් ඒ කිසිදු සතකු කවර හේතුවක් නිසා හෝ ඝාතනය කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.
ඉතා කෙටි කාලයක් තුළ සතුන්ගෙන් සිදුවන වගා හානිය විශාල ලෙස වර්ධනය වී තිබීම හේතුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්ත්මේන්තුව එක්ව මේ සඳහා විධිමත් හා සැළසුම් සහගත යෝජනාවක් ලබාදිය යුතුය.
” අපි මිනිසුන් හැටියට නිතරම මේ ගැන හිතන්නේ අපේ පැත්තෙන්. අපිට වාසි වෙන විදියට. නමුත් යම් ජීවියෙක් කියන්නේ පරිසර පද්ධතියේ කොටසක්. ආහාර දාමයක පුරුකක්. පරිසරයේ සමතුලිතතාවයට එකිනෙකා හා තිබෙන බන්ධුතාවය පවත්වාගෙන යාමට ඔවුන් අත්‍යාවශ්‍ය සාධකයක් වෙනවා.. ඒ නිසා අපි හානිය අවම කළ යුතුයි. කෙනෙකුට කියන්න පුළුවන් සතකු කරදරකාරීනම් මරා දැමිය යුතුයි කියලා. නමුත් සතෙක් පරිසරයෙන් ඉවත් කළ විට ඇතිවන ප්‍රශ්න ගැන අපි සිතිය යුතුයි. ඒ ගැන තක්සේරු කළ යුතුයි. පරිසරය ආක්‍රමණය කළේ මිනිසා. අපි පරිසරය ස්වභාවිකත්වය නැති කරලා මේ සතුන් කැමති ආහාර වගා කරනවා. ඉන් පස්සේ ඔවුන් ඉවත් කරන්න කතා කරනවා. මුලින්ම කළ යුතු වෙන්නේ මේ සතුන්ගෙන් පරිසරයට හානිකර බලපෑමක් සිදුවෙනවා ද කියා සොයා බැලීම.” මහාචාර්ය කොටගම කීවේය
මේ වනවිට කිසිදු සමික්ෂණයකින් තක්සේරු කර නැති වුව ද වැඩිම ව්‍යාප්තියක් දක්වන සත්ත්වයකු බවට පත්ව ඇත්තේ මොණරාය. අදින් වසර ගණනාවකට පෙර වියළි කලාපයේ වනාන්තර ආශ්‍රිතව පමණක් දක්නට ලැබුණු මොණරා මේ වනවිට තෙත් කලාපයේ බහුලව දැකිය හැකි සත්ත්ව විශේෂයක් බවට පත්වෙමින් තිබේ. පරිසරවේදීන් පවසන්නේ වනාන්තර හෙළි පෙහෙළි කර විවෘත ප්‍රදේශ නිර්මාණය වීමත් සමග මොණරාගේ ව්‍යාප්තිය වැඩිවන බවයි.
මාතර විශ්වවිද්‍යාලය ඉදිකිරීමත් සමග වියළි කලාපයේ සිට මාතරට සංක්‍රමණය වූ මොණරුන් අධිවේගී මාර්ගය ඉදිකිරීමත් සමග කොළඹ කොට්ටාව ප්‍රදේශය දක්වාම පැමිණ ඇත. මහාචාර්ය සරත් කොටගම මහතා පවසන්නේ හෝර්ටන් තැන්නේ දී ද තමා විසින්ම මොණරකු දුටු බවයි. මෙයින් පැහැදිලි වන්නේ මොණරා මෙරට සියලු දේශගුණික හා භූ විෂමතා කලාප වෙත සංක්‍රමණය වී ඇති බවයි.
මොණරුන්ගේ වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දේශගුණික විපර්යාසයන්ය. මෙතෙක් වගා නොකළ ස්ථානයන්හි වගා කටයුතු සිදුකිරීම, ඔවුන් වැඩි කැමැත්තක් දක්වන ආහාර වර්ග වගා කිරීම සහ ඔවුන්ගේ විලෝපිකයන් නොමැති වීම මීට හේතු වී ඇති බව පෙනී යයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ හිවල් ගහණය විශාල වශයෙන් අඩුවී තිබේ. එයට එක් හේතුවක් වන්නේ කෘමි නාශක භාවිතයයි. කෘමි නාශක යෙදූ විට කක්කුට්ටෝ ගුලෙන් එළිය විත් මියයති. හිවල්ලු මේ කක්කුට්ටෝ කා දමා මැරෙති. ගමේ හිවලා වාස්සථාන කරගෙන සිටි වන ලැහැබ් එළි පෙහෙළි වීමත් බල්ලන් වැඩි වීම හා වාහනවල හැපී හිවලුන් මරුමුවට පත්වීමත් හිවලා ගමෙන් සමුගැනීමට හේතු වී ඇත. හිවලා මොණරාගේ ප්‍රධානතම විලෝපිතයාය. මේ නිසා මොණරු ව්‍යාප්තිය වැඩිවී ඇත. මොණරා විසින් සර්පයන් කා දැමුව ද සර්පයන් මොණරුන්ට ද තර්ජනයක් වන්නේ මොණර බිත්තර හා කුඩා පැටවුන් ගිල දැමීමෙනි. දැන් පරිසරයෙන් සර්පයන් විශාල වශයෙන් අඩුවී තිබීම ද මොණර ගහණය වැඩිවීමට හේතුවකි. කටුපොල් වගාව පවතින ප්‍රදේශව ද මොණරු විශාල වශයෙන් දක්නට ලැබෙන අතර ගැමියන් පවසන්නේ කටුපොල් වගාකරුවන් මොණරුන් එම ප්‍රදේශවලට ගෙනවිත් දැමූ බවයි.
පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන්නේ ඉන්දියාවේ මහාචාර්ය මානි වෙල්ලප්පන් දිලිසෙන නයිලෝන් පටි වගාබිම් වටා ඇදීමෙන් මොණරුන් පාලනය කළ හැකි බව ප්‍රායෝගිකව සනාථ කර ඇති බවයි. මෙවැනි උදාහරණ අපට ආසන්නම රටෙන් දක්නට ලැබෙද්දී ඒවා අත්හදා බැලීම සුදුසු බව ද හෙතෙම පෙන්වා දෙයි.
දඬු ලේනාගේ සහ රිලවාගේ තත්ත්වය ද එවැනිම ස්වරූපයක් ගනී. රිලවුන්ගේ උප විශේෂ තුනක් ශ්‍රී ලංකාව පුරා සෑම තැනම දක්නට ලැබෙයි. රිලවුන් ද විශාල රංචු වශයෙන් නගර, ගම්මාන වෙත පැමිණ කරදරකාරී සත්ත්වයකු බවට පත්ව අතැයි නැගෙන චෝදනාවකි. ඔවුන් ඇතැම් අවස්ථාවල දී සංවිධානාත්මකව නිවෙස්වලට වැදී නිවෙස්වල ඇති සියලු දේ පැහර ගන්නා තත්ත්වයටත් සියලු වගාවන් විනාශ කරන තත්ත්වයටත් පත්ව සිටියි.
කළු වඳුරාගේ තත්ත්වය ද ඊට දෙවැනි නැත. ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල කළු වඳුරා විශාල හානියක් සිදුකරන සත්ත්වයකු බවට පත්ව තිබේයැයි චෝදනා එල්ල වෙයි.
ශ්‍රී ලංකාවේ වඳුරු උප විශේෂ හතරක් දක්නට ලැබෙන අතර ඒ උප විශේෂ හතරම ශ්‍රී ලංකාවට ආවේණිකය. ඉන් වඩාත් භයානක තත්ත්වයක් වන්නේ බස්නාහිර පළාතේ දක්නට ලැබෙන බස්නාහිර පළාත් කළු වඳුරා නම් උප විශේෂය ලෝකයේ වැඩිම වේගයෙන් වඳවී යන සත්ත්ව විශේෂ 25 අතරින් එකක් වීමයි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා වඳුරන් සහ රිලවුන් සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
”මේ සතුන් මිනිසුන්ට කරදරයක් බවට පත්ව තිබෙන බවට චෝදනා තිබෙනවා. මෙය අද ඊයේ සිදුවූවක් නොවෙයි. වනාන්තර වැස්ම හොඳින්ම තිබුණු 19 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ කතළුව පූර්වාරාමයේ ඇඳපු බිතු සිතුවමක රජුගේ මාළිගාවේ වහළය මත වඳුරන් සිතුවම් කර තිබෙනවා. ඒ කාලෙත් වඳුරන් නිවෙස්වලට ආපු බවට එය සාක්ෂියක්. නමුත් දැන් මේ සතුන් මිනිසුන්ට දක්වන බිය විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා. රිලවා එතරම් ලජ්ජාශීලී සතෙක් නොවෙයි. නමුත් කළු වඳුරා ලජ්ජාශීලීයි. ඔවුන් බියට පත්ව දිව යනවා. පැරණි ගමේ බඩවිට, ඕවිට, ලන්ද කියන කොටස් තිබුණා. කැලය තිබුණේ ඊට පස්සේ. නමුත් දැන් කැලෑ ආරක්ෂා කළත් ඕවිට, ලන්ද නැහැ. ගම කැලේ අසළටම ගිහින්. ඒ නිසා කැලේ හිටපු වඳුරන් සහ රිලවුන් සෘජුවම ගමට එනවා. ගමට පැමිණි විට ඔවුන්ට වැඩි විවිධත්වකින් ආහාර පහසුවෙන් ලැබෙනවා. මේකට ඔවුන් පුරුදු වෙනවා. විශේෂයෙන්ම ආගමික ස්ථාන ආශ්‍රිතව රිලවුන්ට කෑම දෙනවා. මේ සතුන් කණ්ඩායම් පසුව මිනිසුන්ට කරදරයක් වනවා. ඉස්සර ගමේ තිබුණු ගස් ප්‍රමාණය දැන් අඩුවෙලා නිසා මේ අය තමන්ගේ ගමන යන්නේ වහළවල් මතින්. ඒ නිසාත් කරදරයක් වෙනවා. තවත් දෙයක් තිබෙනවා අපි ඔවුන් බිය පත්කරන විට, එළවා දමන විට ඔවුන්ට ඇති තර්ජනය වැඩවන විට ඔවුන් අතර බෝවීම ස්වභාවිකවම වැඩි වෙනවා. අපි නිරීක්ෂණය කර තිබෙනවා වනාන්තරයේ ඉන්න වඳුරු රංචුවකට වඩා ගමකට හෝ නගරයකට පුරුදු වූ වඳුරු රංචුවේ පැටව් සංඛ්‍යාව වැඩියි “
මධුර ද සිල්වා පවසන්නේ සීනි හා ලුණු මිශ්‍ර ආහාර පුරුදු වූ පසු මේ සතුන් ගම්වලට වැදීම නැවැත්විය නොහැකි බවයි. ඔවුන් පාලනය කිරීම සඳහා කොටියන්ගේ හා දිවියන්ගේ රූප ප්‍රදර්ශනය කිරීම හඬ ඇසෙන්නට සැලැස්වීම සහ ඔවුන් පැමිණෙන මාර්ගයේ ඇති ගස් හා කණු වල ග්‍රීස් යෙදීම කළ හැකි බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.
වල් ඌරන් හා ඉත්තෑවන්ගේ ද විලෝපිතයන් වඳවීයාම ඔවුන්ගේ ගහන ඝනත්වය වැඩිවීමට හේතු වී තිබේ. ඉත්තෑවාට ස්වභාවික විලෝපිතයන් අඩුය. වැඩිපුරම සිදුවූයේ ගම්වල දී ඉත්තෑවන් දඩයම් කර මස් සඳහා විකිණීමයි. දැන් ඉත්තෑවුන් නගර ආශ්‍රිතව පවා වාර්තාවන බව පරිසරවේදීන් පෙන්වාදෙයි. ඔවුන් ද ඉවතලන කැලි කසළවලට පුරුදුව සිටීම ඊට හේතුවක් වී ඇත. වනාන්තරයත් ගමත් අතර තිබූ ලඳු කැලෑ නොමැතිවීම හේතුවෙන් දඩු ලේනුන් සෘජුවම ගමට පැමිණේ. ගමේ දී ඔවුන්ට විවිද ආකාරයේ පලතුරු ආහාරයට ලැබෙන බැවින් පොල්ගස් වැනි උසැති ගස් මත කැදලි තනා සිය වර්ගයා බෝකරයි. මොවුන් පොල් ගොබළුවේ සිට සියල්ල කා දැමීම හේතුවෙන් දඬු ලේනුන් නිසා පොල් වගාවට සිදුවන හානිය සුළුපටු නැත.
පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මෙසේ පැවසීය.
” සතුන්ගේ ගහණය වැඩි වෙලා. මිනිසුන්ට මේ ලෝකේ සියලු දේ අයිතියි කියන මතයේ ඉදගෙන බැලුවාම බොහෝ දෙනෙක් ඔවුන් විනාශ කරන්න හිතනවා. මේ ආකාරයට වර්තමානයේ කරදරයක් වී ඇතැයි පවසන සතුන්ගෙන් රිලවා හැර අනෙක් සියලු සතුන් ආරක්ෂිතයි. රිලවා මැරුවට මස් කෑමට ගත නොහැකියි. ඒ නිසා දඩයක්කරුවන් රිලවා මරන්නේ නැහැ. නමුත් මොණරු අතීතයේ ඝාතනය කළා. වල් ඌරන් මැරුවා. මොණරාත් 1970 කාලයේ සිට ආරක්ෂිත සතෙක්. පසුගිය කාලයේ වල් ඌරන්ගේ මස් ප්‍රවාහනය සහ අළෙවිය සම්බන්ධ නීති සංශෝධනය කළා. නමුත් සතුන් ඝාතනය කරලා ඔවුන් විනාශ කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මානව කේන්ද්‍රීය බංකොලොත් ක්‍රම ඔස්සේ හිතන එක වැරදියි. මොණරා තෙත් කලාපයට පැමිණීම පරිසරයේ තුල්‍යතාවට විශාල හානියක්. ඔවුන් සියලු උභයජීවීන් කා දමනවා. විශාල පක්ෂියෙක් නිසා අනෙකුත් සියලු සතුන්ට තර්ජනයක්. ඒ වගේම එයා අවස්ථාවාදී විදියට කෑම මාරු කරනවා. මොණරා මේ විදියට මේ සියලු කලාපවලට එන්නේ අපේම වරදින්. වඳුරා සහ රිලවාත් තමන් මෙතෙක් නොසිටි පරිසර පද්ධතිවලට ඇතුළු වෙමින් ඉන්නේ නිවාසවලට දැඩිි පීඩාකාරී තත්ත්වයට පත්වෙන්නේ අපේ වරදින්. මේවාට මතුපිටින් විසඳුම් සෙවිය නොහැකියි. පළමුව ප්‍රශ්නය හඳුනාගත යුතුයි. අධ්‍යයනයන් කළ යුතුයි. ඉන් පසු පිළියම් යොදන්න අවශ්‍යයි. “
මහාචාර්ය කොටගම පෙන්වාදෙන්නේ මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන විසින් තක්සේරුවක් කළ යුතු බවයි.
” මෙවැනි අවස්ථාවක ජීවියාගෙන් සිදුවන හානිය පිළිබඳ අපි තක්සේරුවක් කළ යුතුයි. ඒ වගේම අපි බලන්න ඕනෑ මේ සතුන් වගාවට ආකර්ශනය වන්නේ ඇයි. අපි ඔවුන් වැඩි කැමැත්තක් දක්වන දේ ද වගා කරන්නේ කියා. මේ වගාවන් අපි මාරු කළ යුතුයි. මූලික වශයෙන් ජීවියා මිනිසාගේ ජීවිකාවට හෝ ජීවිතයට තර්ජනයක් වනවා ද කියා සොයා බැලිය යුතුයි. ඒ තර්ජනය තක්සේරු කිරීම අවශ්‍යයි. ඉන් පසු තමයි තීරණය කරන්න වෙන්නේ මේ ජීවියා පලිබෝධකයෙක් ලෙස නීතියෙන් නම් කරලා ඉවත් කරනවා ද නැතිනම් තවදුරට සහජීවනයෙන් ඉන්න උත්සාහ ගන්නවා ද කියන එක. “
නමුත් මෙවැනි අධ්‍යයනයක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුව නැත. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය විසින් ද සමීක්ෂණය සිදුකර තිබෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් පමණි. මේ සම්බන්ධ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදුකිරීමට සැළසුම් කර ඇතැයි එම ආයතනය පවසයි.
එහි දී වන සතුන්ගෙන් සිදුවන හානිය වළක්වාගැනීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමට ඔවුන් අපේක්ෂා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මෙසේ කීවේය.
”සත්ව ගහණය වර්ධනය වීම පාලනය කිරීමට ඔවුන් ඝාතනය කිරීම අනුමත කළ නොහැකියි. සත්ත්ව ඝාතනයෙන් පරිසරයේ තුල්‍යතාවයට හානියක් සිදුවෙනවා. එලෙස ඝාතනය කිරීම සොබා දහමේ රීතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. වගා හානි වැළැක්වීමට මොණරුන් ඝාතනය කළොත් මීයන් හා සර්පයන් විශාල ලෙස වර්ධනය විය හැකියි. ඒ විපාකය හානිකර ලෙස යළි මිනිසාටම එනවා. මෙයට කළ යුත්තේ දිගු කාලීන සැළසුම් සහගත ක්‍රියාවලියක් අනුගමනය කිරීම.”
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැළසුම්) චම්පිකා ඩී. ධර්මසේන මෙසේ කීවාය.
”සතුන්ගෙන් වගාවට සිදුවන හානියට විසඳුම් සොයාගැනීම සඳහා ආයතන 17ක් එකතුවී සැළැස්මක් සකස් කළා. එය මහජන මත විමසුම් සඳහා ද ඉදිරිපත් කළා. නමුත් මේ සැළැස්ම ක්‍රියාත්මක කිරීම පසුගිය මැතිවරණ හේතුවෙන් ප්‍රමාද වුණා. අයවැයක් පාර්ලිමේන්තුවේ සම්මත නොවූ නිසා ඒ සඳහා අවශ්‍ය වියදම් ලැබුණේ නැහැ. “
මහාචාර්ය සරත් කොටගම පවසන්නේ වගාවන්ට හානිකර තත්ත්වයට පත්වන යම් සතකු ඝාතනය කර හෝ එම පරිසර පද්ධතියෙන් ඉවත් කරන්නේ නම් ඊට පෙර නිවැරදි තක්සේරුවකින් පසු එම සත්ත්වයා විලෝපිතයකු නම් කළ යුතු බවයි. එලෙස විලෝපිතයකු බවට පත්වන සත්ත්ව විශේෂයක් පමණක් වගා භූමිවල දී ඝාතනය කර හෝ ඉවත්කළ හැකි වුවත් සතකු තම වගාවට හානි කළ පමණින් මරා දැමීම නීති විරෝධී බව ද හෙතෙම පවසයි.
මේ වනවිට සතුන්ගෙන් රට පුරා වගාවලට සිදුවන හානිය වර්ධනය වෙමින් පවතී. වගකිව යුත්තෝ මේ සඳහා කඩිනම් පියවර නොගතහොත් ජනතාව සතුනට එරෙහිව අවි අතට ගැනීම වළක්වනු නොහැකි වනු ඇත. අහිමි වන්නේ මිනිසුන්ගේ ජීවන වෘත්තියයි.