මියගිය තම ඥාතියාගේ මළ සිරුර ආදාහනය කිරීමට විරෝධය දැක්වූ පුද්ගලයන් විසින් ආදාහනය සඳහා අවශ්‍ය පෙට්ටි ලබා නොදීම හේතුවෙන් මළ සිරුරු 05ක් කොඹ පොලිස් මෘත ශරීරාගාරයේ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා හේතුවෙන් මිය යන අයගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ කොරෝනා ආසාදිත වූ අයකු මියගොස් පැය 24ක් යාමට පෙර සිරුර ආදාහනය කළ යුතු බවයි.
එසේ වුව ද කිසිදු ආදාහනාගාරයක් පෙට්ටියක නොදැමූ මළ සිරුරක් ආදාහනය සඳහා බාරගන්නේ නැත. සෞඛ්‍ය අමාත්‍යවරිය පසුගිය දා අමාත්‍යාංශයේ ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේ මියයන පුද්ගලයාගේ ඥාතීන් විසින් ආදාහනයට අවශ්‍ය පෙට්ටිය සඳහා යන වියදම දැරිය යුතු බවයි. තම ආගමික විශ්වාසය අනුව මළ සිරුරු ආදාහනයට විරුද්ධවන පිරිස් ඒ සඳහා පෙට්ටියක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ සිරුරු ඉවත්කළ නොහැකිව දින ගණනක් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ කරුණු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉහළ නිලධාරීන්ට වාර්තා කර ඇත. මෙම මළ සිරුරු අතර කොම්පඤ්ඤවීදියේ පදිංචි පුද්ගලයන් දෙදෙනකුගේ, මරදාන පදිංචිකරුවකුගේ, මාලිගාවත්තේ පදිංචි කරුවකුගේ හා කොටුවේ පදිංචිකරුවකුගේ මෘතදේහ තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පිරිස නිවසේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය අයයි. කොරෝනා ආසාදිතයැයි තහවුරු වී ඇති බැවින් මළ සිරුරු යළි රැගෙන යාමට දෙන්නේ නැත.