( වීඩියෝ සහිතයි)
ගාල්ල වරාය ඇතුළු ඉතාමත් වැදගත් ඉඩම් කිහිපයක් විවිධ සමාගම් හා පුද්ගලන්ට විකුණා දැමීමට රජයේ සූදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී නලින් හේවගේ අද (30) ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව හෙළි කළේය. එම සාකච්ඡාව සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී පී.කේ.ජයසුන්දර හා අක්මීමණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජී.ඩී.ඉලේසිංහ දෙදෙනා ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටා ඇති ගාල්ල වරායේ අක්කර 06ක භූමියක් මේ වනවිට විකුණා දැමීම සඳහා සියලු කටයුතු සූදාම්කර ඇතැයි ද නලින් හේවගේ පෙන්වාදුන්නේය. එහි දී ඔහු කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියෙන් තමන් ලබාගත් ලිපිගොනු අනුව මෙය අවුරුදු 30කට බදු දීමට මිල ගණන් පවා කැඳවා තිබෙන බවයි.
එමෙන් ම ගාල්ල පොලිසිය හා තැපැල් කාර්යාලය පිටපුස පිහිටි නගර මධ්‍යයේ ඇති ඉඩම අවුරුදු 99ක කාලයකට බදු දීමට කටයුතු සූදානම් කරලා තිබෙන බව ද දැනටමත් ඒ සඳහා ගැනුම් කරුවකු ඉදිරිපත්ව සිටින බවටත් තොරතුරු ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“මේ රජය බලයට පත්වුණේ පසුගිය රජය විකුණපු ඒවා නතර කරනවා කියලා. ඒවා නැවත පවරාගන්නවා කියලත් කිව්වා. නමුත් මේ අය බලයට ඇවිත් මාස තුනක් යනවිට කොළඹ හමුදා මූලස්ථානය පිහිටි තැන ඉතිරිව තිබූ අක්කර 03ක භූමියත් චීන සමාගමකට දුන්නා. පහුගිය රජය කළෙත් මේ දේවල්මයි. බද්දේගම පිලගොඩ වත්තේ අක්කර 760ක් විකුණා දැම්මා. ගිංතොට තුනී ලෑලි සංස්ථාව විකුණා දැම්මා. පළාත් සභාව තිබුණු හිල්ටොප් මන්දිරය විකුණා දැම්මා. අදටත් දන්නේ නැහැ ඒ ඉඩම විකුණා දැමුවේ කාටද කියලා. වලහන්දූව වත්තේ ඉඩම් විශාල ප්‍රමාණයක් විකුණා දැම්මා. 99 අවුරුදු බද්දට දෙනවා කිව්වාට අවුරුදු 99ක් ගියාට පස්සේ මේවා පවරාගන්න බැහැ. නැවත ලැබෙන්නේ නෑ”
ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ කොළඹ මැනිං වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම, බොරැල්ල වෙළෙඳ සංකීර්ණ භූමිය, මෙන්ම කැලෑ ඉඩම් ද විකුණා දැමීම රජයේ සැසුම වී ඇති බවයි. යුද හමුදා මූලස්ථානය වැනි වෙහෙරක් ගිල්ල අයට අග්ගලාව කජ්ජක් නොවන බව ද ඔවුහු කියති.