Update – 7.00 am (2020-11-30)
මහර බන්ධනාගාරයේ ඊයේ (29) ඇතිවූ ගැටුමෙන් රැඳවියෙන් මියගිය 06 දෙනකුගේ මළ සිරුරු මේ වනවිට රාගම රෝහලට ගෙනවිත් තිබේ. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසන්නේ තුවාල ලැබූ 43 දෙනකු ද රාගම රෝහලට ඇතුළත් කර සිටින බවයි.
ඊයේ (29) දහවල් ලැබුණු පීසීආර් වාර්තාවලින් රැඳවියන් කිහිප දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමඟ බන්ධනාගාර රැඳවියන් නොසන්සුන් වූ බවත් කිහිප දෙනකු පලා යාමට උත්සාහ ගෙන ඇති බවත් බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ එම කලබලය නැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සිය අවම බලය යොදා ඇති බවයි. නමුත් එම තත්ත්වය දිගින් දිගටම වර්ධය වීම හේතුවෙන් සිදුවූ ගැටුමේ දී එක් රැඳවියකු වෙඩි වැදීමෙන් ජීවතක්ෂයට පත්ව ඇත. බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් එහි සිටි නිලධාරීන් සිය ග්‍රහණයට නතුකර ගැනීමට උත්සාහ ගෙන තිබුණු බව ද තවත් පිරිසක් පලා යාමට උත්සාහ ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
කෙසේවෙතත් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගෙන තිබුණි.
බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණු අතර කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් ද පොලිස් කණ්ඩායම් 5 ක් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය.
එහෙත් බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් විසින් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලය, ලේඛනාගාරය සහ ආපනශාලාව ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ගිනිතබා තිබිණි.
ගින්න පැතිර යාම වැඩි වීමත් සමග ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමට ද පියවර ගත් බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම ගින්න අද (30) අලුයම 3.00 පසුවනතුරුත් විශාල වශයෙන් පැතිරෙමින් තිබිණි.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව විෂය භාර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.