ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් අතර එච්.අයි.වී. ආසාදනය වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටන සඳහන් කරයි.
පුත්තලම සායනයේ වැඩබලන ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය ඉරේෂ් ජයවීර සඳහන් කරන්නේ 2014 වර්ෂයේ සිට මේ තත්ත්වය දක්නට ලැබෙන බවයි. තරුණ දරුවන් සමාජ මාධ්‍ය භාවිතා කර නාදුනන පුද්ගලයන් සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි අනාවරණය වන බව ද හෙතෙම කීවේය.
ඔහු වැඩිදුරටත් කීවේ සෑම වර්ෂයකම එක් කාර්තුවකට මෙම වයස් කාණ්ඩයේ තරුණයන් අලුතෙන් 100ක පමණ පිරිසක් එච්.අයි.වී. ආසාදිත බවට හඳුනාගන්නා බවයි. සැබැවින්ම ආසාදනයට ගොදුරුවන සංඛ්‍යාව ඊට වඩා අධික වන බව ද ඒ මහතා පවසයි. මේ අතරින් වැඩිම පිරිසක් පිරිමි අයයි.
මෙවැනි අඩුවයසින් එච්.අයි.වී. වැනි ජීවිත කාලයම ප්‍රතිකාර ගැනීමට සිදුවන රෝගයකට තරුණ පිරිස් ගොදුරුවීම ඛේදවාචකයක් බව ද වෛද්‍යවරු පෙන්වා දෙති.
අතරමග අධ්‍යාපනය අඩාල කරගත් නිසි අධ්‍යාපනයක් නොලැබූ පිරිස් මෙන්ම උසස් අධ්‍යාපනයක් ලැබූ වැදගත් රැකියාවන්හි නිරතවූවන් ද සමාන ලෙස එච්අයිවී ආසාදනය වී තිබෙනු දැකිය හැකිවීම අවධානයට ලක්විය යුතු බව ද විශේෂඥ වෛද්‍ය ජයවීර පෙන්වාදෙයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වාර්තාවන එච්අයිවී ආසාදිතයන්ගෙන් 86% වැනි වැඩි ප්‍රතිශතයක් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා හේතුවෙන් ආසාදනයට ගොදුරුවන බවයි. ඒ අතරිනුත් වැඩිම පිරිසක් පිරිමි පිරිමි අතර පවතින සම ලිංගික සම්බන්ධතා හේතුවෙන් එච්අයිවී ආසාදනයට ලක්වන බව ද අනාවරණය වී තිබේ.