කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටිය දී මියගිය විශේෂඥ වෛද්‍ය තාරක කුසලධර්ම මහතාගේ මරණය සම්බන්ධයෙන් පිළිකා රෝග ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්‍රිසන්ත පෙරේරා සැක සහිත බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.
ඔවුන් මෙයට පසුබිම් කරගෙන ඇත්තේ 2015 ජනවාරි මස 09 වැනි දින හදිසියේම මියගිය අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය තාරක කුසලධර්ම මහතාගේ එකම සහෝදරයා බව කියන අසිත කුසලධර්ම නමැති අයකු විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමතමින් එවන ලද ලිපියක් සහ ඔහු විසින් ලබාදුන් වීඩියෝ පටයකි.
මෙය පදනම් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු විසින් 2020-11-13 වැනි දිනැතිව එවකට වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනුකර ඇත. එහි දැක්වෙන්නේ Forwarding a complaint received by GMOA යනුවෙනි. (ලිපිය පහතින් දක්වා ඇත)
අසිත කුසලධර්ම සඳහන් කරන්නේ තමන්ගේ සහෝදරයා කලින් විවාහ වී සිටියේ ක්‍රිසන්ත පෙරේරාගේ සහෝදරියක සමග බවයි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් ක්රිසාන්ත පෙරේරා සැක සහිත බවත් සඳහන් කරන අසිත වැඩිදුරටත් කියා සිටින්නේ තම සහෝදරයාගේ මරණයට නිවැරදි හේතුව සඟවා සිරුර එළියට ගෙන ආදාහනය කළ බවයි. ඒ සියල්ල වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාගේ සැළසුම බව ද ඔහු චෝදනා කරයි.
වෛද්‍යවරයකු පමණක් නොව ඔ්නෑම පුද්ගලයකු මියගිය විට මරණයක් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයක් තිබේ. වෛද්‍ය තාරක කුසලධර්ම මියගොස් සිටියේ රෝහලේ ඇති ව්‍යායාම කුටියක දී ය. එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කර මරණයට හේතුව තහවුරු කරගෙන ඇති අතර මරණ පරීක්ෂකවරයකු විසින් බිරිඳ සහ දරුවන්ගේ සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව මරණයට තීන්දුව ලෙස ලබා දී ඇත්තේ හදිසි හෘදයාබාදයක් හේතුවෙන් වෛද්‍යවරයා මියගොස් ඇති බවයි. මෙම මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති බවක් වෛද්‍ය තාරක කුසලධර්මගේ බිරිඳ (එවකට බිරිඳ වෛද්‍ය ක්රිසන්තගේ සොයුරිය නොවේ) හෝ දරුවන් පවසා නැත.
හෘදයාබාධයකින් මියගිය බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු කරගත් අයකුගේ සිරුරක් ආදාහනය කිරීමට මරණ පරීක්ෂකවරයා විසින් අවසර දීම පුදුමයට හෝ සැකයට කරුණක් නොවන බව මේ චෝදනා එල්ල කරන අසිත කුසලධර්ම නොදන්නවා විය යුතුය.
නමුත් ප්රශ්නය ඇත්තේ එතැන නොවේ. තාරක කුසලධර්ම වෛද්‍යවරයා මියගොස් වසර 06කට ආසන්න වෙද්දී හදිසියේම මේ කරුණ මතුවීම හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේම මේ ගැන පැමිණිලි කිරීමට සිත්වීමයි.
එයට ආසන්න හේතුවක් තිබේ. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා යනු මීට ඉහත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල තල පවා හෙබවූ ක්‍රියාකාරී සාමාජිකයෙකි. නමුත් ඔහු පවසන්නේ එම සංගමයේ පටු අරමුණු තම ප්‍රතිපත්තිවලට පටහැනි බැවින් ඉන් ඉල්ලා අස්වූ බවයි. එතැන් පටන් තමන් සමග එරෙහි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ට අසත්‍ය මඩ ප්‍රචාරයන් කරමින් රාජකාරියට පවා බාධා වන වෛද්‍ය ස්ථානමාරුවීම් පවා සිදුකළ බවයි.
දැනට දින කිහිපයකට පෙර කරාපිටිය රෝහලේ වෛද්‍යවරියකට වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා පහරදුන් බවට එල්ල කළ චෝදනාව ද එවැන්නක් බව බොහෝ දෙනකු පවසති.
ගාල්ලේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තම සංගමය ක්රිසාන්ත පෙරේරා මහතාගෙන් පිළිකා ඒකකය මුදවා තමන් සතුකරගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කීවේය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය අසංක ප්‍රගීත් ජයවික්‍රම මෙසේ කීවේය.
“කරාපිටිය පිළිකා ඒකකය මුදා නොගත් ඒකකයක් වගේ. එය පරිපාලනයෙන් මුදාගෙන නැහැ. සියල්ල සිදුකරන්න් වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට අවශ්‍ය විදියට. අණ දීලා දැන්වීම් ගහන්නෙත් එතුමා. එතුමාට අවශ්‍ය විදියට වෛද්‍යවරු මාරු කරනවා. එතුමාගේ අණසකට පිටින් වාහනයක්වත් නවත්වන්න බැහැ. පිළිකා ඒකකය මුදාගත් ප්‍රදේශයක් ලෙස අප නතුකරගත යුතුයි.”
ඔවුන් එදා මාධ්‍ය හමුව පැවැත්වූයේ පහරකෑමට ලක්වූ බව කියන වෛද්‍යවරිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ අරමුණෙනි. දැන් ඒ පිළිබඳ විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ පිළිබඳ වෙනත් ලිපියකින් කරුණු වාර්තා කිරීමට අපි කටයුතු කරන්නෙමු.
විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාගේ ක්‍රියාකලාපයට එරෙහිව දිගින් දිගටම චෝදනා එල්ල කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පොලිස්පතිවරයාට පැමිණිලි කරමින් විශේෂඥ වෛද්‍ය තාරක කුසලධර්ම මහතාගේ මරණයට විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා සැකරුවකු යැයි සඳහන් කරන්නේ මෙවන් පසුබිමක දී ය. ඔවුන් මෙලෙස විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට එරෙහිව මියගිය වෛද්‍යවරුන් පවා සම්බන්ධ කරගනිමින් චෝදනා නගන්නේ පිළිකා ඒකකය තමන් සතුකරගන්නා බව ප්‍රසිද්ධ මාද්‍ය සාකච්ඡාවක දී කියා තිබිය දී ය.
ක්‍රිසන්ත පෙරේරා වෛද්‍යවරයා රැකගැනීම සඳහා පෙරට පැමිණ සිටින ගාල්ල පුරවැසි ප්‍රජාව පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම ඒකාධිකාරිය ගොඩනැගීමේ දී ක්‍රිසන්ත පෙරේරා බාධාවක් බැවින් එම සංගමය ඔහුට විරුද්ධව මෙලෙස ක්‍රියාකරන බවයි.
චෝදනා එල්ල කරන අසිත කුසලධර්ම මරණ පරීක්ෂණ ක්‍රම වේදය ගැන නොදන්නේ වුව ද ඔහුගේ චෝදනාව පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මරණ පරීක්ෂණ ක්‍රමවේදය හොඳින්ම දන්නා අයයි.
අසිතගේ චෝදනා අතර ඇත්තේ වෛද්‍යවරු විසින් තම සහෝදර විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර වෙනත් හේතු දක්වමින් එළියට ගත් බවයි. එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුමත කරනවා විය යුතුය. එය අනුමත නොකරන්නේ නම් ඔවුන් ඒ චෝදනාව අඩංගු පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමු නොකරනු ඇත.
මෙයින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වක්‍රාකාරයෙන් පවසන්නේ හැමදාමත් ජනතාව නගන චෝදනා වූ වෛද්‍යවරුන්ට යමක් වැරදුණු විට මිනිසුන්ගේ මරණවලට හේතුව වසා දමනවා යැයි කියන කරුණ තම සංගමය ද පිළිගන්නා බව නොවේද ?
තම සහෝදර වෛද්‍යවරයකු මියගිය විට වසර 06 කට ආසන්න කාලයක් ඇස් කන් පියාගෙන සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසියේම විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාගෙන් පිළිකා ඒකකය තමන්ට නතුකරගැනීමේ අවශ්‍යතාව පරිදි (ඔවුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් කියන පරිදි) තාරක කුසලධර්ම විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය සැක බව දැන් පැමිණිලි කරයි. මේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් කරනු ලබන පටු ක්‍රියාවක් බව තාරක කුසලධර්ම විශේෂඥ වෛද්‍යවරයාගේ දරුවෝ කියති.
මේ සම්බන්ධයෙන් වැදගත්ම වන්නේ මියගිය විශේෂඥ වෛද්‍ය තාරක කුසලධර්මගේ දරුවන් දෙදෙනා පවසන කතාවයි.
දියණිය සම්මානි කුසලධර්ම මෙසේ පවසයි.
“මගේ බාප්පා මුදා හැරපු විඩියෝවෙන් ඔහු කියනවා තාත්තාගේ මරණය සැකයි කියලා. සැකයි කියලා නම් පවා කියනවා. අපිට අපේ තාත්තාගේ මරණය ගැන කිසිම සැකයක් නැහැ. මරණ පරික්ෂණයේ ප්‍රතිඵල ගැන අපි සෑහීමකට පත්වෙනවා. ක්‍රිසන්ත පෙරේරා මගේ නැසී ගිය මවගේ ලොකු මල්ලී. අපිට හැමදාමත් උදව් කළා. බප්පා කියන කතා අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා.”
තාරක කුසලධර්ම වෛද්‍යවරයාගේ පුත් ආචාර්ය සචිත කුසලධර්ම මෙසේ කීවේය.
“මගේ බාප්පා කියනවා මගේ මාමා ක්‍රිසන්ත පෙරේරා මගේ තාත්තාගේ මරණයට කිසියම් ආකාරයකින් සම්බන්ධයි කියලා. මෙය හිතලුවක් විතරයි. මේ චෝදනාවේ කිසිම සත්‍යයක් නැහැ. අපි එය තරයේ ම ප්‍රතික්ෂේප කරනවා”
ඔවුන් දෙදෙනාම පවසන්නේ ඇතැම් සංවිධාන තම බාප්පා යොදා ගනිමින් ඔහු ඉත්තකු කරගෙන විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට එරෙහිව කටයුතු කිරීමට ගන්නා උත්සාහය තමන් පිළිකුලෙන් යුතුව හෙළාදකින බවයි.
වෛද්‍යතුමාගේ ත්‍රීට්මන්ට් ගැන අපගේ කිසිදු විවාදයක් නැත. ඉතා වෙහෙස මහන්සියෙන් කටයුතු කරන අයෙකි. නමුත් වාහන නතර කිකිරීමේ ගැටලුව ඇතුළු චර්යාධර්ම වල නෙහික්මුනු ගති ඇති බව කණගාටුවෙන් සඳහන් කරමි.