පුද්ගලික ආයතනයකි විසින් ගොවිබිම් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ඉදිකරන ලද විදුලි වැටක වැදුණු වන අලියකු අද (26) බකමූණ ඇළහැර කරඳගොල්ල ගම්මානයේ දී මියගොස් සිටියේය.
වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම විදුලි වැට කිසිදු ප්‍රමිතියකින් තොර නීති විරෝධී ඉදිකිරීමක් බවයි. එම ප්‍රදේශයේ පදිංචි ජයරත්න (සුදු අයියා) නමැති ගොවි මහතකු තම බඩ ඉරිඟු වගාව ආරක්ෂා කිරීම සඳහා පුද්ගලික ආයතනයක උදව්වෙන් මේ විදුලිවැට ඉදිකරවාගෙන ඇත.
අලියා එහි වැදී මියගොස් සිටි ආකාරය දැක හෙතෙම හඬා වැටෙමින් කියා සිටියේ තමන්ට අලියා මරා දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොවූ බවයි. පුද්ගලික ආයතනයක නියෝජිතයන් නිවෙස්වලට පැමිණ අලි වැටක් තමන්ට ඉදිකර දිය හැකි බව පවසා ඒවා ඉදිකරන බවත් එක් අලි වැටක් සවිකිරීමේ ගාස්තු වශයෙන් රුපියල් 6,000ත් 10,000ත් අතර මුදලක් අය කරන බවත් ගොවියෝ කියති. මෙවැනි විදුලි වැට ගණනාවක් ප්‍රදේශයේ ගොවීන් විසින් තම ගොවිබිම් වටා සවිකරගෙන ඇති බව ද අනාවරණය විය. ගැමියන් පවසන්නේ අලියාට සුළු විදුලියක් වදින බවත් ඒ සමඟ අලියා පලා යන බවත් අදාල සමාගම මෙම විදුලි වැට ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ දී කියූ බවයි.
වන ජීවී නිලධාරීන් පවසන්නේ මෙම අලියාගේ හොඬ වැල සහ මුඛය විදුලි කම්බියේ පැටලී විදුලි සැර වැදීමෙන් එම ස්ථානයේ ම මියගොස් ඇති බවයි.
දිනපතා ම දිවා හා රාත්‍රී වෙනසක් නැතිව අලි ගම් වැදි බව භෝග විනාශ කරන බව ගැමියෝ කියති.
ඇලහැර නජීවි කාර්යාලයේ ප්‍රධානී වන සත්ව අඩවි ආරක්ෂක බී. එම්. බණ්ඩාරනායක පවසන්නේ ප්‍රදේශයේ අනවසර විදුලි වැටවල් ඉදිකිරීමේ පෞද්ගලික ආයතනයක් ක්‍රියාත්මක වන බවයි. එම විදුලි වැට කිසිදු ප්‍රමිතියකින් තොර බවත් එය ලියාපදිංචි වී නොමැති බවත් ඔහු පැවසීය. එම පෞද්ගලික ආයතනය පවත්වාගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
“මෙය තනිකරම මුදල් ලබා ගැනීමේ අරමුණින් කරන ජාවාරමක්. මේ නිසා අලි විතරක් නෙවෙයි ගොවියාත් අමාරුවේ වැටෙනවා. අලියා මේ විදුලිය වැදී මියගියානම් මෙහි මනුෂ්‍යයෙක් ස්පර්ශ වුණානම් ක්ෂණික මරණයක් සිදුවේවි. අපි දෙපාර්තමේන්තුව මට්ටමින් මේ සමාගමට විරුද්ධව නීතිය ක්‍රියාත්ක කරනවා.”
වනජීවී නිලධාරීන් පවසන්නේ ගුවන්විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කරන පුද්ගලයන් පිරිසක් විසින් මෙම විදුලිවැට ඉදිකරන බවයි.
මියගිය අලියා වයස අවුරුදු 40ක් පමණ වූ හොඳින් වැඩුණු නිරෝගී පිරිමි සත්ත්වයෙකි. එසේ වුව ද අලියාගේ සිරුරේ වෙඩි තැබීම් රැසක කැළැල් දක්නට ලැබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇළහැර වනජීවී කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(කාංචන කුමාර ආරියදාස)

