මව සහ පියා කොරෝනා ආසාදිත බව හඳුනාගත් අම්බලන්ගොඩ පාසල් සිසුන් දෙදෙනාගේ සහ ඔවුන්ගේ පවුලේ අනිකුත් සාමාජිකයන්ගේ පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් රෝගීන් නොවන බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව එම දරුවන් දෙදෙනා අධ්‍යාපනය සඳහා පැමිණි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා පී. ද එස්. කුලරත්න විද්‍යාලය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව විදුහල්පතිවරු කියති.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙසේ පවසයි.
2020/11/23 එනම් ඊයේ දිනයේ තෙවන පාසල් වාරය සදහා පාසල ආරම්භ කරන ලදී. එහිදී 11 ශ්‍රේණියේ දරුවන් 22 (විසි දෙදෙනෙකු) පමණක් පාසල් පැමිණ තිබුණි. සියලු දරුවන් හා ගුරුභවතුන්ට ඉතාම සෞඛ්‍යාරක්ෂිතව අධ්‍යයන කටයුතු සිදු කිරීමට උපදෙස් ලබා දුන් අතර එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක විය.
ඒ අතරතුර ප.ව. 1.15 ට පමණ එනම් පාසල අවසන් වීමට විනාඩි 15 ක් පමණ තිබියදී ගොඩහේන ප්‍රදේශයේ සිට ධර්මාශෝක විද්‍යාලයට පැමිණෙන 11 ශ්‍රේණියේ දරුවෙකුගේ පියා උණ හා කැස්ස රෝගී තත්වයක් සහිත කෝවිඩ් ආසදනය වී තිබේද යන්න පිළිබඳ සැක කොට PCR පරීක්ෂණයකට යොමු කළ බවට සෞඛ්‍ය අංශ මගින් දුරකථන ඇමතුමකින් දැනුම් දෙන ලදී.
ඒ අනුව අදාළ දරුවා පාසල් පැමිණ තිබෙන බව කඩිනමින් තහවුරු කර ගත් අප පළමුව එම දරුවා අන් දරුවන්ගෙන් වෙන් කොට රදවා ගන්නා ලදී
අනතුරුව එම දරුවාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී පෞද්ගලික වාහනයකින් පැමිණ දරුවා නිවසට රැගෙන යාමට කටයුතු කරන ලෙස දැනුවත් කළ අතර ඒ අනුව දරුවාගේ සහෝදරයකු පාසලට පැමිණ දරුවා රැගෙන ගියේය.
එසේම දිනය තුළ එම දරුවා සමග ගැටුන බවට අනුමාන කළ එම අංශයේ අනෙක් දරුවන් 21 දෙනා හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වූ ගුරුභවතුන් 05 දෙනාගේ පෞද්ගලික තොරතුරු ලිපින දුරකථන අංක සහිතව සටහන් කොට ගෙන නැවත පාසලෙන් දැනුම් දෙනතුරු නිවසින් බැහැරව නොයන ලෙස දැනුවත් කොට නිවෙස් වෙත පිටත් කර හරින ලදී.
අනතුරුව එම පන්ති පැවති පරිශ්‍ර හා දරුවා ගැවසුනු පරිශ්‍ර විෂබීජ හරණය කරන ලද අතර එම පරිශ්‍ර පසු දිනයේද අධ්‍යයන කටයුතු සදහා යොදා නොගන්නා ලෙස අංශ ප්‍රධාන ගුරුභවතුන් දැනුවත් කරන ලදී.
කෙසේ නමුත් අද දිනයේ ප.ව. 2.00 පමණ අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මා දුරකථනයෙන් අමතා සදහන් කලේ අදාළ දරුවාගේ පියා සහ මව යන දෙදෙනාම කොරෝනා රෝගීන් බව PCR පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බවයි. මේ අනුව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ පාසලට පැමිණ මේ පිළිබඳ විමසූ අතර අප පෙර දිනයේම ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ග ගෙන තිබිණි.
ඒ අනුව අදාළ දරුවා සමග සම්බන්ධ විනැයි අනුමාන කෙරෙන දරුවන් 21 දෙනා හා ගුරුභවතුන් 05 දෙනා ඔවුන්ගේ නිවැසියන් සමග නිවාස තුළම ස්වයං නිරෝධායනයට යොමු කරන ලදී.
ඔවුන්ට අවශ්‍ය වැඩිදුර උපදෙස් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එම ගුරුභවතුන්ගේ හා දරුවන්ගේ නිවසට ගොස් ලබාදීමට නියමිතය.
තවද කොරෝනා රෝගී බව තහවුරු වූ දෙමව්පියන්ගේ දරුවාට අදාළ PCR පරීක්ෂණය හෙට දිනයේ පලමු වරට සිදු කරන බව සෞඛ්‍ය අංශ මගින් අප දැනුවත් කරන ලදී.
ඒ පිලිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.
අද සවස් කාලයේ යළිත් වරක් පාසලේ සියලු පරිශ්‍ර විෂබීජහරණය කරන ලද අතර 11 ශ්‍රේණියට අදාළ පන්ති පැවති සියවස් ගොඩනැගිල්ල තුළ අධ්‍යයන කටයුතු තවත් දින කිහිපයක් යනතෙක් නොකිරීමට තීරණය විය.
එසේවුවත් හෙට දිනයට එනම් 2020/11/25 දිනට සැලසුම් කොට පෙර අප දැනුවත් කර ඇති පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවත් නිරෝධනයට ලක් කොට ඇති දරුවන් හා ගුරුභවතුන් හැර හෙට දිනයට නියමිත අනෙක් දරුවන් පාසල සුපුරුදු පරිදි පැවැත්වෙන බවත් කාරුණිකව දැනුම් දෙමි.
විශේෂයෙන් පාසලට පැමිණෙන විට හා පාසල තුළ කටයුතු කරන විට සියලු සෞඛ්යාරක්ෂිත උපදෙස් නිවැරදි පිළිපදින ලෙසත් තරයේ දැනුම් දෙමි.
එසේම ඔබගේ නිවැසියෙකු ස්වයං නිරෝධායනයට ලක් කොට හෝ යම් සැක සහිත ප්‍රදේශයක සංචරණය කොට ඇති විට සෞඛ්‍යාරක්ෂිතව නිසි කාලය අවසන් වන තෙක් නිවසේ සියල්ලන්ම නිවසට ම වී සිටින ලෙසත් යළිත් මෙවැනි අවධානම් සහගත තත්වයකට කිසිවකු පත් නොකරන ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
විදුහල්පති
ධර්මාශෝක විද්‍යාලය.