spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා ආසාදිතයන්ට සිදුවන දේ

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් අද (25) දහවල් වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 246 දෙනෙකි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ එම රෝගීන් වාර්තා වන්නේ ගාල්ලෙන් 164ක්, මාතරින් 53ක් හා හම්බන්තොටින් 29ක් වශයෙන් බවයි. එලෙස වාර්තා වූ රෝගීන් අතරින් මාතර දිස්ත්‍රික්කයේ 32ක් සුවය ලබා ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ 16 දෙනකු සුවය ලබා ඇත. නමුත් දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛනවලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසාදිතයකු සුවය ලබා නැත.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ අප කළ විමසීමක දී කියා සිටියේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙතින් ලැබෙන තොරතුරු අනුව මෙම දත්ත ලේඛන සකසන බවයි. මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවලින් සුවය ලැබූ රෝගීන්ගේ විස්තර ලැබී ඇතත් අද (25) දහවල් දක්වාම ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධයක්ෂ කාර්යාලය දුන් තොරතුරු ලේඛනයන් හි සුවය ලැබූ රෝගීන් පිළිබඳ සඳහනක් තිබී නැත.

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් පිළිබඳ විස්තර පිළිබඳ අවුල් සහගත තත්ත්වයක් ඇති බව මින් ඉහත දී අප අනාවරණය කළ අතර ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් අප පාඨකයන් වෙත ඉදිරිපත් කරමින් ඉන් මතුවට අප විසින් භාවිතා කරනු ලබන්නේ නිල ලේඛන ලෙස දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලබන තොරතුරු පමණක් බව පැහැදිලිව සටහන් කළෙමු. නමුත් දැන් ඇති ගැටලුවනම් එම මධ්‍යස්ථානයට ද නිසි තොරතුරු නෙලැබෙන තත්ත්වයක් දක්නට ලැබීමයි.

මෙහි ගැටලු සහගත තත්ත්වය ඇත්තේ කවර ස්ථානයක ද යන්න සොයා බැලීමට අපි දින කිහිපයක් ම උත්සාහ ගත්තෙමු. අප විසින් කරන ලද සොයාබැලීම් අනුව අනාවරණය වූ කරුණු කිහිපයක් මෙහි සටහන් කර තැබිය යුතුය. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට ද අද (25) දහවල් දක්වාම සුවය ලැබූ කිසිදු කොරෝනා රෝගියකු පිළිබඳ තොරතුරු ලැබී තිබුණේ නැත. එම තොරතුරු ලබාදිය යුතු බලධාරියා ලෙස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරන්නේ වසංගත රෝග විද්‍යා අංශයයි.

එම අංශයත් ගාල්ල දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාලයත් එකම ගෙඩනැගිල්ලක පිහිටා ඇත. ගාල්ල වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා වන්නේ වසංගත වේදඥ (වසංගත රෝග විද්‍යාඥ යනුවෙන් තනතුරක් නොමැත) වෙනුර කේ. සිංගාරච්චි නම් වෛද්‍යවරයාය.

අපි පසුගිය ඔක්තෝබර් 08 වැනි දා ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි හමුවීමු. එහි දී ඔහු තම කාර්යාලයේ සිටිමින් අප ඇසූ ප්‍රශ්නවලට නොපැකිළව පිළිතුරු දුන්න ද ඔහු සතුව නිශ්චිත සංඛ්‍යාලේඛන තිබුණේ නැත. ඇතැම් තොරතුරු ඒ මොහොතේ සොයා දෙන ලදී. ඒ පිළිබඳ අප ඔහුට ස්තූති කළ යුතුය.

එදින ඔහු අපට කියා සිටියේ ඉඳුරුව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇති බවයි. නමුත් අපට ලැබී ඇති තොරතුරු අනුව එවැනි රෝගියකු නොමැති බව පුන පුනා කීව ද ඔහු තරයේ කියා සිටියේ ඉඳුරුව ප්‍රදේශයේ රෝගියකු සිටින බවයි. අප වෛද්‍ය සිංංගාරච්චි දුන් තොරතුරු පාදක කරගනිමින් ඒ බව මාධ්‍ය මගින් ප්‍රචාරය කළ විට සියළු සෞඛ්‍ය අංශ එම තොරතුර අසත්‍යයක් බව අපට සනාථ කළේය. මේ අනුව ගාල්ල වසංගත රෝග විද්‍යා ඒකකයේ තොරතුරු පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති බව පසක්විය.

ඉන් පසු සිදුවූ බරපතල ම සිද්ධිය වූයේ බන්ධනාගාරයේ දී පීසීආර් පරීක්ෂණ සිදුකර සිටිය දී ඇප ලැබූ රැඳවියකු නිවසේ දී නිරෝධායනය විය යුතු වුව ද ඔහු අධිකරණයට පැමිණ තිබීම හේතුවෙන් අධිකරණ කටයුතු දින කිහිපයක් නවතා දැමීමට සිදුවීමයි.

පසුගිය නොවැම්බර් 11 වැනි දා එම පුද්ගලයා ඇප මත මුදාහැරීමට පෙර බන්ධනාගාරයේ දී ඔහුගේ පීසීආර් පරීක්ෂණය සිදුකර තිබිණි. පීසීආර් පරීක්ෂණයක් සිදුකර සිටිය දී ඇප ලැබීමෙන් ඔහුට නිවසට යාමට හිමිකමක් තිබුණ ද ඔහු නිවසේ ස්වයං නිරෝධායනය විය යුතුය. නමුත් එවැනි දෙයක් සිදුව නැත. නිවසට ගිය ඔහු ඊට පසු දින එනම් 12 වැනි දා මහාධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ගාල්ල අධිකරණ සංකීර්ණයට පැමිණ ඇත.

පළමු වරද සිදුවූයේ ඔහු නිවසේ දී නිරෝධායනයට යොමු නොකිරීම හේතුවෙන් එම තැනැත්තා 12 වැනි දා අධිකරණයට පැමිණ තිබීමයි. ඉන් පසු නොවැම්බර් 14 වැනි දා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට තොරතුරු ලබාදෙන ගාල්ල දිස්ත්‍රික් වසංගත වේදඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි බූස්ස  බන්ධනාගාරයෙන් ආසාදිතයන් 44ක් වාර්තා වී ඇති බවත් එම පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන් කර තිබිණි. ඔහු එසේ මාධ්‍යයට කීව ද 16 වැනි සඳුදා ගාල්ල අධිකරණයේ කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්විණි. ආසාදිතයකු උසාවියට 12 වැනි දා පැමිණ ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා ඒකකයේ දැනුම් දීම අනුව ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් අධිකරණයට ඒ බව දැනුම් දෙන්නේ 17 වැනි දිනයේ දී ය.

ඒ වවිට අදාල ආසාදිත පුද්ගලයා අධිකරණයට පැමිණ ගොස් දින 05ක් හා ඔහු රෝහල් ගත කර දින 03ක් ගත වී තිබිණි. සෙනසුරාදා සහ ඉරිදා දිනවල අදාල ආසාදිතයාගේ ආශ්‍රිතයන් සොයා අවශ්‍ය කටයුතු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලැබී නොතිබුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ වෘතීය සමිති පවසයි. මේ නිසි තොරතුරු වසංග රෝග විද්‍යා අංශය මගින් ලබා දුන්නේ නම් අධිකරණය 17 වැනි දින සිට දින තුනක කාලයකට වසා දමා දැන්වීම් පුවරුවල නඩු සඳහා ලබාදෙන ඉදිරි දින ප්‍රදර්ශනය කරන්නට සිදුවන්නේ නැත.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ගාල්ල වසංගත වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි ඇමතූ විට ඔහු මෙසේ කීවේය.

“අපි ඔයාලට කිසිම තොරතුරක් දෙන්නේ නැහැ. ඩොක්ටර්ස්ලා වෙන අපි දෙන තොරතුරු අපිට අවශ්‍ය  විදියට ලියන්නේ නැතිනම් කිසිම දෙයක් මගෙන් අහන්න එපා. මට බොහොම කණගාටුයි” තමන් වසංගත රෝග විද්‍යාඥයැයි පවසන ඔහුට අවශ්‍ය දේ පමණක් අප ලිවිය යුතුයැයි වසංගත වේදඥවරයාගේ අදහසනම් අපි තවදුරටත් ඒ පිළිබඳ ඔහුගෙන් විමසීම පළක් නොමැති බව දනිමු.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා අංශය මගින් ගාල්ලේ සුව වූ රෝගීන් පිළිබඳ කිසිදු තොරතුරක් දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වෙත ලබා දී නොමැති වුව ද අපි අපගේ සම්බන්ධතා භාවිතා කරමින් ඒ ගැන තොරතුරු විමසා බැලුවෙමු. ගාල්ල මහ නගර සභාවේ ආසාදිත යැයි වාර්තා වූ සියලු ම දෙනා මේ වනවිට සුවය ලබා නිවෙස්වලට පැමිණ සිටිති. බෝපේ පොද්ද්ල, අහුංගල්ල, අම්බලන්ගොඩ, කරන්දෙණිය, හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ද ආසාදිතයන්ගෙන් බහුතරයක් යළි නිවෙස් වෙත පැමිණ නිවසේ නිරෝධායනය වන දින 14 ගත කරමින් සිටින අතර ඇතැම් පුද්ලයෝ එම දින 14 ද අවසන් කර සිටිති

නමුත් ගාල්ල වසංගත රෝග විද්‍යා ඒකකය නිසි තොරතුරු රාජ්‍ය ආයතන වෙත පවා ලබා නොදීමෙන් ගාල්ලේ පදිංචි ආසාදිත වූ පුද්ගලයන් සුව වී ඇති බවට තොරතුරු ජනතාව අතරට යන්නේ නැත. ජනතාව ලැබෙන්නේ වැරදි මතයකි. එය ආසාදිත වූවන්ට හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ සියලු දෙනාට සිදුවන බරපතල හානියකි. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!