මහනුවර දිස්ත්‍රික්කයේ එකම ප්‍රදේශයක භූ කම්පන සිදුවීම සම්බන්ධයෙන් දිගුකාලීන අධ්‍යයනයක් වහාම සිදුකළ යුතු යැයි භූ තලන පිළිබඳ වාර්තාවක් සැකසීමට පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශය වී තිබේ.
පසුගිය දා මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ භූ චලන හේතුවෙන් මෙම විද්වත් කමිටුව පත්කරන ලදී.
ඔවුන්ගේ වාර්තාව ඊයේ (24) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාර දී තිබිණි.
ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥයන්ගෙන් සැදුම් ලත් එම කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් අඛණ්ඩව දිගුකාලීන අධීක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. සවිස්තරාත්මක භූ විද්‍යාත්ම, ව්‍යුහාත්මක සිතියමක් සම්පාදනය කිරීම සඳහා භූ විද්‍යාඥයන් කණ්ඩායමක් යෙදවීමට ද මෙහි දී යෝජනා වී තිබේ. භූමියේ ඇති පැළුම් සමීක්ෂණයේ දී කරන ලද නිරීක්ෂණ අවශ්‍ය භූ විද්‍යාත්මක ඇගයීම් සඳහා තවදුරටත් පරීක්ෂා කළ යුතු බව ද එහි සඳහන් කර ඇත.
පසුගිය දිනවල සිදුවූ භූ කම්පන හේතුවෙන් වික්ටෝරියා වේල්ලට යම් බලපෑමක් එල්ලවී ඇතැයි මතයක් සමාජගත වුව ද එවැනි හානියක් සිදුව නොමැති යැයි වාර්තාවේ සඳහන් වේ. එසේ වුව ද වික්ටෝරියා ජලාශයට මෙන්ම සියලුම ජලාශ ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. මේ අතර වික්ටෝරියා වේල්ලේ භූ කම්පන උපකරණයක් සවිකිරීමට ද නිර්දේශ ඉදිරිපත් වී තිබේ.
ප්‍රදේශයේ හුණුගල් බහුලව තිබුණ ද හුණුගල් කැඩීම මේ භූ කම්පනයට හේතුවක් බව පැවසිය නොහැකියැයි ද විද්වත් කමිටුව විසින් දැනුම් දී තිබේ.