කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය.
කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය.
“පසුගිය කෝපා කමිටුවේ දී අනාවරණය වුණා කොළඹ මහ නගර සභාවේ කොට්ඨාස 47න් රුපියල් මිලියන 4,000කට වැඩි හෙවත් බිලියන 04ක මුදලක් හිඟ වරිපනම් එකතු කිරීමට තිබෙන බව. මේවා විධිමත්ව එකතු කරන්න කියා අපි දැනුම් දුන්නා. ඒ විදියට පසුගිය පෙබරවාරි මාසයේ දී අපි ලබාදුන් නිර්දේශ තියෙනවා. කොටුව කොට්ඨාසයෙන් පමණක් මිලියන 610ක හිඟ වරිපනම් බදු එකතු කිරීමක් තිබුණා. ඒ වරිපනම් බදු එකතු කිරීමේ ප්‍රවණතාව වැඩි කරන්න මහ නගර සභාව එකඟ වුණා. නමුත් ජුනි මාසය වනවිට එකතු කර තිබෙන්නේ මිලියන 53ක් පමණයි. මේ වරිපනම් මුදල් කොපමණ පරණ ඒවා ද ? ළඟදී තියෙන ඒවා මොනවා ද එයින් ගන්න පුළුවන් ප්‍රමාණය කොපමණ ද ? ගන්න බැරි මුදලක් තිබෙනවානම් ඒ කොතරම් ද ? කියා තමයි අපි අහන්නේ”
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික භාණ්ඩාගාරික නන්දන රාජපක්ෂ ඊට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.
“කොටුවේ හිඟ වරිපනම් අපිට මිලියන 610ක් තිබුණා. මේ හිඟය අය කරගන්න තිබෙන්නේ අපේ නගර සභා පනත යටතේ. බදු ගෙවන්නන්ගේ දේපොළ තහනම් කිරීමට තිබෙන ක්‍රමවේදය බලාත්මක කිරිමෙන් තමයි. කොටුවේ තිබුණ හිඟ දේපොළ 3747ක්. ඒ 3747න් ඩිමාන්ඩ් නොටිස් එක යවනකොට දේපොළ නැහැ කියලා හඳුනා ගත්තා දේපොළ 94ක් තිබුණා. ඊට පස්සේ දේපොළ 2914කට අපි සීස් නෝටිස් යැව්වා. ලක්ෂයට වැඩි දේපොළ 840 තිබුණා පිටිකොටුවේ. ඊළඟට ලක්ෂයට අඩු දේපොළ තියෙනවා 2907ක්. ඒකෙදි මිලියන 39ක් අයකරලා තියෙනවා. ඒකේ මුළු වටිනාකම කොටුවේ මිලියන 148 එකතුකරලා තියෙනවා.”
ඉන් අනතුරුව අදහස් දැක්වූ කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පැවසුවේ කොළඹ නගර සභාවේ සිදුවන කටයුතු කඩිනමින් නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවයි.



