පිටරටින් ලොකු ළූනු ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳ පොළේ ළූනු කිලෝවක් සඳහා පවතින ඉල්ලුම පහත වැටී ඇති බැවින් තම අස්වැන්න විකුණාගත නොහැකිව ළූනු අස්වැන්න විනාශ කිරීමට සිදුව ඇතැයි ගොවීහු මැසිවිලි නගති.
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ගොවීන් යල කන්නයේ අක්කර දහස් ගණනක ලොකු ළූනු වගාකර තිබිණි. මෙම අස්වැන්න මේ වනවිට නෙලාගෙන ඇති නමුත් වෙළෙඳ පොළේ ලොකු ළූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 80-100ත් අතර මුදලක් දක්වා පහත වැටී ඇති බැවින් ඔවුන් අපෙක්ෂා කළ ලාභය ලබාගැනීමට නොහැකි වී ඇත.
මේ හේතුවේන් නිවෙස්වල ගබඩාකර ඇති ලොකු ළූනු අස්වැන්න අතරින් නරක්වන ළූනු දිනපතා ඉවත්කිරීමට සිදුවන බව ගොවීහු පවසති.
ළූනු බීජ කිලෝග්‍රෑමයකින් ළූනු අස්වැන්න ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 3000ක් පමණ ලබාගත හැකි බවත් ඔවුහු කීහ. කෙසේ වෙතත් මේ වනවිට එක් ගොවියකු ලොකු ළූනු කිලෝ 500ක් බැගින්වත් අවම වශයෙන් අවම වශයෙන් ඉවත දමා ඇති බව ඔවුහු කියති.
ගොවීන් පවසන්නේ සිය වතුපිටි සහ කණකර උගස් තබා කරන ලද වගාවන්ගේ අස්වැන්න විකුණාගත නොහැකිව අසරණ වී සිටින බවයි.



