හින්දු දෙවියෙකු පිළිබඳව විනිසුරුවරයා කළ ප්‍රකාශයකින් කෝපයට පත් ඉන්දීය නීතිඥයෙකු එරට අගවිනිසුරුට සපත්තුවකින් දමා ගැසීය.
සඳුදා දිල්ලියේ අධිකරණ කටයුතු අතරතුර නීතීඥ රාකේෂ් කිෂෝර් මෙලෙස සපත්තු ප්‍රහාරයක් එල්ල කළේ එරට අගවිනිසුරු බී.ආර්. ගවයි වෙතයි.
විනිසුරුවරයා වෙත සපත්තුවකින් ප්‍රහාරයක් එල්ල වූ බව අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන් තිදෙනෙකු තහවුරු කළේය.
ආරක්ෂක නිලධාරීන් විසින් උසාවියෙන් ඉවතට ගෙන යන අතරතුර, කිෂෝර් මහතා “ඉන්දියාව හින්දු ආගමට අපහාස කිරීම ඉවසන්නේ නැත” යනුවෙන් පවසනු ඇසුණි. පසුව ඔහුගේ වෘත්තීය කටයුතු අත්හිටුවන ලදී.
සිද්ධිය සිදුවන අවස්ථාවේ අධිකරණ ශාලාවේ සිටි නීතිඥ රවී ශංකර් ජා පැවසුවේ කිෂෝර් මහතා “තම සපත්තුව විසි කළ බවත්, සපත්තුව විසි කළ බව ඇඟවීමට අත එසවූ බවත්” ය.
“අධිකරණ කාමරයේ ආරක්ෂකයින් විසින් ඔහුව අත්අඩංගුවට ගත් පසු, අගවිනිසුරුවරයා නීතිඥයින්ට පැවසුවේ ඔවුන්ගේ තර්ක දිගටම කරගෙන යන ලෙසත් අවධානය වෙනතකට යොමු නොකරන ලෙසත්” යැයි ජා මහතා තවදුරටත් පැවසීය.
අගවිනිසුරු ගවයි සෑම විටම සන්සුන්ව සිටි බව අධිකරණ ශාලාවේ සිටි තවත් නීතිඥයෙකු වන අනාස් තන්වීර් පැවසීය.
මෙම කාරණය සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත. පසුව ඉන්දීය බලධාරීන් පැවසුවේ කිෂෝර් මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු නොකරන බවයි.
ඉන්දීය ප්‍රවෘත්ති ආයතනයක් වන ‘ද ප්‍රින්ට්’ වෙත අදහස් දක්වමින් කිෂෝර් මහතා පැවසුවේ, මෙම සිදුවීම අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රතික්ෂේප කරන ලද මෑත කාලීන අධිකරණ පෙත්සමක් හා සම්බන්ධ බවත්, එහිදී ඔහු හින්දු දෙවියෙකු වන විෂ්ණු පිළිබඳව ද ප්‍රකාශ කළ බවත්ය.
පසුගිය මාසයේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කෝවිලක අඩි හතක විෂ්ණු දෙවියන්ගේ පිළිමයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරුවරයා මෙසේ පැවසීය: “මෙය තනිකරම ප්‍රචාරක උනන්දුවක් දක්වන නඩුවක්… ගොස් දෙවියන්ගෙන්ම යමක් කරන්නැයි ඉල්ලා සිටින්න.”
මෙම අදහස් මතභේදයට තුඩු දුන් අතර සමහරු ඔහු හින්දු විශ්වාසයන්ට සමච්චල් කරන බවට චෝදනා කළහ. විනිසුරු ගවයි පසුව විවේචන සැලකිල්ලට ගනිමින් කියා සිටියේ තමා “සියලු ආගම්වලට” ගරු කරන බවයි.
“ඔහු යාඥාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව, විෂ්ණු දෙවියන්ට විහිළු කළා,” කිෂෝර් මහතා ද ප්‍රින්ට් වෙත පැවසීය.
සපත්තුව විසි කිරීමෙන් පැය කිහිපයකට පසු කතා කරමින් කිෂෝර් මහතා පැවසුවේ විනිසුරු ගවයි එම ප්‍රකාශය කළ “සැප්තැම්බර් 16 වන දින සිට තමාට නිදා ගැනීමට නොහැකි වූ” බවයි.
දේශපාලන ක්ෂේත්‍රය පුරා විවේචන රැසකට එක්වෙමින් අගමැති නරේන්ද්‍ර මෝදි, සපත්තු ප්‍රහාරය “අතිශයින්ම හෙළා දැකිය යුතු” බව ප්‍රකාශ කළේය.
මෝදි විනිසුරු ගවයි සමඟ කතා කළ අතර ප්‍රහාරය සෑම ඉන්දියානුවෙකුම කෝපයට පත් කළ බව පීටීඅයි වාර්තා කරයි. “අපේ සමාජයේ එවැනි නින්දිත ක්‍රියාවන්ට තැනක් නැහැ,” අගමැති පැවසීය.
ප්‍රසිද්ධියේ කෙනෙකුට සපත්තුවක් විසි කිරීම ඉන්දියාව සහ තවත් බොහෝ රටවල අගෞරවයක් සහ නින්දාවක් ලෙස සැලකේ.
මේ වසර මුලදී,කෙන්යානු ජනපති විලියම් රූටෝට රැළියක් අතරතුර සපත්තු ප්‍රහාරයක් එල්ල විය.
2008 දී, ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින් ඉරාක මාධ්‍යවේදියෙකු එවකට ඇමරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ ජෝර්ජ් බුෂ් වෙත සපත්තුවකින් දමා ගැසීය.



