-4.3 C
New York

පාසල් සිසුන් අතරත් HIV, වැඩිම කොළඹ සහ ගම්පහ

Published:

පාසල් සිසුන් ඇතුළු වයස අවුරුදු 15-20ත් අතර තරුණ තරුණියන් අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම වයස් කාණ්ඩයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙනි.

මිනිස් ශරීරයේ ඇති ප්‍රතිශක්තීකරණ පද්ධතියට සෘජුවම හානිකර ශරීරය දුර්වල කිරීම HIV වයිරසය මගින් සිදුකරන අතර කැස්සක්, සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි කුඩා රෝගයක් වැළඳීමෙන් පවා මරණය සිදුවීමට හැකියාව ඇති බැවින් HIV යනු ලෝකයේ ලිංගාශ්‍රිත වයිරස අතරින් දරුණුතම වයිරසයක් ලෙස සැළකේ.

HIV ආසාදිතයින් නිර්මාණය විය හැකි ප්‍රධාන ආකාර තුනක් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

1. HIV රෝගියෙක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම

  • HIV රෝගියෙක් සිප වැළඳගැනීමෙන් මෙම රෝගය බෝවන්නේ නැත. රෝගය බෝවන්නේ ලිංගික ශ්‍රාවයන් හරහා පමණි. ගුද මාර්ගික සංසර්ගය HIV ඇතිවීමට ප්‍රධානම හේතුවකි. මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ශරීරගත විය හැකි HIV වයිරසය මුළු ශරීරය පුරා පැතිරීමට ගතවෙන්නේ පැය 72ක පමණ කෙටි කාලයක්.

2. අවිධිමත් ලෙස එන්නත් කටු භාවිතය 

  • විවිධ මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමට විවිධ අය අතර එකම එන්නත් කටු භාවිත කිරීම මේ වයිරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ආසාදනය වීමට හේතුවක් වෙයි.

3. ආසාදිත ගර්භණී මවගෙන් දරුවාට HIV ආසාදනය වීමයි

  • HIV ආසාදිත සහ ඒ සඳහා ඖෂධ ලබානොගන්නා මවකගේ මව්කිරි හරහා දරුවාට රෝගය බෝවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව අනාවරණ වන්නේ රුධිරය සහ ලිංගික ශ්‍රාව හරහා පැහැදිලිවම HIV රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවය.

ආසාදිතයන්ගේ වාර්තාවීම සැලකිල්ලට ගැනීමේදී 2021 වර්ෂයේදී මෙරටින් ආසාදිතයන් 411ක්, 2022 දී 607ක්, 2023 දී 697ක්, 2024 දී 824ක් සොයාගෙන තිබේ.

ඒ අතුරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ පුරුෂයන්ගෙනි. එය අනුපාතයක් ලෙස ගතහොත් 7:1කි.

ඒ අනුව ගතවූ ජනවාරි සිට මාර්තු දක්වා හඳුනාගත් නව ආසාදිතයන් ද ඇතුළුව මේ වනවිට මෙරට තුළ HIV ආසාදිතයන් 6,740ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

2024 වසරේදී නව HIV ආසාදිතයන් 824ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවට අනාවරණ වී තිබේ.

ඉන් 47 දෙනෙකුට දිවි අහිමි වී ඇත්තේ එය, AIDS තත්ත්වය දක්වා වර්ධනය වීමෙනි.

ශ්‍රී ලංකාව, HIV ව්‍යාප්තිය අඩු මට්ටමක පවතින රටක් ලෙස සැලකුණත්, පසුගිය වසරේදී නව ආසාදිතයන් වාර්තා වීමේ සැලකිය යුතු වැඩිවීමක් තිබීමම අනතුරුදායක බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අවුරුදු 15-29 යන වයස්වල පසුවන තරුණ පිරිස අතර HIV ආසාදන වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතැයි හඳුනාගැනීමත් අවධානයට ලක් කළ යුතු කරුණකි.

එසේනම් ඔබ HIV ආසාදිතයෙක් ද යන්න නිවැරදිව හඳුනාගන්නේ කෙසේද?

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් මේ සඳහා නොමිලේ සහ පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා සපයන අතර ශ්‍රී ලංකාව පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන 41 කදී HIV ආසාදිතයන්ට නොමිලේ ප්‍රතිවෛරස් ප්‍රතිකාර ලබාදෙයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ක්ෂණික දුරකථන අංකයට (070 3733933) අමතා රහසිගත සේවාවක් ලබා ගැනීම ද තවත් ක්‍රමයකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක KNOW FOR SURE යෙදුම හරහා මේ පිළිබඳ සියලු තොරතුරු මනාව දැනගත හැකිය.

එසේම HIV TEST KIT භාවිතයෙන් ස්වයං මුඛ තරල පරික්ෂාවක් හරහා HIV ආසාදිතයෙක් ද නැද්ද යන්න හඳුනාගත හැකිය.

බොහෝ පාර්ශ්වයන්හි අදහස නම් පාසල් දරුවන් පවා මේ තත්ත්වයට ගොදුරුවෙමින් පවතින බැවින් පාසල් අධ්‍යාපනයේ සිට මේ පිළිබඳ දැනුම සමාජගත කළ යුතු බවයි.

Related articles

Recent articles

spot_img