ගම්පොළ, දොළුව ප්‍රදේශයේ දී අද (06) සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනකු මියගොස් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ සිල් සමාදන්ව සිටි කාන්තාවන් සිව්දෙනකු මෙලෙස අනතුරට ලක්ව ඇත. ඔවුන් දහවල් ආහාර ගෙන සනීපාරක්ෂක කටයුතු සඳහා විහාරස්ථානයෙන් පිටත ඇති වැසිකිළි වෙත යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඔවුන් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටිය දී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් සිව්දෙනාගේ ගැටී අසළ තිබූ ලොරියක ද ගැටී තාප්පයක වැදී නතර වූ බවයි. එම කාරය පදවාගෙන පැමිණ ඇත්තේ පුහුණු රියදුරු බලපත්‍රයක් ඇති තැනැත්තියකි. ඇයගේ සැමියා සහ දරුවන් ද රථයේ සිට ඇත.
අනතුරට පත් වූ කාන්තාවන් සිව්දෙනා කාරයට සහ ලොරියට මැදි වී බරපතල තුවාල ලබා තිබිණි. පොලිසිය පවසන්නේ තිදෙනකු එම ස්ථානයේ ම මියගොස් සිටි බවයි. අනෙක් කාන්තාව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ, දොළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ, 67 හැවිරිදි මාලිනි විජේසූරිය සහ ගම්පොළ ගුරුකැලේ පදිංචිව සිටි පල්ලේගෙදර අනුලාවතී යන කාන්තාවන් තිදෙනෙකි.
රිය පදවාගෙන ආ කාන්තාව රෝහල්ගත කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙයි.



