දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36ක මුදලකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයේන අපරාධ වරදක් සිදුව ඇති බවට තීරණය කර මුල් පැමිණිලිකරු විසින් නම්කර ඇති පුද්ගලයන් සැකකරුවන් ලෙස නම්කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කරන ලද ඉල්ලීමක් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසාන් අමරසේන අද (25) ප්‍රතික්ෂේප කළේය.
මෙම ඉඩම නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු වූවක් බව ද පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම ඉල්ලීම කරන ලද්දේ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසිනිි. එම සිද්ධිය සම්බන්ධයෙන් 2025 පෙබරවාරි 19 වැනි දින නඩුවේ විමර්ශන ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති බවත්, කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් දැනට සිදුකර ඇති විමර්ශනයන්ට අනුව අපරාධ වරදක් සිදුව ඇති බවට කරුණු අනාවරණය නොවීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා කීවේය.
ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරිය විසින් කරන ලද නියෝගයකට අනුව මීට පෙර අවස්ථාවක දී එනම් අගෝස්තු 14 වැනි දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙළ නගරාධිපති රන්ජන් ජයලාල් දෙදෙනා ද අගෝස්තු මස 21 වැනි දින ආමත්‍ය වසන්ත සමරසිංහ ද කොළඹ වංචා වාමර්ශන කාර්යාංශයට ගොස් ප්‍රකාශ ලබා දී තිබිණි.
කෙසේ වෙතත් එම ප්‍රකාශ සටහන් කර විමර්ශන අවසන් කිරීමට පෙර පෙබරවාරි මාසයේ දී ම කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම නඩුව සම්බන්ධ විමර්ශන ගොනුව නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමුකර තිබීම ද විශේෂත්වයකි.
විමර්ශනයට අදාළව සියලුම ප්‍රකාශ සටහන් කර අවසන් බවත්, 2020 වර්ෂයේ නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පසුගිය අගෝස්තු 22 වන දින පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පැවසීය.
අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබිණි. එසේ වුව ද පොලිසිය එම නියෝග අනුව කටයුතු කර තිබුණේ නැත. එසේ අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර නීතිපති උපදෙස් අවශ්‍ය බව පොලිසිය පවසන බවත් නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යානුකූළ නිලධාරීන් සිටිය දී මෙම මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න පසුගිය අගෝස්තු 22 පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පවසා සිටියේ ය.
නැවත මෙම නඩුව ලබන 2026 වර්ෂයේ පෙබරවාරි මස 27 වන දින කැඳවීමට නියමිතය.



