-5.2 C
New York

අල්ලස් කොමිසමේ රංග දිසානායක, වරදක් කර නෑ

Published:

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ දරුවා කොළඹ ප්‍රධාන පාසලකට ඇතුළත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන සිදුකර තිබේ.

පැමිණිල්ලේ දැක්වෙන්නේ 2014 වසරේදී අවිධිමත් ආකාරයට රංග දිසානායක විසින් සිය දරුවා කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකට ඇතුළත් කර ඇති බවයි.

කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනාගේ විධානය පරිදී දූෂණ විරෝධි පනතේ 42 (1) වගන්තිය යටතේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් මූලික විමර්ශනය කළ බවත් අල්ලස් කොමිසම සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එහි දී අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ කොළඹ පිහිටි එම විද්‍යාලයෙන් වාර්තා කැඳවා ඇති අතර අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල් වෙත ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුව ඇති බව නිරීක්ෂණය වී තිබේ.

තවද එම වර්ෂයේ රංග දිසානායකගේ දරුවා පමණක් නොව  අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහත මාර්ගෝපදේශ මත අධිකරණ නිලධාරීන්ගේ තවත් දරුවන්ද කොළඹ ප්‍රසිද්ධ පාසල්වලට ඇතුළත් කර ඇති බව ද නිරීක්ෂණය වී ඇතැයි අල්ලස් කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

ඒ අනුව මෙම දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන් හි අක්‍රමිකතාවයක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුව නොමැති බව කොමිෂන් සභාව තීරණය කළ බවද අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

Related articles

Recent articles

spot_img