-5.2 C
New York

දැලක පැටලී සිටි කැබැල්ලෑ මවත් පැටවාත් බේරාගනී

Published:

දැලක පැටලී අනතුරට ලක්ව සිටි කැබැල්ලෑවකු සහ පැටවකු ඉන් මුදාගෙන අද (18) රිටිගල රක්ෂිතයට මුදාහැරි බව කැකිරාව ගනේවල්පොළ වනජීවී කාර්යාලය කියයි.

තොනිගල, ඉදුරංගල වැව ආසන්නයේ වගාබිමක දමා තිබූ දැලක මෙම කැබැල්ලෑවා සහ පැටවා පැටලී සිටින බව ගම්වාසීන් පිරිසක් විසින් කැකිරාව පොලිසියට සහ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මෙලෙස මුදවාගෙන තිබේ.

සිංහල භාෂාවෙන් කැබැල්ලෑවා, ඈයා යන නම්වලින් හඳුන්වන මෙම සත්ව විශේෂය ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, නේපාලය, බංග්ලාදේශය, පකිස්තානය ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල දක්නට ලැබේ. ඉංග්‍රීසි බසින් Indian Pangolin ලෙස හඳුන්වන මොවුන් සත්ව විද්‍යාත්මකව Manis crassicaudata ලෙස වර්ගීකරණය කර ඇත.

කිරි බී වැඩෙන හෙවත් ක්ෂීරපායී සත්ව විශේෂයක් වන කැබැල්ලෑවා සිරුරේ රෝම නොපිහිටන එකම ක්ෂීරපායී සත්ව විශේෂයයි. ඔවුන්ගේ සම ආවරණය වී ඇත්තේ ඝන කයටිනීමය ශල්ක වලිනි. පොළොවේ වර්ණයට සමාන දුඹුරු පැහැයක් ගන්නා කැබැල්ලෑවාගේ පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා විශාලව වර්ධනය වන අතර සෙන්ටිමීටර 85ත් 122ත් අතර විශාලත්වයකින් යුතුය. හොඳින් වැඩුණු කැබැල්ලෑවකු කිලෝග්‍රෑම් 10-15ක් පමණ බරකින් යුතුය. දින 65-70ත් අතර ගැබ් කාලයකින් පසුව වරකට එක් පැටවකු බිහිකරයි. කලාතුරකින් පැටවුන් දෙදෙනකු බිහිකළ අවස්ථා ද වාර්තා වී ඇත. අලුත බිහිවූ පැටවා ග්‍රෑම් 235-400ක් පමණ වන අතර දිගින් සෙන්ටිමීටර 30ක් පමණ වේ.

වනජීවී නිලධාරීන් පවසන්නේ මෙලෙස දැලේ පැටලී ඇත්තේ කැබැල්ලෑ මවක සහ පැටවකු බවයි.

කැබැල්ලෑ මව තම පැටවා කුඩා කාලයේ පිට මත තබාගෙන ගමන් කරන ආකාරය ද දක්නට ලැබෙයි. ඉතාමත් ලජ්ජාශීලී සත්වයකු වන කැබැල්ලෑවාගේ හිස උල් හැඩැතිය. මුඛයේ දත් නැත. කුහුඹුවන් සහ කැරපොත්තන්, කුරුමිණියන් වැනි කුඩා කෘමි සතුන් පහසුවෙන් අල්ලා ගැනීමට අනුවර්ථනය වූ දිගැති දිවක් පිහිටා ඇත.

ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සහ තැනිතලා මධ්‍යම කඳුකරයේ ද කැබැල්ලෑවා වාර්ථා වී ඇත.

Related articles

Recent articles

spot_img