spot_img
spot_imgspot_img

ආචාර්ය රංග කලංසූරිය ලෝකයේ මාධ්‍ය විශිෂ්ඨයන් 05 දෙනා අතරට

පුවත්

විදෙස්

ලෝකය පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, පුද්ගලයන් සහ සංවිධාන කරනු ලබන සේවයට උපහාර පිදීම සඳහා පිරිනමනු ලබන “කැනඩා – එක්සත් රාජධානි මාධ්‍ය නිදහස් සම්මානයේ” සුදුසුකම් ලත් අවසන් පස්දෙනා අතරට ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය රංග කලංසූරිය මහතා ද නම් වී තිබිණි. මෙම සම්මානය සඳහා ගෝලීය වශයෙන් ඉදිරිපත් වූ නාම යෝජනා 60කට අධික සංඛ්‍යාවක් අතරින් අවසන් 05 දෙනකු නම් කරනු ලබන අතර අවසන් පස්දෙනා අතරට පත්වූ එකම ආසියාතිකයා වන්නේ ද ආචාර්ය රංග කලංසූරියයි.

අවසන් පස්දෙනා අතරට ඔහු ඇතුළුව පුද්ගලයන් වශයෙන් සිටියේ තවත් එක් අයෙකු පමණි. ඒ දකුණු සූඩානයේ මේරි අජිත් ගොව් පමණි. අනෙක් නාම යෝජනා තුනම ආයතන හා සංවිධාන වීම විශේෂත්වයකි. මේ අතරට බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (බෙලරුස්), මෙක්සිකෝවේ සෙන්ට්‍රෝ ඩි ඉන්වෙස්ටිගේෂන් යි කැපසිටේෂන් ප්‍රොපෙස්ටා සිවිකා සංවිධානය හා ලෙබනනයේ මාධ්‍ය හා සංස්කෘතික නිදහස සඳහා ස්කීස් මධ්‍යස්ථානය යෝජනා වී තිබිණි.

කැනඩාව සහ බොට්ස්වානාව විසින් සත්කාරකත්වය සපයමින් අන්තර්ජාලය හරහා පැවැත්වූ මාධ්‍ය නිදහස සඳහා වූ ගෝලීය සමුළුවේ දී 2020 නොවැම්බර් මස 16 වැනි දින මෙම සම්මානය පිරිනැමූ අතර එහි ජයග්‍රාහකයා වූයේ බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි. 2019 දී එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර දී මෙම සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්විණි.

ලෝකය පුරා ජනමාධ්‍යවේදීන්ගේ නිදහස, ආරක්ෂාව සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අභියෝගයට ලක්වෙමින් පවතින යුගයක දී මෙවන් සම්මානයක අවසන් පස් දෙනා අතරට ශ්‍රී ලාංකිකයකු එකම ආසියාතිකයා ලෙස තේරීපත්වීම ද ශ්‍රී ලාංකික ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ලැබුණු විශාල ජයග්‍රහණයකි.

ආචාර්ය රංග කලන්සූරිය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිදහස් පුවත්පත් වාර්තාකරුවකු වශයෙන් ලේක්හවුස් ආයතනයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කර මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මුල්පුටුව වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරය දක්වාම වගකීම් දැරූ තැනැත්තෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ආචාර්ය කලංසූරිය ප්‍රවෘත්ති ජනමාධ්‍යකරණය සම්බන්ධ ආචාර්ය උපාධියක් ලැබූ මෙරට පළමු ශ්‍රී ලාංකිකයා ද වෙයි.

වර්තමානයේ International Media Support (IMS) හෙවත් ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවයේ ආසියානු කලාපීය උපදේශකවරයා ද වන ආචාර්ය කලංසූරිය මෙරට මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරවම පෙනී සිටිමින් විශාල කාර්යභාරයක් ඉටුකළේය. ඊට අමතරව මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක බව ආරක්ෂාකිරීමටත්, මාධ්‍යවේදීන්ගේ පුහුණුව හා හැකියාවන් වර්ධනය කිරීමටත් අනූපමේය සේවාවක් ඉටුකිරීමට කැපවී සිටි ඔහු ජනතාවට සදාචාරාත්මක ජනමාධ්‍යවේදයක් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරමින් ජනතාවට වගවන මාධ්‍යකරණයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක නියැලී සිටියේය.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ජනමාධ්‍ය විද්‍යාලය, පුවත්පත් පැමිණිලි කොමිසම වැනි ආයතන හා සංවිධාන මෙරට ස්ථාපිත කරමින් ඒවා වඩාත් ඵලදායී මට්ටමකට නගා සිටුවීම සඳහා දැඩි කැපවීමකින් ක්‍රියා කළ ආචාර්ය කලංසූරිය එය නොරිස්සූ ඇතැම් පුද්ගලයන්ගේ දෝෂ දර්ශනයට හා මර්ධනයට ලක්වූ අවස්ථා ද තිබිණි.

තොරතුරු දැනගැනී‌මේ පනත මෙරට ජන සමාජයට තිළිණ කර දීමේ දී සැළකිය යුතු කාර්යභාරයක් ඉටුකළ ඔහු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට ද මාධ්‍ය ක්ෂේත්‍රයේ නවකයන් ඇතුළු සියලු අංශයන්හි නියැලෙන්නන් හට අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමට ද විශාල දායකයත්වයක් සළසා තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවයේ කලාපීය උපදේශකවරයා ලෙස මේ වනවිට සේවය කරන ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොව, මියන්මාරය, පකිස්තානය, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල ජනමාධ්‍ය ප්‍රතිපත්ති සැකසීම, පර්යේෂණ හා ධාරිතා සංවර්ධනය අධීක්ෂණය කිරීම, උපදෙස් හා පුහුණුව ලබාදීම යන කාර්යයන්හි නිරන්තර නියැලෙමින් මෙරට පමණක් ‌නොව ජාත්‍යන්තර වශයෙන් ද ජනමාධ්‍යයේ උන්නතිය සඳහා විශාල සේවයක් කරනු ලබන විද්වතෙකි.

“කැනඩා – එක්සත් රාජධානි මාධ්‍ය නිදහස් සම්මානය” යනු ලෝකය පුරා සිටින මාධ්‍යවේදින්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීමට කැනඩාව සහ එක්සත් රාජධානිය දරනු ලබන ප්‍රයත්නයන්හි තවත් එක් පියවරකි. එක්සත් රාජධානිය සහ කැනඩාව දැඩි ලෙස විශ්වාස කරන්නේ නිදහස් හා ස්වාධීන මාධ්‍ය කලාව ක්‍රියාකාරී සමාජයක අත්‍යවශ්‍ය අංගයක් වන අතර එය වැඩි ස්ථාවරත්වයක් සහ සමෘද්ධියකින් පිරි ලෝකයක් කරා ජන සමාජය රැගෙන යන බවයි.

මෙම වසරේ ජයග්‍රාහකයා වූ බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී ආචාරධර්ම හා මූලධර්ම කෙරෙහි ඇති අඛණ්ඩ කැපවීම සහ බෙලරුස් රටෙහි දැඩි මාධ්‍ය මර්ධනයන් හමුවේ නොපසුබට උත්සාහයකින් සහ ආත්ම පරිත්‍යාගයකින් කටයුතු කර තිබිණි.

එක්සත් රාජධානයේ රාජ්‍ය හා විදේශ ප්‍රධාන ලේකම්, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩොමිනික් රාබ් මෙම සමුළුව අමතමින් මෙසේ කීවේය.

“ මාධ්‍යවේදීන්ට ලෝකයේ කොතැනක වැඩ කළත්, දේශපාලන පළිගැනීම්වලට, මාධ්‍ය වාරණයට හෝ දඬුවමට බිය නොවී ඇත්ත තත්ත්වය ලොවට හෙළි කිිරීම අත්‍යවශ්‍ය වෙනවා. මාධ්‍ය නිදහස ආරක්ෂා කරන අයගේ කාර්යභාරය බෙහෙවින් අගය කළ යුත්තක්.”

“ජනමාධ්‍ය නිදහස වඩාත් අවදානමට ලක්ව ඇති මොහොතක, බෙලරුසියානු මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ නිදහස, ජීවිත සහ ජීවනෝපායයන් ආරක්ෂා කිරීමට සටන් වදින බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට අපි ප්‍රශංසා කරනවා. මර්ධනය හා සාවද්‍ය තොරතුරු මැඬපැවැත්වීම සඳහා ඔවුන් දරන අඛණ්ඩ උත්සාහය ජනමාධ්‍යවේදීන්ගේ සහ පුරවැසියන්ගේ අයිතිය ලොවට යළි යළිත් සහිපත් කර දෙනවා. කළ යුතු නියම අවස්ථාවේ ඔවුන් එයට අවතීර්ණ වී තිබෙනවා.” කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ෆ්‍රොන්ස්වා -පිලිප් ෂැම්පේන් පැවසීය.

ඡායාරූපය – ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ මහා කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය, කැනඩා – බ්‍රිතාන්‍ය මාධ්‍ය නිදහස් උපහාර උළෙලේ මුල් පස් දෙනා අතරට පැමිණි අචාර්ය රංග කලන්සූරිය මහතා හමුවී සුබ පැතූ අවස්ථාව





1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!