ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (18) අබුඩාබි හි දී පැවැත්වෙන විස්සයි 20 තරඟය මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ බී කාණ්ඩයෙන් සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා අතිශය තීරණාත්මක වී ඇත.
හෙට තරඟයේ තීරණය අනුව ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් තුනෙන් දෙකක් සුපිරි 04 අතරට පිවිසෙනු ඇත.
දැනට සහභාගී වූ තරඟ දෙකම ජයග්‍රහණය කර ලකුණු සටහනේ බී කාණ්ඩයේ පෙරමුණේ පසුවන ශ්‍රී ලංකාවට සුපිරි 04 දෙනා අතරට පිවිසීමට වැඩි ඉඩක් ඇතත් ඉතාම් අවිනිශ්චිත ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාවේ දී ද එයට අනාවැකි කීමට හැකියාවක් නැත.
කෙසේ වෙතත් බංග්ලාදේශයට සුපිරිි 04 දෙනා අතරට පිවිසීමට නම් ඇෆ්ගනිස්තානය විසින් ශ්‍රී ලංකාව විශාල ලකුණු පරතරයකින් හෝ අඩු පන්දුවාර සංඛ්‍යාවකින් පරාජය කරනතුරු බලා සිටීමට සිදුවෙයි. ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක් නොලැබුවහොත් හෙට (18) පැවැත්වෙන තරඟය පරාජය වුව ද ශ්‍රී ලංකාවට සුපිරි 04 දෙනාගේ වටයේ අවස්ථාවක් ලැබෙනු ඇත.
සහභාගී වූ තරඟ තුනම පරාජයට පත්ව සිටින හොංකොං කණ්ඩායම දැනටමත් තරඟාවලියෙන් ඉවතට විසිවී සිටියි.
ඇෆ්ගනිස්තානය හෙට ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් ඔවුන්ට අනිවාර්යෙන් ම තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවන අතර සුපිරි 04 දෙනා අතරට බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සමඟ බංග්ලාදේශය අවසන්වටයට සුදුසුකම් ලබනු ඇත.
ඇෆ්ගනිස්තානය සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමට නම් හෙට තරඟය ශ්‍රී ලංකාව පරදා ජයග්‍රහණය කිරීම අනිවාර්ය වන අතර ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයෙන් බංග්ලාදේශය අභිබවා යා යුතුය. එය සිදුකිරීමට ඇෆ්ගනිස්තානය සමත් වුවහොත්, ශ්‍රී ලංකාව සමඟ සුපිරි 04 දෙනාගේ වටයට යාමේ අවස්ථාව ඇෆ්ගනිස්තානයට හිමිවෙයි. නැතිනම් දැනටත් ප්‍රසාද ලකුණු 04ක් ලබා සිටින බංග්ලාදේශය සුපිරි 04 දෙනා අතරට යනු ඇත.
ශ්‍රී ලංකාව තරඟාවලියෙන් ඉවතට විසිවීමට නම් ඇෆගනිස්තානය පළමුව පන්දුවට පහර දී ශ්‍රී ලංකාවට ලබාදෙන ඉලක්කයට ලකුණු 71කට අඩුවෙන් සිටිය දී ශ්‍රී ලංකාව දවා ගත යුතුය. එනම් ඇෆ්ගනිස්තානයේ ජයග්‍රහණයේ ලකුණු පරතරය ලකුණු 71කට වඩා වැඩි විය යුතුය. නැතිනම් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දී ඔවුන්ට ලබාදෙන ඉලක්කය පන්දු වාර 11.1 දී සම්පූර්ණ කර දැවැන්ත පහසු ජයග්‍රහණයක් ලබාගත යුතුය.
එම දස්කම දැක්වීමට ඇෆ්ගනිස්තානය සමත් වුවහොත් බී කාණ්ඩයෙන් සුපිරි 04 දෙනාගේ වටයට යන්නේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයයි.
ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. ඒ නිසා කුමක් සිදුවනු ඇත්ද යන්න අනාවැකි කීමට නොහැකිය. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය ද සුපිරි 04 දෙනා අතරට පිවිසීමට සියලු උත්සාහයන් දරණ බැවින් හෙට තරඟය අතිශය තීරණාත්මක සහ තියුණු මුහුණුවරක් ගනු ඇත.



