-4.3 C
New York

නේපාලයේ පාලනය භාරගත් පළමු කාන්තාව

Published:

නේපාල ඉතිහාසයේ එරටට නායකත්වය දෙන පළමු කාන්තාව බවට පත්වෙමින් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කී, විරෝධතාකරුවන් සමඟ එකඟතාවයෙන් එරට අග්‍රාමාත්‍යධූරයට පත්වූවාය.

සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාල රජය ගත් තීරණයත් සමඟ කුපිත වූ Z-Genaration නමින් හඳුන්වාගත් තරුණ තරුණියෝ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ආරම්භ කළ අතර මාරාන්තික උද්ඝෝෂණ බවට පත්වූ එය පසුව දූෂණ විරෝධී මුහුණුවරක් ගෙන ආණ්ඩුව බලයෙන් පහකරන තත්වයට පත්විය.

සමාජ මාධ්‍ය සහ සන්නිවේදන යෙදුම් 26ක් නේපාල රජය විසින් තහනම් කිරීමට පෙර සති කිහිපය තුළ, දේශපාලනඥයන්ගේ දරුවන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් සහ දූෂණ චෝදනා ඉස්මතු කරමින් “නෙපෝ කිඩ්” ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විය.

මෙම විරෝධතා කරුවන් පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, නිල නිවාස, හෝටල් ඇතුළු ගොඩනැගිලි සහ රාජ්‍ය දේපළ ගිනිබත් කරද්දී එරට අගමැතිවරයාත්, රජයත් තම බලය අතහැර දැමීමට කටයුතු කරන ලදී.

නේපාලයේ ඇති වූ මේ ගැටුම්වලින් 50කට වැඩි පිරිසක් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින ගණනාවක් පුරා පැවති සාකච්ඡාවලින් පසුව, ජනාධිපතිවරයා සහ විරෝධතා නායකයින් අතර එකඟතාවයක් ඇතිවිය. එම සාකච්ඡාව සඳහා නීති විශේෂඥයෝ ද සහභාගී වූහ.

ඒ අනුව ඊයේ (12) සවස ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර, ලබන වසරේ මාර්තු 05 වන දින මහ මැතිවරණය පැවැත්වෙන බව නිවේදනය කරන ලදී. කෙටි උත්සවයකින් භාරකාර රජයේ අග්‍රාමාත්‍යධූරයට පත්වූ 73 හැවිරිදි වියේ පසුවන සුෂිලා කාර්කි ඉදිරි දින කිහිපයේ දී භාරකාර රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇය පිරිසිදු ප්‍රතිරූපයක් ඇති තැනැත්තියක් ලෙස පුළුල් ලෙස සලකනු ලබන අතර, අන්තර්කාලීන රජයට නායකත්වය දීම සඳහා Z-Genaration හි ශිෂ්‍ය නායකයින්ගේ සහාය ඇයට ලැබේ.

නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම, පාර්ලිමේන්තුව සහ ප්‍රහාරයට ලක් වූ අනෙකුත් ප්‍රධාන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම වෙනසක් අවශ්‍ය විරෝධතාකරුවන්ට සහ නේපාලයේ තරුණ ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාමය පිළිවෙල අහෝසි වේයැයි බියෙන් සිටින අනෙකුත් අයට එහිි සුරක්ෂිත බව සහතික කිරීම වැනි අභියෝග රැසකට ඇගේ කැබිනට් මණ්ඩලය මුහුණ දෙනු ඇත.

තවත් ප්‍රධාන කාර්යයක් වනුයේ ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු අය නීතිය හමුවට පමුණුවා ගැනීමයි.

නේපාල හමුදා ප්‍රධානියාගේ මැදිහත් වීමෙන් මේ සතියේ පැවති සාකච්ඡාවල සම්මුතියක ප්‍රතිඵලයක් ලෙස කාර්කිගේ පත්වීම සිදු විය. ප්‍රීතියෙන් පිනා ගිය Z ආධාරකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ තම සතුට ප්‍රකාශ කරමින් සිටින අතර බොහෝ දෙනකු මෙය දකින්නේ රට වෙනුවෙන් ගත යුතු නව දේශපාලන මාවතේ ඊළඟ පියවර ලෙසයි.

පසුගිය අඟහරුවාදා, කාර්කි කත්මණ්ඩු හි විරෝධතා ස්ථානයට ගිය අතර, එම ස්ථානයේ දී ඊට පෙර දින (සඳුදා) පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබිණි. ඒ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාල ලැබූවන් කිහිප දෙනෙකු ද ඇය හමුවූවාය.

රටේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වන නේපාල කොංග්‍රසයේ කොයිරාල දේශපාලන රාජවංශය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පවුලක උපත ලැබූ කාර්කි, පසුව එවකට පක්ෂයේ නායිකාව වූ දුර්ගා සුබේඩි සමඟ විවාහ වූවා ය.

2016 දී නීතිඥවරියක සිට නේපාලයේ අගවිනිසුරුවරිය දක්වා වූ ඇගේ ගමනේදී ඇගේ සැමියාගේ සහයෝගය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව ඇය පවසා තිබේ.

ඇය අගවිනිසුරුවරිය ලෙස මාස 11 කට ආසන්න කාලයක් ගත වූ කාලය තුළ දෝෂාභියෝග සිද්ධියකට පවා මුහුණ දී තිබේ.

දශක ගණනාවකට පසු රට එහි දරුණුතම නොසන්සුන්තාවයෙන් පීඩා විඳිමින් සිටියදී, නේපාල හමුදාව තවමත් කත්මණ්ඩු නගරයේ වීදිවල මුර සංචාරයේ යෙදී සිටී. පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ සැලසීම සඳහා සීමාවන් කෙටියෙන් ඉවත් කර ඇත.

Related articles

Recent articles

spot_img