රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයට, ඝාතනය කරන ලද ගවයින්ගේ ශරීර කොටස් ගෙනවිත් දැමූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රිටිගල වනජීවී අභයභූමියේ නිලධාරීන් පවසයි.
රිටිගල වනජීවී අභයභූමි භාරකරු ඩී. රාමසිංහගේ උපදෙස් පරිදි රිටිගල සහ අලගොල්ලෑව වනජීවී කාර්යාල නිලධාරීන් ඒකාබද්ධව කරනු ලැබූ මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
කැකිරාව, ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් විසින් ගවයන්ගේ අස්ථි කොටස් ප්‍රවාහනය කර රක්ෂිතයට බැහැර කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔවුන් මෙම සිරුරු කොටස් ගෙන ගිය ලොරි රථයක් ද වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රිටිගල රක්ෂිතයට මෙලෙස සතුන්ගේ අවශේෂ ගෙනවිත් දැමීම එහි පරිසර පද්ධතියටත්, සතුන්ටත් අහිතකර ලෙස බලපාන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස්. චන්ද්‍රරත්නගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර ඇති අතර, රිටිගල වනජීවී සංරක්ෂණ කාර්යාලය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.


