කකුලේ තුවාලයක් නිසා බද්දේගම රෝහලට ඇතුළත් කර සිටිය දී ගාල්ල ජාතික රෝහලට ගිලන්රථයකින් රැගෙන ආ රෝගියකු අනතුරකින් සිදු වූ බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළිදරව් වීම හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බද්දේගම, මීමැඩම ප්‍රදේශයේ පදිංචි උපුල් තුෂාර ත්‍රිකාවල නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි. වාහන පින්තාරු කාර්මිකයකු ලෙස නිවෙස්වලට සහ ගරාජ්වලට ගොස් වැඩ කරන ඔහු දෙදරු පියෙකි.
මාස කිහිපයකට පෙර මෙම පුද්ගලයාගේ කකුල්වල දණහිසෙන් පහළ කොටසේ තුවාල කිහිපයක් හටගෙන තිබූ අතර ප්‍රතිකාර ගත්විට එය සුව වී තිබිණි. පසුගිය දා නැවත එම රෝගී තත්වය උත්සන්න වූයෙන් පසුගිය අගෝස්තු 26 වැනි දා 1990 සුවසැරිය ගිලන්රථයකට ඔහු ම ඇමතුමක් දී බද්දේගම රෝහලට එම ගිලන්රථයෙන් ගොස් තිබිණි.
බද්දේගම රෝහලේ ප්‍රකාශකයකු කීවේ මෙම මෙම පුද්ගලයා පසුගිය 29 වැනි දා රාත්‍රී 11.30ට පමණල් බද්දේගම රෝහලේ ගිලන් රථයකින් ගාල්ල ජාතික රෝහලට මාරුකර යැවූ බවයි. එම අවස්ථාවේ දී ඔහු සිහිකල්පනාව ඇතිව සිටි බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
බද්දේගම රෝහලෙන් ඔහු ගාල්ල ජාතික රෝහලට රැගෙන යාමට පැය කිහිපයකට පෙර මියගිය පුද්ගලයාගේ දියණිය රෝහලට ගොස් පියාට රාත්‍රී ආහාරය ලබා දී ඇති අතර දියණිය පවසන්නේ තම පියා ඒ මොහොතේ ඉතාමත් හොඳ සිහිකල්පනාවෙන් ඇවදීමට පවා හැකියාව ඇති ව සිටි බවයි. නමුත් රෝගියා ජාතික රෝහලට මාරුකර යවන බව බද්දේගම රෝහලෙන් ඥාතීන්ට කිසිම අවස්ථාවක දැනුම් දී නැත.
බද්දේගම රෝහලේ සිට ගාල්ල ජාතික රෝහලට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර 10ක් පමණ වේ. මැදියම් රාත්‍රියේ මේ දුර ගමන් කිරීමට ගිලන් රථයකට විනාඩි 15ක් ගත වන්නේ නැත. නමුත් 29 වැනි දා රාත්‍රී 11.30ට බද්දේගම රෝහලෙන් පිටත් වූ ගිලන් රථය ගාල්ල ජාතික රෝහලට පැමිණ ඇත්තේ පසු දින අලුයම 1.25ට බව රෝහලේ වාර්තාවල දැක්වේ. ගිලන් රථයට කිලෝ මීටර 10ක් ගෙවා යාමට ගත වූ කාලය පැය දෙකකට ආසන්නය. මෙය පුදුම සහගත සිදුවීමකි.
කෙසේ වෙතත් එම රෝගියා රෝහලට ඇතුළත් කළ වහාම ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. පසුගිය 01 වැනි දා මේ රෝගියා ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගියේය. ඔහුගේ සිරුර හදිසි මරණ පරීක්ෂණයක් සඳහා ඉන් අනතුරුව යොමු කෙරිණි.
එම හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරන ලදී. මියගිය තැනැත්තාගේ බිරිඳ කඹුරුගමුව ලොකුආචාරිගේ නිලූෂිකා දර්ශනී (46) සහ දියණිය ත්‍රිකාවල බඩල්ගේ හර්ෂනී සුලෝචනා (29) කියා සිටියේ මරණය ගැන කිසිදු සැකයක් නැති බවයි.
ඔවුන් එසේ ප්‍රකාශ කළ ද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේ දී ලියාපදිංචි අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.මධුවන්ති ජයසිංහ මහත්මිය නිරීක්ෂණය කර තිබුණේ මියගිය තැනැත්තාගේ හිසෙහි සහ ශරීරයේ ස්ථාන කිහිපයක ම බරපතල තුවාල සහ තැලුම් සළකුණු ඇති බවයි. හිසේ සිදුකරන ලද සැත්කම හේතුවෙන් හිස් කබලේ කොටසක් ද ඉවත් කර තිබිණි. කකුලේ තුවාලයක් නිසා රෝහල්ගත කළ පුද්ගලයකුට මෙවැනි තුවාල සිදුවීම ගැටලුවකි.
ඒ අනුව ඇය හදිසි මරණ පරීක්ෂකවරයා ද කැඳවා මියගිය තැනැත්තාගේ සිරුර පරීක්ෂා කර තිබිණි. මරණ පරීක්ෂණයේ දී සාක්ෂි විභාගයේ දී මරණය සම්බන්ධ සැකයක් නැතැයි මියගිය තැනැත්තාගේ ඥාතීන් පැවසුව ද මියගිය තැනැත්තා රිය අනතුරකට ලක්වීමේ සැකයක් මතුව තිබූ බැවින් ඒ පිළිබඳ පරීක්ෂාකරන ලෙස බද්දේගම පොලිසියට මරණ පරීක්ෂකවරයා විසින් දැනුම් දී තිබිණි. ඒ අනුව මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි ලොකුගේ මහතා සිරුර භූමදාන කිරීමට අවසර දුන්නේය.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ බද්දේගම පොලිසිය හදිසි මරණ පරීක්ෂකවරයාට දැනුම් දී ඇත්තේ බද්දෙගම රෝහලේ සිට පසුගිය 29 වැනි දා රෝගියා ගාල්ල ජාතික රෝහලට රැගෙන එන අතරතුර දී එම රෝගියා ගිලන් රථයේ පිටුපස දොර හැර පාරට පැන ඇතැයි ගිලන් රථයේ සේවකයන් පවසා ඇති බවයි. ගිලන්රථයෙන් පැන තුවාල ලැබූ එම පුද්ගලයා ගාල්ල ජාතික රෝහලට රැගෙන ඒමට පැය දෙකක කාලයක් දක්වා ප්‍රමාද කළේ කවර හේතුවක් නිසා ද යන්න අදටත් ගැටලුවකි.
බද්දේගම රෝහලේ සිට සිහිය ඇතිව ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ රෝගියා සිහි නැතිව රෝහල්ගත කළ ද එවැනි සිදුවීමක් පිළිබඳ ඔවුන් රෝහල් දෙකටම දැනුම් දී තිබුණේ නැත. ගිලන්රථ සේවකයන් පොලිසියට පවසා ඇත්තේ මෙය සිදුවූයේ මීපාවල ප්‍රදේශයේ දී බවයි.
ඒ අනුව, ගිලන් රථයේ සේවකයන් සියලු දෙනා අද (13) ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට කැඳවා ඔවුන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීමට නියමිතව තිබේ.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතව ඇත.



