නේපාලයේ විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ශ්‍රේෂ්ඨාධිකරණය, අමාත්‍යවරුන්ගේ කාර්යාල පිහිටි සින්ග දර්බාර් ගොඩනැගිල්ල ද අගමැතිවරයාගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම විරෝධතා උත්සන්නවීමත් සමඟ එරට අගමැති කේ.පී.ෂර්මා ඔලි සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ය.
එරට සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමට එරෙහිව විරෝධතා ආරම්භ කරන ලද අතර විරෝධතාවයේ යෙදෙන පිරිස් තමන් හඳුන්වාගන්නා ලද්දේ Z Gen යනුවෙනි. රජය සමාජ මාධ්‍ය තහනම ඉවත්කළ ද විරෝධතාව දූෂණයට එරෙහි විරෝධයක් බවට පරිවර්තනය වී තිබිණි.
විරෝධතා අතරතුර දී ආරක්ෂක අංශවලින් එල්ලකරන ලද ප්‍රහාර හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වනවිට 21ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අමාත්‍යවරුන්ගේ නිවාස කිහිපයක් ද ගිනිතබා ඇතැයි ද ඔවුන්ට පහර දී ඇතැයි ද වාර්තා වේ.
ආරක්ෂක අංශ විසින් අමාත්‍යවරුන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



