-4.3 C
New York

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම, රජය පෙරළීම දක්වා දුරදිග යයි

Published:

සමාජ මාධ්‍ය තහනමක් හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් දිනකට පසු, විරෝධතාකරුවන් ඇඳිරි නීතිය නොතකා පොලිසිය සමඟ ගැටීමත් සමඟ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වූයේ ය.

භක්තපූර්, බෝල්කොට් හි ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව සඳහන් වේ.

ඊයේ (08) පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ එල්ල කිරීමෙන් පසු විරෝධතා ප්‍රචණ්ඩකාරී වී 19 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු ඔලිගේ රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කළේය.

2008 දී රාජාණ්ඩුව අහෝසි කිරීමට හේතු වූ විරෝධතාවලින් පසු දිගින් දිගට ම දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අවිනිශ්චිතතාවයෙන් පීඩා විඳින  නේපාලයේ ඉන් පසු ඇති වූ දරුණුම ප්‍රචණ්ඩකාරී තත්වය මෙයයි.

“අගමැතිවරයා ඉල්ලා අස්වී ඇත,” ඔලිගේ සහායක ප්‍රකාශ් සිල්වාල් රොයිටර් පුවත් සේවයට පැවසූ අතර, එය රට නව දේශපාලන අවිනිශ්චිතතාවයකට ඇද දමයි.

ඉල්ලා අස්වීමට පෙර අග්‍රාමාත්‍ය ඔලි සියලු දේශපාලන පක්ෂවල රැස්වීමක් කැඳවා තිබුණේ ප්‍රචණ්ඩත්වය ජාතියේ යහපතට හේතු නොවන බවත් “ඕනෑම ගැටලුවකට විසඳුම් සෙවීම සඳහා සාමකාමී සංවාදයකට යොමු විය යුතු” බවත් පවසමිනි.

නමුත් බලධාරීන් විසින් පනවා ඇත ඇඳිරිනීතිය නොතකා, පාර්ලිමේන්තුව සහ කත්මණ්ඩු අගනුවර අනෙකුත් ස්ථාන ඉදිරිපිට විරෝධතාකරුවන් රැස් වූ බැවින්, රජයට එරෙහි කෝපය අඩු වන බවක් පෙනෙන්නට තිබුණේ නැත.

විරෝධතාකරුවන් ඇතැම් මාර්ගවල ටයර් පුළුස්සා, කැරළි මර්ධන උපකරණවලින් සැරසුණු පොලිස් නිලධාරීන්ට ගල් ගසා, පටු වීදි හරහා ඔවුන් ලුහුබැඳ යන අයුරුද නිරීක්ෂණය වී තිබිණි.

ඉන්දීය-නේපාල දේශ සීමාව අසල පිහිටි ඇතැම් නගරවලින් සිය ගණනක් ජනයා විරෝධතාකරුවන්ට සහාය දැක්වීම සඳහා කත්මණ්ඩු දෙසට පෙළපාළි යාමට පටන් ගත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

කත්මණ්ඩු නගරයේ ඇතැම් දේශපාලනඥයන්ගේ නිවෙස්වලට විරෝධතාකරුවන් ගිනි තබමින් සිටි බව වාර්තා වන අතර, සමහර අමාත්‍යවරුන් හමුදා හෙලිකොප්ටර් මගින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

“අපි තවමත් අපේ අනාගතය වෙනුවෙන් මෙහි සිටගෙන සිටිනවා. අපට මේ රට දූෂණයෙන් තොර වීමට අවශ්‍යයි, එවිට සෑම කෙනෙකුටම අධ්‍යාපනය, රෝහල්, වෛද්‍ය පහසුකම් පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත.” යනුවෙන් දූෂණයට එරෙහිව විරෝධතාවයේ නිරත රොබින් ශ්‍රෙෂ්තා රොයිටර් රූපවාහිනියට පැවසීය.

කත්මණ්ඩු ගුවන් තොටුපළ ද මේම වනවිට වසා දමා තිබේ.

මෙම විරෝධතාව ආරම්භ කරන ලද තරුණ පිරිස් තමන් හඳුන්වා ඇත්තේ Z Gen යනුවෙනි. සමාජ මාධ්‍ය තහනමට විරෝධය පෑමක් ලෙස විරෝධය ආරම්භ කළ ද එය මේ වනවිට දූෂණය මැඩපැවැත්වීමට සහ ආර්ථික අවස්ථා ඉහළ නැංවීමට රජය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ විරෝධතාවක් දක්වා ද වර්ධනය වී තිබේ.

Related articles

Recent articles

spot_img