ස්විට්සර්ලන්තයේ, ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරය අද (08) සවස ඇමතූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් යුද ගැටුම්වල දී සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංගණය කිරීම් විමර්ශනය සඳහා බාහිර මැදිහත් වීමේ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවයි.
එම වාර්තාවෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විසදුම් ලබාදී නැතැයි සඳහන් කර තිබිණි. මියන්මාරය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, සුඩානය, පලස්තීනය, සිරියාව ආදි රටවල මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳ වාර්තා සහ වාචික යාවත්කාලීන කිරීම් මෙම සමුළුවේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.
එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය හමුදාවේ හා අනෙකුත් ආරක්ෂක අංශවල බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීමට වසර ගණනාවක් පුරා අසමත්ව ඇති බවයි. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට කටයුතු කිරීමට බලය හිමි වන රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීමටද එම වාර්තාව මගින් ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබේ.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පෙන්වා දී ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන නොමැති බවයි. ඒ යටතේ ක්‍රියාත්මක වන වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවත්, දේශීය සංහිඳියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බවත් එමගින් පෙන්වා දී ඇත.
සැසිවාරය අතරතුර ඒ ඒ රටවල, තරුණයින්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම, ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් වැනි මාතෘකා යටතේ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.



