-2.1 C
New York

මන්ත්‍රීවරුන්ට ලැබුණු නිවාස සහනයක් ඉවත් කරයි

Published:

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද ‘වියත් පුර’ නිවාස සංකීර්ණයෙන් නිවාස මිල දී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ සහනය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

2022 මැයි මාසයේ දී රටේ ඇති වූ කලබලකාරී තත්වය හේතුවෙන් නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට මෙම වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස 101ක් කුලී පදනම මත වසරක කාලයක් සඳහා ලබාදීමට 2022 ජූලි මස 04 වැනි දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබිණි.

එම නිවාස තමන්ට සහනදායී ක්‍රමවේදයකට මිල දී ගැනීමට අවස්ථාව ලබාදෙන්න යැයි එම මන්ත්‍රීවරුන් විසින් ම රජයෙන් ඉල්ලීමක් කර තිබීම හේතුවෙන් රුපියල් ලක්ෂ 155-220ත් අතර පරාසයක සාමාන්‍ය ජනතාවටට විකිණීමට නියමිතව තිබූ එම නිවාස රුපියල් ලක්ෂ 133.4ත් 182.1ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුකර විකුණුම් මිලෙන් 25%ක් පළමුව ගෙවා ඉතිරිය 10%ක වාර්ෂික පොළියක් ද සහිතව වසර 15ක දී ගෙවා නිම කරමින් නිවාස මිල දී ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දී තිබිණි. ඒ සඳහා 2024 ජූලි 15 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

එම යෝජනාවටට අනුව 2024 දෙසැම්බර් 31 වනවිට විකුණුම් මිලෙන් 25%ක මුදලක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනකු විසින් තැන්පත් කර ඇති බව රජය පවසයි.

මෙවැනි සහනයක් ලබාදීමෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් ලක්ෂ 921.6ක පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති අතර කර ඇති පිරිවැය ද ආවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි ද දන්වා තිබේ.

මේ හේතුවෙන් අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය ජනතාවට එම නිවාස ලබාගැනීම සඳහා වන ක්‍රමවේදය යටතේ ම ඔවුන්ට ද නිවාස මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමටත් නාගරික සංවර්ධන, ඉදිරිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කර කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

Related articles

Recent articles

spot_img