-5.2 C
New York

බලය පාවා දෙන රහස් ඡන්දය

Published:

සජීව විජේවීර

නීතිය සැමට එක හා සමාන විය යුතුය. සෑම අවස්ථාවක දී ම, සෑම ස්ථානයක දී ම නීතිය සමාන විය යුතුය. එය තැනින් තැනට, දවසින් දවස වෙනස් විය හැකි දෙයක් හෝ වෙනත් ආකාරවලින් අර්ථකථනය කළ හැකි දෙයක් නොවේ.

දේශපාලන බලපෑම මත, රාජ්‍ය හා ආණ්ඩු බලය මත රටේ පවතින නීතියත් වරින් වර වෙනස් ආකාරයෙන් අර්ථකථනය කළ හැකි බවට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ගාල්ලේ දී දක්නට ලැබිණි.

ඒ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී ය.

2018 දී පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල මහ නගර සභාවේ කිසිදු දේශපාලන පක්ෂයකට 50%කට වැඩි බහුතර බලයක් හිමිවූයේ නැත. ඒ නිසා නගරාධිපතිවරයා තෝරාගැනීම සිදු වූයේ නියෝජිතයන්ගේ ඡන්දයෙනි. මේ ඡන්දය පවත්වන්නේ කෙසේ ද යන්න සභාවෙන් විමසා සිටි අවස්ථාවේ දී එක් පිරිසක් රහස් ඡන්දයක් ද තවත් පිරිසක් විවෘත ඡන්දයක් ද යෝජනා කළ බැවින් එවකට දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා වූ රනිල් වික්‍රමසේකර ඒ ඒ නියෝජිතයන්ගේ නම් අඬගසා ඡන්දය පැවැත්වීමේ ආකාරය පිළිබඳ කැමැත්ත විමසා සිටියේය. ඒ ඒ නියෝජිතයාගේ කැමැත්ත විවෘත ඡන්දයකට ද රහස් ඡන්දයකට ද යන්න ඒ අවස්ථාවේ සියලු නියෝජිතයන්, නිලධාරීන්, මහජන ගැලරියේ සිටි පිරිස් මෙන් ම මාධ්‍යවේදීහු ද දුටහ.

එදා වැඩි දෙනකුගේ කැමැත්ත වූයේ රහස් ඡන්දයක් පැවැත්වීමයි. මේ රහස් ඡන්දයට පක්ෂව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක් ද කැමැත්ත දුන්නෙන් ඔවුන් නගරාධිපතිධූරය පාවාදුන් බවට ද චෝදනා ලැබු‍වේය. නගරාධිපති වූයේ පොදු ජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දුය. ඔහුට සහාය දෙමින් රහස් ඡන්දයක් ඉල්ලා සිටි එක්සත් ජාතික පක්ෂයේ ෆවුස් නියාස් උප නගරාධිපති වූයේ ය. එක්සත් ජාතික පක්ෂය එදා රහස් ඡන්දයක් ඉල්ලා සිටි පිරිසට විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් නෙරපන බව කීව ද එවැන්නක් සිදුවූයේ නැත.

2025 පළාත් පාලන මැතිවරණයේ දී ද ගාල්ල මහ නගර සභාවේ 50%කට වැඩි බලයක් ලබා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයක් සමත් වූයේ නැත. පසුගිය වතාවේ අහිමි වූ බලය මෙවර අල්ලා ගැනීමට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ එදා පාලන බලය අල්ලාගෙන මෙවර සභිකයන් තිදෙනකුට පමණක් සීමා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාන බලමින් සිටිය දී නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ආරම්භ විය. එහිදී ද පෙර පරිදි ම යෝජනා දෙකක් ඉදිරිපත් විය. රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි ජාතික ජන බලවේගය යෝජනා කළ අතර විවෘත ඡන්දයක් පැවැත්විය යුතුයැයි සමගි ජන බලවේගය යෝජනා කළේය.

ඒ ඡන්ද ක්‍රම දෙකෙන් එක් ක්‍රමයක් තෝරාගැනීමට ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් කීවාය. ඒ සඳහා ඇය තෝරාගත්තේ එදා 2018 දී කරපු ක්‍රමය නොවේ.

එය ඇය සාධාරණීකරණය කළේ මේ ආකාරයෙනි.

“ නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් සභාවේ තනි තීරණයක් එන්නේ නෑ. ඒ නිසා කරන ක්‍රමය තීරණය කරන්න වෙලා තියෙන්නේ මට. පනතේ මේක පැහැදිළිව කියන්නේ නෑ. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවල අපිට ආදේශ කරගන්න පුළුවන් කොටසක් තියෙනවා.  මෙහි 04 වැනි පිටුවේ 4.1 කියන වගන්තියේ මේ විදියට සඳහන් වෙනවා. ‘අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනකගේ නම් නගරාධිපති තනතුර සඳහා යෝජනා කර ස්ථිර කර ඇත්නම්, කොමසාරිස්වරයා විසින් සභාවේ සභිකයන් අතර ඡන්ද විමසීමක් පවත්වා නගරාධිපතිවරයා තෝරා පත්කරගත යුතුය. මෙම තරඟය පියවරෙන් පියවර ක්‍රියාවලිය දක්වා ඇත. මුලින්ම සභාවේ සභිකයන් විසින් ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කරනු ලැබේ. අපේක්ෂකයන් තෝරාපත්කරගන්නා ක්‍රමය ගැන සභිකයන් අතර මතබේදයක් ඇතිවුවහොත් (උදාහරණයක් ලෙස, එක් පිරිසක් රහස් ඡන්දයක් ඉල්ලා සිටිය දී තවත් පිරිසක් විවෘත ඡන්දයකට කැමති වන්නේ නම්) ඒ සම්බන්ධයෙන් එක් එක් සභිකයාගේ නම අඬ ගසා විමසීමක් කර ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතු බවයි. පනතේ සඳහන් වන්නේ නෑ ක්‍රමයක් ගැන. එක් එක් අයගෙන් අහලා තීරණයක් ගන්න කියලා තමයි තියෙන්නේ. මම ලිඛිතව විමසන්න තමයි තීරණය ගන්නේ. මම නම අඬගසා ඡන්දය පවත්වනවා. ඒ ඡන්ද ක්‍රමය කුමක් ද කියලා මේ මාර්ගෝපදේශයේ තියෙනවා ද ? නැහැනේ ද ? ඒ නිසා මම නම් අඬගසනවා. නම් අඬගැසුවාම ඔබට පුළුවන් මා ලබාදෙන කොළවල තමන් කැමති විවෘත ඡන්දයකටද රහස් ඡන්දයකට ද කියා සටහන් කර මේ පෙට්ටියට බහාලන්න. ඒක තමයි මම කරන ක්‍රමය.”

ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් හැර සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් එයට විරුධවෙමින් කරුණු දැක්වූහ. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ නම අඬ ගසා ඡන්දය විමසීම යනු නියෝජිතයන් කාටත් ඇසෙන සේ තම කැමැත්ත ප්‍රකාශ කිරීම බවයි. නමුත් විශේෂ කොමසාරිස් ලෙස කටයුතු කළ දකුණු පළාත්පාලන කොමසාරිස්වරිය එය පිළිගත්තේ නැත. ඇය නම කියා නියෝජිතයන් කැඳවා ඔවුන්ගේ කැමැත්ත කොළයක සටහන් කරන්නට දී එය පෙට්ටියක බහාලන්නට උපදෙස් දුන්නාය. සැබැවින්ම එය නම අඬ ගසා සිදුකළ ද රහස් ඡන්දයකි.

අවසානයේ නගරාධිපතිවරයා තෝරාගැනීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි 19 දෙනකු ප්‍රකාශ කරද්දී 16 දෙනකු විවෘත ඡන්දයකට කැමැත්ත දී තිබිණි. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබිණි. ඒ අනුව නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට තීරණය විය.

මේ අවස්ථාවේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ කෑ කෝ ගසමින් නැගිට සභාවෙන් පිටවන්නට ගියහ. එවිට ජාතික ජන බලවේගයේ සභිකයන් සමඟ ඉතිරිවූයේ පොදු ජන පෙරමුණේ හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඇතුළු නියෝජිතයන් තිදෙනෙකි. ඔවුන් තිදෙනා සභා ගැබ තුළ රැඳී සිටීමෙන් ම ජාතික ජන බලවේගයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය හිමිවන් බව සැමට පැහැදිළි විය.

ගාල්ල මහ නගර සභාවේ 2018ට වඩා වෙනස් ආකාරයෙන් 2025 නගරාධිපති තෝරාගැනීමේ කටයුතු සිදුවීමට පෙර දිනයක කොළඹ මහ නගර සභාව සඳහා නගරාධිපති තෝරාගැනීමේ ඡන්ද විමසීම සිදුවිය.

කොළඹ මහ නගර සභාවේ ද බහුතර බලය කිසිම පක්ෂයකට හිමිව තිබුණේ නැත. එදා එහි විශේෂ කොමසාරිස් ලෙස කටයුතු කළේ සාරංගිකා ජයසුන්දරයි. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයෝ 62කු නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය පැවැත්විය යුත්තේ විවෘත ඡන්දයක් යැයි ලිඛිතව සාරංගිකා ජයසේකරට දැනුම් දී තිබුණ ද එය පිළිනොගත් ඇය නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය රහස් ඡන්දයක් ලෙස පවත්වනවා ද විවෘත ඡන්දයක් ලෙස පවත්වනවා ද යන්න පිළිබඳ සභාවෙන් විමසා සිටියාය.

එම අවස්ථාවේ දී ඡන්ද ක්‍රම දෙකම යෝජනා වූයෙන් ඇය නගරාධිපතිවරයා තෝරාපත්කරගැනීමේ ඡන්දය රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න තීරණය කිරීම සඳහා ද රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි කියා සිටියා. මේ නිසාම සභාවේ විශාල ගාලගෝට්ටියක් ඇතිවිය.

“මේ ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් පනතේ කිසිම පැහැදිළි කිරීමක් නෑ. අමාත්‍යාංශයෙන් නිකුත්කළ මාර්ගෝපදේශ සංග්‍රහයේත් පැහැදිළිව ඡන්ද ක්‍රමයක් දක්වා නෑ. ඒ නිසා මම නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද ක්‍රමය තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්තවනවා මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් කරුණු මෙයට අදාළ කරගන්නේ නෑ.” යනුවෙන් පවසමින් ඇය රහස් ඡන්දයක් පැවැත්වූවාය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරයට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් පත්වූවාය. විපක්ෂයේ සභිකයන් 62නකු රහස් ඡන්දයක් ඉල්ලා අත්සන් ලේඛනයක් භාර දී තිබිය දී විශේෂ කොමසාරිස් සාරංගිකා ජයසුන්දර පැවැත්වූ රහස් ඡන්දය නිසා නගරාධිපතිවීමට බල්තසාර්ට සහාය දුන් අනෙකුත් කණ්ඩායම් හඳුනාගැනීමට කිසිවකුට හැකි වූයේ නැත.

ඒ සම්බන්ධයෙන් පැහැදිළි නිර්ණායක පනතේ දැක්වේ. පනතේ දැක්වෙන කරුණුවලට අමතරව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කළ මාර්ගෝපදේශ සංග්‍රහයේ ද උපදෙස් දක්වා ඇත. නමුත් කොළඹ සහ ගාල්ල මහ නගර සභාවල දී මෙවර සිදු වූයේ නම අඬ ගසා විවෘත ඡන්දයක් පැවැත්වීම නොව රහස් ඡන්දයක් පැවැත්වීමයි.

මේ සමබන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙසේ කීවේය.

“පනතේ නිශ්චිතව දක්වා නැති කරුණක්. මේක තීරණය කරන්න ඕන සැබැවින්ම සභිකයන්ගේ ඡන්දයෙන්. මේ සඳහා ඡන්ද දෙකම රහස්ව යන්නත් පුළුවන්, විවෘතව යන්නත් පුළුවන්. පළමු එක රහස්ව ගිහින් දෙවැනි එක විවෘත වෙන්නත් පුළුවන්. නැත්නම් පළමු එක විවෘතව ගිහින් දෙවැනි එක රහස් ඡන්දයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් පනතේ නිශ්චිතව මෙය දක්වා නැතිවීම පනතේ ඇති දුර්වලතාවක්. මේ පනතේ එය සංශෝධනය කරනවානම් හොඳයි. බහුතර ජනතාව හිතනවා තමන් පත්කර යැවූ සභිකයන් ඡන්දය භාවිතා කරන ආකාරය තමන් දැනගන්න ඕන කියලා. ඒ වගේම ජනතාවගේ මතයක් තියෙනවා තමන් ඡන්දය දීපු පක්ෂයේ කෙනා වෙනත් කෙනෙකු බලයට පත්කිරීමට ඡන්දය භාවිතා නොකරාවි කියලා. ඒ නිසා තමයි ප්‍රශ්නය මතුවෙන්නේ. නමුත් සභිකයන්ටත් ඇතැම් විිට ගැටලු තියෙන්න පුළුවන්. කෙනෙත් ඡන්දය සම්බන්ධයෙන් තර්ජනයක් කරලා තියෙන්න පුළුවන් උඹ ඡන්දය අපි කියන විදියට පාවිච්චි නොකළොත් මරණවා කියලා. තවත් වෙලාවක සල්ලි දෙන්නම් අපි කියන විදියට ඡන්දය දාපන් කියලා. ඉතින් සභිකයන් ඇතැම් විට රහස් ඡන්දයට කැමති වෙන්න පුළුවන්. තමන්ගේ බය නිසා, ලාභ අපේක්ෂාවන් නිසා. ඒ කොහොම වුණත් සභිකයන්ට පුළුවන් රහස් ඡන්දයක් ලෙස පැවැත්වුවත් තමන් ඡන්දය ප්‍රකාශ කරන්නේ කුමන කරුණකට ද කියලා විවෘතව පෙන්නලා අර රහස් ඡන්ද පෙට්ටියට ඡන්දය දාන්න. දැන් උදාහරණයක් හැටියට කොළඹ මහා නගර සභාවේ විවෘත ඡන්දයක් ඉල්ලා සිටි 62නාගේ කණ්ඩායමට තිබුණා රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද පව්තවන්නේ කියා විමසූ අවස්ථාවේ දී තම කැමැත්ත ලකුණු කරලා පෙට්ටියට ඒක දාන්න ඉස්සෙල්ලා එය තමන්ගේ ම කණ්ඩායමට පෙන්වන්න. එහෙම කළානම් රහස් ඡන්දයට කැමති වූ අය හඳුනාගත හැකියි. මොකද සභාාවේ දී ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවක ඒක විවෘතව කරනවා ද රහස්ව කරනවා ද කියන එක තීරණය කරන්නේ සභිකයා. ඒ ඡන්දය පෙන්නුවා කියලා නඩු දාන්න බැහැනේ. කෙහොම වුණත් මගේ පුද්ගලික මතය මේ කරුණ සම්බන්ධයෙන් පනත සංශෝධනය කිරීම වඩාත් සුදුසුයි කියන එක.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පවසන්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ලේකම්ගේ මාර්ගෝපදේශ යනු පනතක් හෝ ආඥා පනතක් නොවන නිසා ඒ අනුවම ක්‍රියාකිරීමට කොමසරිස්වරයා බැඳී නැතැයි යන්න සත්‍යයක් බවයි. නමුත් ඒකාන්ත බහුතරයක් නැගී සිට අත් ඔසවා තම මතය ප්‍රකාශ කළ විට එයට වෙනස්ව තම අභිමතය ක්‍රියාත්මක කිරීම ගැටලුවක් බව ද හෙතෙම පෙන්වා දෙයි. එබැවින් සීතාවක දී සහ මාවතගම දී සභිකයන්ගේ මතය අභිබවා කටයුතු කිරීමට උත්සාහ ගැනීම වරදක් බවත් පනතේ සංශෝධනයේ අවශ්‍යතාව ඒ අනුව හොඳින්ම පෙනෙන බවත් හෙතෙම පවසයි.

කෙසේ වෙතත් පළාත් පාලන කොමසාරිස්වරු මාර්ගෝපදේශ  සංග්‍රහය නොතකා කටයුතු කිරීම හෝ එය වැරදි ලෙස අර්ථකථන යකර ඇත්ද යන්න පිළිබඳ තීරණයක් ගත හැකිවන්නේ අධිකරණයට පමණි. නැතිනම් ජනතාවගෙන් ඒ පිළිබඳ විමසා ඔවුන්ගේ කැමැත්ත සොයා බැලිය යුතුය. එය ප්‍රායෝගික නැත.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මෙසේ කීවේය.

මේ පනතේ විශාල දුර්වලතාවක් තියෙනවා. ඒ පනතෙන් පළාත් පාලන කොමසාරිස්ට විවෘත ඡන්දයකට හෝ රහස් ඡන්දයකට අභිමතයක් දීලා තියෙනවා. නමුත් පළාත් පාලන සභිකයන් අත් ඔසවා බහුතරයක් කියනවානම් අපිට ඕන ඡන්දය කුමක් ද කියා කොමසාරිස්ට කියන්න බෑ. කොළඹ දී හැමෝම එකඟ වුණා රහස් ඡන්දයකට. ඒ නිසා ඒකේ දී කොමසාරිස්වරියට විරුද්ධව නඩුවක් දාන්න බෑ. නමුත් රත්නපුරයේ තත්වය ඊට වඩා වෙනස්. 17 දෙනෙක්ම නැගිට කිව්වා විවෘත ඡන්දයක් තියන්න කියලා. ඊට අඩු ප්‍රමාණයක් තමයි රහස් ඡන්දයක් ඉල්ලුවේ. එහෙම තියෙද්දිත් කොමසාරිස් අධිකාරී බලය භාවිතා කරා. එයාගේ මතය ක්‍රියාත්මක කළා. සීතාවක ප්‍රාදේශීය සභාවේ දී ද ඇති වූ ගැටලුව එක්ක සභාවේ ඝන පූර්ණය හිටියේ නෑ, නැවත ගැසට් කරලා රැස්වීම කැඳවන්න පුළුවන්. තුන්වතාවක් ම නැගිට යන්න පුළුවන්. සභිකයන් රැස්වීඹට නොපැමිණියහොත් ඒ අයගේ සභික ධූරය සම්බන්ධ තීරණයක් ගන්න පුළුවන්. මාර්ගෝපදේශ කඩ කළා කියලා නඩු යන්න බැහැ. ඒ සඳහා නීතිපතිගෙන් අර්ථකථනයක් ගන්න ඕන.”

ජනතාවගේ අදහස නම් සභිකයන් හෝ දේශපාලන පක්ෂ හෝ බලයේ සිටින රජය හෝ රහස් ඡන්දයකට උත්සාහ ගන්නේ එකිනෙකා බා ගන්නා ඩීල් දේශපාලනය සඳහා බවයි. ජනතාව එය තරයේ විශ්වාස කරති.

බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙහි දී දූෂණය සිදුවන බවයි. ප්‍රති පක්ෂවල සභිකයන් අල්ලස් දී පොළඹවා ගැන්නා බවත් ඔවුන්ගේ පක්ෂවලින් ඉදිරියේ දී විනය පරීක්ෂණ එල්ලවීම වළක්වා ගැනීමටත් රහස් ඡන්දය වැදගත් වන බව පෙන්වා දෙයි.

ගාල්ල මහ නගර සභාවේ දී එයට හොඳම උදාහරණයක් තිබේ. ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ අවස්ථාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදු වූ විට ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කෙරිණි. එය ද රහස් ඡන්දයෙනි.

ඉන් අනතුරුව සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සභිකයන් නැගිට සභාවෙන් ඉවත්ව ගිය අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් තිදෙනකු සභාවේ රැඳී සිටියහ. ඒ අනුව රහස් ඡන්දය ඉල්ලූ කණ්ඩායමට ජාතික ජන බලවේගියෙන් හැර සහය දුන් තිදෙනා හඳුනාගැනීම අපහසු වූයේ නැත.

ඉන්පසු රහස් ඡන්ද විමසීම පැවැත්විණි.

එහි දී සභාවේ ඉතිරිව සිටි සභිකයෝ 20 දෙනා ම ඡන්දය භාවිතා කළහ. එයින් ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක සුනිල් ගමගේට ඡන්ද 19ක් ලැබුණු අතර එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබිණි. ඉන් අනතුරුව වූයේ උප නගරාධිපතිවරයා තෝරාගැනීමේ අවස්ථාවයි. ඒ වනවිට සභාවේ සිටියේ ජාතික ජන බලවේගයේ සභිකයන් 17 දෙනකු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයන් තිදෙනකු පමණි. ජාතික ජන බලවේගයට ඉතාමත් පහසුවෙන් තම පක්ෂයෙන් ම සභිකයකු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට හැකියාව ඕනෑ තරම් තිබිණි. නමුත් ඔවුන් යෝජනා කරන ලද්දේ මීට පෙර දූෂිත, වංචාකාරයකුයැයි ඔවුන් විසින්ම හංවඩු ගසා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දුය.

එයට හේතු වූයේ, ඩීල් දේශපාලනය බව ඉතාමත් පැහැදිළිය. එදා ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට ලබා දීමට කටයුතු කළ ප්‍රියන්ත සහබන්දුට ලැබුණු වරදාන වරප්‍රසාද වූයේ නියෝජ්‍ය නගරාධිපති ධූරය ලැබීමයි. ඩීල් දේශපාලනයේ තරම ගාල්ලේ දී ප්‍රදර්ශනය වූයේ ඒ ආකාරයෙනි.

මෙවැනි අවස්ථාවල දී රහස් ඡන්ද ඉල්ලන්නේ එවැනි ඩීල් නිසා බව ප්‍රසිද්ධ කරුණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද පවසයි. ඇතැම් අවස්ථාවල දී තනතුරු පමණක් නොව මිල මුදල් පවා හුවමාරුවන බව ප්‍රසිද්ධ රහසක් යැයි ඔහු කියති.

ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ සභික ජිලිත් නිශාන්ත මෙසේ කීවේය.

“2018 වර්ෂයේ නගරාධිපතිධූරයට මගේ නම තමයි යෝජනා කළේ. අපේ ම කණ්ඩායමේ හිටපු වෙනත් පිරිසක් ඔවුන්ට නියෝජ්‍ය නගරාධිපතිධූරය ඉල්ලා සිටියා. නමුත් අපේ පක්ෂවල තීරණය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ දේශබන්දුට නියෝජ්‍ය නගරාධිපති ධූරය දෙන්න කියලා. එදා රහස් ඡන්දයක් ඕන කියලා අපේ කණ්ඩායමේ ම 05 දෙනෙක් අත් ඔසවලා විවෘතවම කිව්වා. එදා ඒ අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රිියන්ත සහබන්දුට නගරාධිපතිධූරය අරගෙන දීලා එයාලා නියෝජ්‍ය නගරාධිපතිධූරය ගත්තා. මෙවර වුණේ එදා ප්‍රියන්ත සහබන්දුට නගරාධිපතිධූරය දෙන්න උදව් කරපු කණ්ඩායමේ කෙනෙක් ම අපි මෙවර 2025 දී නගරාධිපති ධූරයට නම් කළා. මට නියෝජ්‍ය නගරාධිපති ධූරය දෙනවා කිව්වා. මෙවර එදා නගරාධිපති වූ ප්‍රියන්ත සහබන්දු ජාතික ජන බලවේගයට නගරාධිපති ධූරය ගන්න උදව් කරලා එයා නියෝජ්‍ය නගරාධිපති වුණා. දේශපාලනය කිය්නනේ ඕක තමයි.”

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභිකයකු වන රන්මලී ආනන්දගොඩ පවසනේ පක්ෂයක් නියෝජනය කරමින් සභාවකට පත්වන සභිකයකුට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි. ඒ නිසා හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවායැයි අර්ථකථනය කිරීම අපහසු බව ද ඇය පවසයි.

“ස්වාධීනව එන සභිකයකුටනම් තමන්ට කැමති විදියට කටයුතු කරන්න පුළුවන්. නමුත් අපි සභාවට පත්වෙන්නේ පක්ෂයක් නියෝජනය කරමින්. එවිට සෑම අවස්ථාවක දී ම අපිට පක්ෂයේ තීරණය අනුව කටයුතු කරන්න වෙනවා. විශේෂයෙන් ම ලැයිස්තුවෙන් පත්වන අයට ඒ බලපෑම වැඩියි කියලත් හිතෙනවා. සමහර කෙනෙක් තර්ක කරනාව අපි ඡන්දය දෙන්නේ රහස්‍යභාවය රැක ගන්න කියලා. නමුත් මම පුද්ගලිකව සිතනවා ඕනෑම මහජන නියෝජිතයෙක් තමන් නියෝජනය කරන ආයතනයේ දී ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳ එයාට ඡන්දය දීපු ජනතාවට දැනගැනීමේ අයිතියක් තිබිය යුතුයි කියලා.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ පළාත් පාලන කොමසාරිස්වරුන්ට මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කරන්නට ඉහළ තැනකින් බලපෑම් ආවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි. පළාත් පාලන ආයතන ගණනාවක දී එම මාර්ගෝපදේශ පැහැර හැර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම පවසයි. එක් ප්‍රදේශයක විවෘත ඡන්දයත් තවත් ප්‍රදේශයක රහස් ඡන්දයත් පැවැත්වීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ගත යුතු සියලුම පියවර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කීවේය.

පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ඩීල් දේශපාලනය නතර කරනවා යැයි කියමින් බලයට පත් වූ ජාතික ජන බලවේගය ඩීල් දේශපාලනයට අලුත් අර්ථකථන ලබා දෙමින් ඩීල් දැමීමට පටන්ගෙන ඇති බවයි.

ඡන්ද විමසීම යන්නට පැහැදිළි නිර්වචනයක් ඇති බවක් පෙනෙන්නට නැත. ඒ නිසාම විශේෂ කොමසාරිස්ගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට බාධාවක් ද නැත. එබැවිින් මේ පිළිබඳ නිශ්චිත තීරණයක් ලබාදිය යුතු වන්නේ පාර්ලිමේන්තුව මගින් පනත සංශෝධනය කිරීමෙන් හෝ අධිකරණයක් මගින් ලබාගන්නා අර්ථකථනයක් මගිනි. එය එසේ නොවනහොත් අනාගතයේ දී ද පළාත් පාලන ආයතන සඳහා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් තෝරාගැනීමේ දී ඩීල් දේශපාලනය ගැන දිගින් දිගටම කතා කිරීමට සිදුවනු ඇත.

Related articles

Recent articles

spot_img