සිරංගිකා ලොකුකරවිට විසිනි
හේ රනිල් නම් විය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනා අතර ඔහු සිටියේ තනිවමය. කිහිප වරක් ම මෙරට අගමැතිධූරය දරා තිබුණ ද ඔහු නැවත ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබාගනු ඇතැයි කිසිවකු නම් සිතන්නට නැත.
නමුත් ඔහු මෙරට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදුවිය නොහැකි දෙයක් නොමැති බව රටට හඬ ගා කියූ අපූරු දේශපාලකයකි.
රට ආර්ථික අර්බුදයකින් පීඩා විඳිද්දී පාර්ලිමේන්තුවේ එකම එක මන්ත්‍රීධූරයක් පමණක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ හැමදාමත් තමන්ට විරුද්ධව කටයුතු කළ දේශපාලන කඳවුරක ජනාධිපතිවරයා ඉදිරියේ මෙරට අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.
අතිිි විශාල ජනවරමකින් මෙරට ජනාධිපතිවරයා ලෙස පත්ව සිටි ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවේ අතිශය බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් සිටිය දී විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බලය අල්ලාගත්තේ කිසිවෙකු නොසිතූ ලෙසිනි. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ අවස්ථාවේ දී වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වූ අගමැති රනිල් වික්‍රමසිංහ පසුව තමන්ට විරුද්ධව මැතිිවරණයට තරඟ කරමින් පාර්ලිමේන්තුවට පත්ව සිටි මන්ත්‍රීවරු බහුතරයක ගේ ඡන්දයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වූයේ ය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂය මාරු කළේ නැත. පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයකු රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ ද නැත. එහෙත්, දිගින් දිගටම ඔහුට එදිරිව සිටිි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්තෙන් ජනාධිපතිධූරයට පත්වූයේ කිසිදු රාජ්‍යයක දේශපාලන බල පෙරළි තුළ නොවූ විරූ ආකාරයෙනි.
මෙය රනිල් වික්‍රමසිංහ එවකට පාර්ලිමේන්තු බලය අල්ලාගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ග්‍රහණයට ගැනීමක් ද නැතිනම් ඔවුන් සියල්ල තම පක්ෂයට ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් අදටත් නිශ්චිත විග්‍රහයක් නැත.
බලය ඇති පක්ෂයට සහය දෙන මන්ත්‍රීවරුන් පක්ෂ මාරුකිරීම ගැන ශ්‍රී ලංකාව තුළ මෙවැනි ඕනෑතරම් අත්දැකීම් තිබේ. ඉතිහාසය පුරා ම පක්ෂ මාරුකිරීම් දක්නට ලැබේ.
එක්සත් ජාතික පක්ෂයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක එම පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන අග්‍රාමාත්‍යධූරයට පත්වූයේ ය. ඔහු ඝාතනයට ලක්වීමෙන් පසු අගමැතිධූරයට පත් වූ විජයානන්ද දහනායක ඊට පසු පැවැති මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් ගොඩනගාගෙන තරඟ කර පරාජය විය. එක්සත් ජාතික පක්ෂයේ සිටි පී. ද එස්. කුලරත්න සිරිමා බණ්ඩාරනායක රජය විසින් පාසල් රජයට පවරා ගැනීමේ පනත ගෙන ආ අවස්ථාවේ ප්‍රතිපත්තියක් ලෙස එයට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූයෙ ය. පක්ෂ මාරුවීම් පිළිබඳ ඉතිහාසයේ දී එකළ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටියේ රොනී ද මැල් මහතා ය. “රොනී පනී” යනු සුප්‍රසිද්ධ පුවත් සිරස්තලයක් වී තිබිණි. බණ්ඩාරායකගේ පුත් අනුර බණ්ඩාරනායක ද තම පියාත් මවත් අක්කාත් නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්ව අමාත්‍යධූරයකට ද පත්වූයේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පොදු අපේක්ෂකයකු ලෙස තරඟ කරමින් ජනාධිපතිධූරයට පත්ව නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත්වූයේ ය. නමුත් මෙරට ඉතිහාසයේ වැඩිම වාරයක් විවිධ පක්ෂවලට මාරුවී බලයට පත්වූ මන්ත්‍රීවරුන් අතර ඉහළින්ම සඳහන් නමක් වන්නේ එස්.බී.දිසානායකගේ නමයි. ඒ අතර පක්ෂ මාරු කළ බොහෝ දෙනකු සිිටිති.
කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, දයාසිරි ජයසේකර, මංගල සමරවීර, මනූෂ නානායක්කාර, වෛද්‍ය රාජිත සේනාරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු , වසන්ත සේනානායක, විජේදාස රාජපක්ෂ යන අය ද ඒ අතර සිටිති.
පක්ෂ මාරු කරන්නේ ඇයි ?
පක්ෂ මාරුකිරීමට විවිධ හේතු බලපායි. බොහෝ දෙනකු සඳහන් කරන්නෙ තම පක්ෂයේ නායකත්වයෙන් එල්ලවන කෙණෙහෙළිකම් සහ නොසළකා හැරීම් නිසා පක්ෂය මාරුකරන බවයි. නැතිනම් ජාතික ප්‍රශ්නවල දී පවතින රජයට සහයක් ලබාදීම සදහා තමන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව ද ඔවුන්ගේ තවත් තර්කයකි.
රුහුණ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ඉන්දි අකුරුගොඩ පවසන්නේ පක්ෂ මරුකිරීම මෑත කාලයේ ඉතාමත් බහුලව පෙනෙන්නට තිබුණ ද ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය පුරාම වරින් වර සිදු වූ බවයි. අතීතයේ සිදු වූ පක්ෂ මාරුකිරීම් ප්‍රතිපත්ති මත රඳා පැවැතුණු බවට සිතිය හැකි වුව ද මෑත කාලීනවනම් ප්‍රතිපත්ති පසෙක තබා තනතුරු වරදාන වරප්‍රසාද සඳහා පක්ෂ මාරුකරන බව පැහැදිළිවන බව ද ඇය කීවාය.
ජනතා මතය වන්නේ, ඇතැම් පුද්ගලයන් තම වංචා දූෂණ යටපත් කරගැනීමටත්, දඬුවම් විඳීමෙන් වැළකීමට සහ මැතිවරණ සඳහා ලබාගත් ණය පියවා ගැනීමට මුදල් ලබාගැනීමේ අභිලාෂයෙන් පක්ෂය මාරු කරන බවයි. එමෙන් ම ආණ්ඩු පක්ෂයට එක් වී ඇමතිධූර, නියෝජ්‍ය ඇමතිධූර හෝ මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් සභාපති තනතුරු මෙන්ම තානාපති සේවාවට එක්වීමේ බලාපොරොත්තුවෙන් මෙලෙස පක්ෂ මාරුකිරීමට පෙළඹෙන බව ද ජනතාවගේ මතය වී ඇත.
කිසියම් දේශපාලකයකු පක්ෂය මාරු කරන්නේ තම දේශපාලන පැවැත්ම වෙනුවෙනි. ඉතාමත් කලාතුරකින් ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් පක්ෂය තුළ ඇතිවන මතභේද නිසා මෙවැනි තීරණ ගන්නවා විය හැකි වුව ද බහුතරයකගේ අභිලාෂය වන්නේ ආර්ථික ප්‍රතිලාභ, තනතුරු, වරදාන හා වරප්‍රසාද, පවුල් දේශපාලනය සහ වෙනත් පුද්ගලික අරමුණු පමණි.
එක්සත් ජාතික පක්ෂයෙන් වරින් වර ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ඉන් ඉවත්ව යාමට හේතු ලෙස දැක්වූයේ නායකයා සමග පැවති නොගැලපීම් සහ “කෙනහිලිකම්ය”.
සමාජ ක්‍රියාකාරිකයකු මෙන් ම ගුරු වෘත්තියේ නියැලෙන්නකු ද වන රණසිංහ අධිකාරී පවසන්නේ මෙවැනි කතාවකි.

“මම නම් කවදාවත් පක්ෂය මරුකරන අයට ඡන්දයක් භාවිතා කරන්නේ නෑ. නමුත් 2015 දී යහපාලන ආණ්ඩුව ස්ථාපිත කිරීම සඳහා ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය ලබාදුන්නා. ජනාධිපතිවරණය කියන්නේ රටේ විධායක ජනාධිපතිධූරයට තනි පුද්ගලයෙක් තෝරාගන්නා මැතිවරණයක් නිසා මම හිතුවා ඔහු එම පක්ෂයෙන් ඉවත්ව පැමිණ ජනාධිපතිවරයා ලෙස සාධනීය කරුණක් කරාවි කියලා. නමුත් ඔහු නැවත ඒ පක්ෂයේ සභාපතිධූරය භාරගෙන අපි අනුමත නොකරන දේවල් කළා. මම හැමදාමත් ඡන්දය භාවිතා කළේ පළමුව පක්ෂයේ සහ එහි නායකයන්ගේ ප්‍රතිපත්ති ගැන හිතලා. පුද්ගලවාදය මත නෙවෙයි. පක්ෂ මාරු කිරීමේ ක්‍රමය මම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා. මෙයින් සිදුවන්නේ ජනතාව දේශපාලනයෙන් ඈත්වීම. රටට සිදුවන්නෙත් අගතියක්.”
ජනතා ක්‍රියාකාරීන්ගේ සන්ධානයේ ලේකම් දර්ශන තන්ත්‍රිගේ මෙසේ පවසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගුණාත්මක බව නෑ. තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර ගැන දේශපාලකයන්ට ම අවබෝධයක් නෑ. මගේ නම් අදහස වාමාංශික මත දරණ කෙනෙකුට තවත් වාමාංශික පක්ෂයක් සමඟ එක්වීමට හැකිවිය යුතුයි. ඒ වගේම දක්ෂිණාංශක මතධාරියකුට තවත් දක්ෂිණාංශික පක්ෂයක් සමඟ එක්වීමට හැකිවිය යුතුයි. නමුත් සිදුවන්නේ දවසින් දවස මේ අය තමන්ගේ දේශපාලනික දෘෂ්ඨිවාදය පවා පැත්තකින් තියලා පක්ෂ මාරු කරන එක. ජාතික ජන බලවේගය කොහොමද පොහොට්ටුවත් එක්ක එකතුවෙලා පළාත් පාලන ආයතන කිහිපයක බලය ඇල්ලුවේ. ඒ පොහොට්ටුවේ නියෝජිතයන් ජාතික ජන බලවේගයට සහය දුන්නේ තනතුරු ලාභයට මිස වෙනත් මොන ප්‍රතිපත්තියට ද ? නමුත් මේක මේ විදියට වෙන්නේ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා. පක්ෂ බොහොමයක අභ්‍යන්තර බලය අල්ලගෙන ඉන්නේ වරප්‍රසාද ලත් කුඩා කණ්ඩායම්. එවිට තවත් පිරිසක් මේ පක්ෂවලින් ඉවත්වෙලා යනවා. ඒකයි මම කියන්නේ දේශපාලන ගුණාත්මක බව නෑ කියලා. පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවානම් මේ පක්ෂ මාරුකිරීම අඩු වෙනවා. අනික අපේ දේශපාලකයන් ටිකක් ජනප්‍රිය වෙච්ච ගමන් ඇමති සිහින, අගමැති සිහින, ජනාධිපති සිහින ඔළුවට ගහනවා. එතකොටත් ඒ ඒ පැත්තට පනිනවා. කිසිම ප්‍රතිපත්තියක් නැතිව බලය ලබාගන්නා පක්ෂයට එකතුවීමනම් මම අනුමත කරන්නේ නෑ.”
පක්ෂ මාරුකිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන බලපෑම
මන්ත්‍රීවරුන් විසින් සිදුකරන මෙම පක්ෂ මාරු කිරීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුකරන්නක් වී ඇත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක ඡන්ද දායකයන් තමන්ගේ සර්වජන ඡන්ද අයිතිය භාවිතා කරන්නේ ඔහු නියෝජනය කරන පක්ෂයේ ප්‍රතිපත්ති සහ දැක්ම විශ්වාස කරමිනි. එමෙන් ම එම පක්ෂයේ නායකත්වය පිළිබඳව ද විශ්වාසයක් තබමිනි. නමුත් එම විශ්වාසය මත පදනම්ව ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට, පළාත් සභාවට හෝ පළාත් පාලන ආයතනයකට පත්වන මහජන නියෝජිතයකු වෙනත් පක්ෂයකට මාරු වූ විට එම ඡන්ද දායකයාගේ විශ්වාසය මෙන්ම අපේක්ෂාවන් ද බිඳ වැටෙයි.
යම් පක්ෂයක් බලයට පත්කිරීමට ජනතාව ඡන්දය ලබාදුන් අවස්ථාවක දී එම පක්ෂයෙන් පත්වූ මහජන නියෝජිතවරු තමන්ගේ පුද්ලික වුවමනාවන් සහ ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් තමන් නියෝජනය කරන පක්ෂය හැරදමා වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට සහය දැක්වීිමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ද ඇති වේ.
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක එම පක්ෂයෙන් ඉවත්වූයේ ජනතාවගේ කැමැත්ත විමසීමකින් තොරවය. මේ නිසා රටේ දේශපාලනය අස්ථාවර විය. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව 2001 දී බිඳ වැටුණේ එස්.බී.දිසානායක ඇතුළු පිරිසක් එම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය සමඟ එක්වීම හේතුවෙනි.
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයකු යම් අවස්ථාවක දී පක්ෂය හෝ කණ්ඩායම මාරුකර වෙනත් කණ්ඩායමකට සහාය ලබා දෙනවානම් තමන්ට ඡන්දය ලබාදුන් ජනතාවගෙන් ඊට කැමැත්ත විමසා සිටිය යුතුය යන්න තම අදහස බවයි. නමුත් එය කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව ද හෙතෙම පවසයි.
පක්ෂ මාරුකරන දේශපාලකයන් වරින් වර එලෙස පක්ෂ මාරුකර තමන්ගේ බලය සහ තනතුරු වරප්‍රසාද තහවරු කර ගත්ත ද ජනතාවට ඒ හේතුවෙන් ම රටේ දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීම සිදුවෙයි.
ආචාර්ය ඉන්දි අකුරුගොඩ මෙසේ කීවාය.

“අපේ රටේ පක්ෂ දේශපාලන ආරම්භ වූ මුල් කාලයේ වාමාංශික සහ දක්ෂිණාංශික කියලා පැහැදිලිව කඳවුරු දෙකක් හඳුනාගන්න පුළුවන් වුණා. මේ විධියට බෙදුණු එක වෙනස් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමත් සමග. නමුත් පසුකාලීනව විවෘත ආර්ථිකයත් එක්ක දේශපාලනයේ නියැලුන පිරිසට යන්න වුණේ දක්ෂිනාංශික මාවතේ, මොවුන්ට පැහැදිලි දේශපාලන දෘෂ්ටියක් තිබුණේ නැහැ. ඔවුන්ට පෞද්ගලිකව එවැන්නක් තිබුණත් ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන විට පවතින ක්‍රමයත් එක්ක ඉදිරියට යනවා විනා දේශපාලන දෘෂ්ඨියකට අනුගතව කටයුතු කරන්න හැකියාවක් තිබුණේ නැහැ. අවුරුදු 17ක එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳවැටිලා 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට එනවිට මිනිස්සු බලාපොරොත්තු වුණා තිබුණු ක්‍රමය වෙනස් වේවි කියලා, නමුත් එහෙම එකක් වුණේ නැහැ. දේශපාලකයින් එක පක්ෂයකින් තවත් පක්ෂයකට මාරු වුණාට මතවාදී වශයෙන් ලොකු වෙනසකට ලක්වුණේ නැහැ. ඒ බෙදීම් රේඛා අපහැදිලි වීම මත ලේසියෙන්ම එයාලගෙ කඳවුර මාරු කිරීමේ හැකියාව තිබුණා. අවස්ථාවෝචිතව වාසියක් ලැබෙන පැත්තට ගියා. ප්‍රතිපත්ති මත දේශපාලය කරන පිරිස ඉන්නේ අතලොස්සයි. කොහොමහරි බලය ලබාගන්න, ඊට පස්සේ ඒ බලය හරහා වාසි ලබා ගන්න තමයි ඔවුන් හැම විටම බලන්නේ, පක්ෂ වලට ප්‍රතිපත්ති තියෙනවා, ප්‍රතිපත්ති ප්‍රකාශ තියෙනවා කිව්වට ඒ අය තනි තනිව ඒ කියන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. ඒ නිසා ඒ ගොල්ලන්ට ලේසියෙන්ම වාසිය වෙනුවෙන් කඳවුර මාරු කරන්න පුළුවන්.”
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පක්ෂ මාරු කිරීම ගැන මෙසේ අදහස් දැක්වූයේ ය.
“සල්ලි වලට මාරුවෙන එකට මිනිස්සු කැමති නෑ. සල්ලි වලට මාරුවීම ගැන කථා 1964 ඉඳන්ම කියවෙනවා, සමහරු ගත්තා කියනවා සමහරු ගත්තේ නෑ කියනවා, මම හොඳටම දන්නවා සමහර අවස්ථාවලදී සල්ලි හුවමාරු වුණා කියන එක, ඒක ප්‍රසිද්ධ රහසක්. දින 52 ආණ්ඩුව වෙලාවේ මන්ත්‍රීවරයෙකුට වටිනාකම පවා කියවුණානේ, තුනෙන් දෙකක බහුතරයක් ගන්න, නොයෙකුත් වරදාන ගන්න පක්ෂය මාරු කරනවා. මෙය ජනතාව අනුමත කරන දෙයක් නම් නෙවෙයි. හැබැයි පක්ෂ මාරු කරන ඇතැම් අය පසුව අනෙක් පක්ෂයෙන් ඉල්ලුවාමත් මහජන ඡන්දයෙන් ම යළි බලයට පත්වෙච්ච අවස්ථා තිබෙනවා. එයාලට ඡන්දය දිනලා එන්න බැරි වුණොත් ලයිස්තුවෙන් හරි ගන්නවා.”
පක්ෂ මාරු කිරීම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇතත්, එය සදාචාරාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී අතින් බරපතල ගැටලු ඇති කරන බව පැහැදිලිය. දේශපාලන ස්ථාවරත්වය සහ ජනතා විශ්වාසය ගොඩනැගීමට නම්, මෙම සංස්කෘතිය වෙනස් විය යුතුයි. නමුත් එසේ කිරීමට අවශ්‍ය දේශපාලන දැක්ම ඇතිවේද යන්න ගැටලුවකි.
නීතිමය පසුබිම
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පක්ෂ මාරුකිරීමට නීතිමය බාධා පවතී. නමුත් එම සෘජු බාධා මඟහැරීමට ද දේශපාලකයන් කටයුතු කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13)(අ) වගන්තිය මගින් දක්වා ඇත්තේ යම් මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර මාසයක් ගත වූ පසු, මන්ත්‍රීධූරය ද අහිමිවන බවයි.
දේශපාලන පක්ෂ සිදුකරන්නේ පක්ෂ මාරුකරන මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් විනය චෝදනා එල්ලකර ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමයි.
ඉහත වගන්තියේ ම අතුරු වගන්තියක එම කරුණ අභියෝගයට ලක්කිරීමට ද මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දී ඇත. යම් මන්ත්‍රීවරයකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කළහොත් මාසයක් ගතවීමට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව තිබේ. එහි දී පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සාධාරණ නොවේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළහොත් එම මන්ත්‍රීවරයාට මන්ත්‍රීධූරය අහිමිවන්නේ නැත.
දේශපාලන පිල් මාරුකිරීම් කළ අවස්ථාවල දී තීන්දු ලබාදුන් නඩු කිහිපයක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ දක්නට ලැබෙයි.
ඒ ඒ පක්ෂ ව්‍යවස්ථාවන් අනුව කෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ ආකාරය, ඒ සඳහා පත්කළ විනය කමිටුවක් විසින් නිසි කාර්ය පටිපාටිය අනුව විනය පරීක්ෂණයක් පවත්වා ඇත් ද යන කරුණු සළකා බැලීමේ දී ඇතැම් නඩු තීන්දුවල දී එම ක්‍රියාවලියේ විවිධ දුර්වලතා අනාවරණය වී තිබිණි. එමගින් සාධාරණත්වයේ සහ ස්වභාවික යුක්ති මූලධර්ම අනුගමනය කර ඇත්ද යන කරුණු සළකා බලන අතර, සිදු කර ඇති වරද පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තරම් සාධාරණ නම් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළගනු ලැබේ.
1991 දී ගාමිණී දිසානායක එදිරිව එම්.සී.එම්.ඛලීල් සහ තවත් අය, 1993 දී තිලක් කරුණාරත්න එදිරිව සිරිමා බණ්ඩාරනායක සහ තවත් අය, 2000 දී සරත් අමුණුගම සහ තවත් අයට එදිරිව කරු ජයසූරිය සහ තවත් අය යන නඩු තීන්දු ඒ අතර ප්‍රමුඛ වෙයි.
හිටපු අගවිිනිසුරු සරත් එන් සිල්වා දුන් තීන්දුවක් අනුව එතෙක් දේශපාලන පිල් මාරු කිරීමේ දී පැවැති නීතිමය පසුබිම වෙනසකට භාජනය විය. සරත් එන්. සිල්වා ලබාදුන් එම තීන්දුවේ අර්ථකථනය වූයේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජනතාව වෙනුවෙන් පිල් මාරු කිරීමට මන්ත්‍රීවරුන්ට ඉඩක් තිබිය යුතු බවයි.
මෙම අර්ථකථනය හේතුවෙන් පක්ෂ මාරුකරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමටත් ඒ මගින් ඔවුන්ගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමටත්, මෙරට දේශපාලන පක්ෂවලට පැවැති බලය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අසාර්ථක වීම සිදුවේ.
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙසේ කීවේය.

“පරීක්ෂණයක් තියලා නෙරපුවොත් අයින් කරන්න පුළුවන් කියලා නීතිය තියෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් ඕනෑම කෙනෙක් ව ඇමතිවරයෙක් හැටියට පත්කරන්න. මේ නිසා පක්ෂය මාරුකළාම අමාත්‍යධූරයක් දෙනවා. ඒක හේතුවක් කරගෙන අර්ථකථනයක් ආවා ඇමතිධූරක් දුන්නොත් එයාව පක්ෂයෙන් අයින් කරන්න බෑ කියලා. අතීතයේ සිදුවුණ ලොකුම පක්ෂ මාරුව වුණේ 2001 වසරේ එස් බී දිසානායක ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට එක්වීම. එතනදී කණ්ඩායමක්ම ආවා. ආන්ඩුව පෙරළුණා. ඒ වෙලාවේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා පරීක්ෂණ සිදුවුණේ නෑ. සරත් අමුණුගම පක්ෂය මරු කරපු වෙලාවේ තමයි අධිකරණ තීරණයක් ආවේ ඇමති ධූරයක් දුන්නොත් ඉන්න පුළුවන් කියලා. කෙනෙක් මනාප ඉල්ලුවට ඉස්සෙල්ලා ඡන්දය දෙන්නේ පක්ෂයට නිසා පක්ෂයෙන් නිසි විනය හේතුවක් මත ඉවත්කළොත් මන්ත්‍රීධූරය අහිමි කරන්න පුළුවන් බව දැන් නැවත අධිකරණයෙන් තීරණය කරලා තියෙනවා. මගේ අදහස නම් මහජන ඡන්දයෙන් තේරී පත්වන කෙනෙක් පක්ෂය මාරු කරාම ඒක හරිද වැරදිද කියන එක අධිකරණයෙන් තීරණය කිරීම නිවැරදි නැහැ. නමුත් වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ.”
නිසි ක්‍රියාමාර්ගයක් සහිතව මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළහොත් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්ව පරිසර අමාත්‍ය ධූරය දැරූ නසීර් අහමඩ්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම, නීත්‍යානුකූල යැයි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණය කිරීමෙන් තහවරු විය. මේ නිසා නසීර් අහමඩ්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි විය. එලෙසම සමගි ජන බලවේගයෙන් පාර්ලිාමේන්තුවට තේරීපතව සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ඇමතිධූර ලබාගත් මනූෂ නානායකාරගේ සහ හරීන් ප්‍රනාන්දු දෙදෙනාගේ ද පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සාධාරණ බව අධිකරණය තීන්දු කළෙන් ඔවුන් දෙදෙනාටත් ඇමතිධූර පමණක් නොව මන්ත්‍රීධූර ද අහිමිවිය. ඇමතිධූරයක් දරන්නේ නම් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ම ලබාදුන් තීන්දුව පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම අභියෝගයට ලක්කර තිබුණේ ඒ ආකාරයෙනි.
2025 පළාත් පාලන මැතිවරණයෙන් පසු සිදු වූ දේ
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයාව සිටිය දී ජනතාවට ඉදිරිපත් කළ කරුණු අතර තිබූ ප්‍රධාන කරුණක් වූයේ ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු පිල් මාරු දේශපාලනය අවසන් කරන බවයි. තමන්ට ලැබෙන වරදානවලට, මුදල්වලට ඇමතිකම්වලට ඒ ඒ පැත්තට පනින දේශපාලනය අවසන් කරන බව ඔහු තරයේ ම කියා සිටියේය.
මෙවර 2025 පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන 178ක එක් තනි පක්ෂයකට හෝ කණ්ඩායමකට 50%කට වැඩි බහුතර නියෝජිත සංඛ්‍යාවක් නොමැති විය. එම අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා කියා සිටියේ තම පක්ෂයට බහුතර බලය අහිමි වූ පළාත් පාලන ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති සහ සභාපතිවරුන් පත්කිරීමේ දී ප්‍රතික්ෂේප වූ පක්ෂවල සහය කිසිසේත්ම නොගන්නා බවයි. හොරුන් සමඟ තමන් එකතු නොවන බව හෙතෙම කීවේය.
නමුත් සිදු වූයේ කොළඹ, ගාල්ල ඇතුළු මහ නගර සභා සහ පළාත් පාලන ආයතන රැසක බලය අල්ලා ගැනීම සඳහා ජාතික ජන බලවේගය රාජපක්ෂලාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය සහ පිල්ලෙයන්ගේ දේශපාලන කණ්ඩායම්වල පමණක් නොව රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයෙන් තරඟ කර පළාත් පාලන ආයතනවලට පිවිසි සභිකයන්ගේ පවා සහාය ලබා ගැනීමයි.
මේ සම්බන්ධයේ විවිධ විවේචන සමාජය තුළින් එල්ල වුව ද ජාතික ජන බලවේග රජය කීවේ බලය තහවරු කරගැනීම මෙවැනි අවස්ථාවක වැදගත් බැවින් තමන් විවිධ පුද්ගලයන්ගේ සහාය ලබාගත් බවයි.
කිසිම කණ්ඩායමකට 50% ඉක්ම වූ බහුතර මන්ත්‍රීධූරයක් නොතිබූ කොළඹ මහ නගර සභාව, ගාල්ල මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන අතරින් ජාතික ජන බලවේගයේ නගරාධිපතිවරු සහ සභාපතිවරු පත්වූ සෑම පළාත් පාලන ආයතනයක ම සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පමණක් නොව සභාපතිවරයා තෝරාගත යුත්තේ විවෘත ඡන්දයකින් ද ? රහස් ඡන්දයකින් ද ? යන්න තීරණය කිරීමේ ඡන්දය පවා පැවැත්වූයේ රහස් ඡන්දයක් ආකාරයෙනි. ඒ හේතුවෙන් ජාතික ජන බලවේගය බලය අල්ලාගත් එවැනි පළාත් පාලන ආයතනවල දී ඔවුන්ට සහය දුන්නේ කවර කණ්ඩායමක් හෝ පුද්ගලයන් ද යන්න ස්ථිරව කිව නොහැකි තත්වයට පත්විය. එසේ වුව ද නගරාධිපති හෝ සභාපතිවරයා පත්කරගැනීමෙන් පසු පත්කරන නියෝජ්‍ය නගරැාධිපති හෝ උප සභාපති ධූරය තමන්ට සහාය දුන් කණ්ඩායමට ලබාදීමට සිදුවීම නිසාම ඇතැම් පළාත් පාලන ආයතනවල දී ජාතික ජන බලවේගයට සහාය දුන් කණ්ඩායම් සහ පුද්ගලයන් අනාවරණය විය.
ගාල්ල මහ නගර සභාවේ දී මෙය මනාව ප්‍රදර්ශනය වූයේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සභිකයන් නගරාධිපතිවරයා පත්කිරීමේ ඡන්ද විමසීම රහස් ඡන්දයක් බවටට තීන්දුවීමත් සමඟ සභා ගැබෙන් නැගිට යාම හේතුවෙනි.
ගාල්ල මහ නගර සභාවේ 50%ක බහුතරය කිසිම පක්ෂයකට හිමිව තිබුණේ නැත. ඒ නිසා නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා ඡන්දයක් පැවැත්වූ අතර එහි දී එම ඡන්දය රහස් ඡන්දයක් විය යුතුයැයි රහසේ කරන ලද ඡන්ද විමසීමකින් තීරණය කෙරිණි.
නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම රහස් ඡන්දයක් බවට තීරණය කිරීමත් සමඟ ජාතික ජන බලවේගයට එරෙහි කණ්ඩායම සභාවෙන් ඉවත්ව ගිය අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සහ ඔහුගේ කණ්ඩායමේ තිදෙනා පමණක් ජාතික ජන බලවේගයේ සභිකයන් සමඟ සභාවේ ඉතුරු වූහ. එම අවස්ථාවේ දී ජාතික ජන බලවේගයට සහාය ලබාදෙන කණ්ඩායම මනාව තහවරු විය.
අවසානයේ නගරාධිපති ධූරයට ජාතික ජන බලවේගයේ සුනිල් ගමගේ පත් වූ අතර නියෝජ්‍ය නගරාධිපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු සුදුසු යැයි යෝජනා කරන ලද්දේ ද ජාතික ජන බලවේගය විසිනි.
රාජපක්ෂ කඳවුර ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොරුන් සහ දූෂිතයන් බවත්, ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා දූෂිතයකු බවත් දිගින් දිගටම චෝදනා කළ ජාතික ජන බලවේගය ගාල්ල මහ නගර සභාවේ බලය අල්ලාගැනීම සඳහා අවසානයේ ඔවුන් සමඟම එක් වූ අතර හිටපු නගරාධිපතිට ම නියෝජ්‍ය නගරාධිපතිධූරය ලබාදීම දෛවෝපගත සිද්ධියක් විය.
පක්ෂ මාරු කිරීමට නැවතීමේ තිත තබන බවත් තමන් කිසිදා හොරුන් සමඟ එකතු නොවන බවත් මන්ත්‍රීවරු විවිධ පක්ෂවලට සහාය ලබාදෙන්නේ වරදාන, වරප්‍රසාද සහ මුදල් වෙනුවෙන් යැයි චෝදනා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් ගාල්ලේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් වචනයක් කියන්නේ නැත.
ආචාර්ය ඉන්දි අකුරුගොඩ මෙසේ ද පවසයි.
“ වර්තමානයේ රටේ රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගයේ ප්‍රධාන කණ්ඩායම වන්නේ වාමාංශික නැඹුරුවක් තියෙනවා කියන ජනතා විමුක්ති පෙරමුණ. නමුත්, වාමාංෂික අයටත් දැන් සිදුවෙලා තියෙන්නේ බලය අල්ලා ගැනීම සඳහා දක්ෂිණාංශක ක්‍රමයට ගමන් කිරීම. එයාලත් අර දියවුණු බෙදීම් රේඛාව අස්සෙන් ධනේෂ්වර පැත්තට පනිනවා. ඒකත් එක්ක ආණ්ඩුකරණය අර්බුදයකට ගිහින් තියෙනවා. මොකද පක්ෂ විපක්ෂ කියන කාරණය ඇතුලේ බෙදීමක් නැති වුණාම අපි පක්ෂ වෙන්නේ මොනවටද වික්ෂ වෙන්නේ මොනවටද කියලත් අදහසක් නැහැ, ඊයේ පක්ෂ වෙලා හිටපු එකට අද විරුද්ධයි, අද විරුද්ධ එකට හෙට පක්ෂයි. කෙටියෙන් කිව්වොත් ප්‍රතිපත්තිමය දේශපාලනයක් අද දකින්න නැහැ. මෙවර පළාත් පාලන ඡන්දයෙන් පස්සේ 50%ක බහුතර බලයක් එක් කණ්ඩායමකට ගන්න බැරි වුණු පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරු සහ සභාපති තෝරාගැනීමේ දී ඒක හොඳින්ම ප්‍රදර්ශනය වුණා. දැන් වාමාංශික සහ දක්ෂිණාංශික කියා කඳවුරු දෙකක් දක්නට නැහැ.”
ගාල්ලේ ප්‍රියන්ත සහබන්දුට නියෝජ්‍ය නගරාධිපති ධූරය ලබා දී ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයට ලබාගෙන ඇත්තේ එදා ජනාධිපති වීමට පෙර අනුර කුමාර දිසානායක වරදාන වරප්‍රසාද සහ මුදලට ප්‍රතිපත්ති පාවා දෙන්නන් ගැන කියූ කතාව තමනුත් ඒ ආකාරයෙන් ම සිදුකරන බවත්, එය තවදුරටත් පවත්වාගෙන යන බවත් ප්‍රායෝගිකව සනාථ කරමිනි.
පක්ෂ දේශපාලනය ශ්‍රී ලංකාවේ ආරම්භ වූ කාලයේ සිට මේ දක්වාම ක්‍රියාත්මක වූ වරින් වර විවිධ පක්ෂවලට සහාය දක්වමින් පක්ෂ මාරු කිරීමේ ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව මෙව පළාත් පාලන මැතිවරණයෙන් පසුව ද සක් සුදක් සේ පැහැදිළිව පෙනෙන්නට තිබේ.
ජනතාව මෙම ක්‍රමය කොතෙක් පිළිකුල් කළ ද, ඒ නිසාම මෙරට දේශපාලනය වැඩකට නැති ජනතා විශ්වාසය පළු දු වූ ක්‍රමයක් බවට ජන මතය තිබුණ ද නීතියේ කවරක් සඳහන් වුව ද පක්ෂ මාරු කිරීම් එදත්, අදත්, හෙටත් මතු හැමදාමත් දක්නට ලැබෙනු ඇත.



