-5.2 C
New York

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව විමල් අධිකරණයට

Published:

ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වන ජනාධිපති අනුර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කර ඇත.

විමල් වීරවංශ සිය පෙත්සම මගින් කියා සිටින්නේ, ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බව ය.

මීට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත්, එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

උක්ත අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු තොරතුරු ඉන්දියාව අතට පත්වන බවත්, ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත් පෙත්සම මගින් චෝදනා කර තිබේ.

දේශීය වශයෙන් ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් පවතිද්දී එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලැබ ඇති තීරණය අත්තනෝමතික මෙන් ම නීතියට පටහැනි බව ත් ද පෙත්සම්කරු සඳහන් කරයි.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන් ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත්, මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ත් පෙත්සම මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව, ඉන්දියාව සමග ඇති කර ගෙන තිබෙන මෙම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ත් පෙත්සකරු වැඩිදුරටත් සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.

Related articles

Recent articles

spot_img