-5.2 C
New York

රනිල්ගේ ඇප ඉල්ලීම පැය භාගයකට කල් යයි

Published:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම ඇප ඉල්ලීම කොළඹ  කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර ඉදිරියේ සලකා බැලුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවයි.

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූෂ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රඳවා ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කරන ලද රිසිට්පතේ සඳහන් වන්නේ, පොදු දේපළ පනතේ 5(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 386 සහ 388 වගන්ති යටතේ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි.

2023 දී ලන්ඩන් සංචාරයකදී රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත වික්‍රමසිංහ මහතා අද (22) අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, ඔහුගේ ඇප හෝ රිමාන්ඩ් භාරය පිළිබඳ තීන්දුවක් අපේක්ෂා කෙරේ.

Related articles

Recent articles

spot_img