-5.2 C
New York

චිචීගේ රොකට්ටුවේ අබිරහස, අගමැති හරිනි විසඳයි

Published:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයකු වන රෝහිත රාජපක්ෂගේ මූලිකත්වයෙන් අභ්‍යාවකාශගත කරන ලද සුප්‍රිම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් වැය වී නොමැති බවත්, එයින් රජයට ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (06) පාර්ලිමේන්තුවේ දී කීවාය.


ඇය මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
එහි දී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.


“2011/2012 කාලයේදී Supreme Global ආයතනයට අනුබද්ධිත Supreme Sat සමාගම විසින් දියත්කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ 2012 මැයි මස 23 වැනි දින ගිවිසුම් ගත වී තිබෙනවා. 2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් 12,104,936.00ක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර තිබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නැහැ.”


අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වැනි වගන්තිය යටතේ දේශීය වෙළෙඳ පොළ කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙස මෙම ආයෝජනය සිදුකර ඇති බවයි. රුපියල් මිලියන 1828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012.05.23 දින Supreme Sat පෞද්ගලික සමාගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ මගින් ග්‍රාහකයින් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතව තිබූ අතර එම ව්‍යාපෘතිය 2015.08.27 දින සිට වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට ද නියමිතව තිබිණි.


අග්‍රාමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේ දී පැවසූ පරිදි Supreme Global Holdings (PVT) Limited ආයතනයට කොටස් 80%ක සහ Supreme SL Investments (PVT) Limited ආයතනයට කොටස් 20%ක අයිතිය පැවත ඇත.


2015 සිට 2023 දක්වා ලැබූ ආදායම්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇත.


ඇය ඉදිරිපත් කළ ආදායම් දත්ත අනුව වාර්ෂිකව ලබා ඇති ආදායම් මෙසේ ය.
2015/2016 – රුපියල් මිලියන 19,617
2016/2017 – රුපියල් මිලියන 28,133
2017/2018 – රුපියල් මිලියන 29,106
2018/2019 – රුපියල් මිලියන 34,169
2019/2020 – රුපියල් මිලියන 42,960
2020/2021 – රුපියල් මිලියන 62,545
2021/2022 – රුපියල් මිලියන 87,789
2023 පළමු මාස 6 – රුපියල් මිලියන 39,590


ඒ අනුව, 2023 වසරේ පළමු මාස 6 දක්වා එම ව්‍යාපෘතියෙන් ලැබුණු සමස්ත ආදායම රුපියල් මිලියන 343,909කි.
අග්‍රාමාත්‍යවරිය පිළිතුරු දීමෙන් පසු පාර්ලිමේන්තුව ඇමතූ මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කළේ, ඩොලර් මිලියන 300ක් වැය කළ මෙම චන්ද්‍රිකාව මේ වන විට අතුරුදන්ව ඇති බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් විපක්ෂයේ සිටියදී චෝදනා කළ බව යි.


“ඕක ලංකාවෙ වැඩියෙන් ම දන්නෙ චිචීගෙ රොකට් එක කිව්වා ම. මෙතන කිව්වා ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරල අතුරුදන් වෙලා කියල. මම මේ ප්‍රශ්නය අහපු දවසෙ බිමල් රත්නායක කිව්වා, අතුරුදන් වෙලා කියලා. දැන් අග්‍රාමාත්‍යතුමිය ම කියනවා එහෙම දෙයක් වෙලා නෑ, ලංකාවේ එක රුපියලක්වත් ආයෝජනය කරලත් නෑ, ඒ වගේ ම අනික් පැත්තෙන් වාර්ෂිකව රටට ආදායමක් ඇවිල්ල තියෙනව කියලා. ඍජු ආයෝජනයක් ඇවිල්ල තියෙන්නේ.”


“පාර්ලිමේන්තුවේදී සුනිල් හඳුන්නෙත්ති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා මේක ලංකාවේ රජයේ ජනාධිපතිතුමාගේ පුතාලට විනෝද වෙන්න කරපු දෙයක් කියල. හැබැයි අද අගාමාත්‍යතුමිය කියනවා, මේකෙන් විශාල ආයෝජනයක් ඇවිල්ල තියෙනවා, හැම අවුරුද්දක ම ඍජු වාර්ෂික ආයෝජනයක් ලැබිල තියෙනව කියලා.”


SupremeSAT-1 චන්ද්‍රිකාව
SupremeSAT ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2012 වසරේ නොවැම්බර් 27 වන දා කක්ෂගත කෙරුණු මෙම චන්ද්‍රිකාව වසර 15ක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එම චන්ද්‍රිකාව මගින්, දකුණු සහ මධ්‍යම ආසියාව, මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව යන කලාප ආවරණය කෙරේ.

Related articles

Recent articles

spot_img